සාමය දිනා දුන් නායකයා ශක්තිමත් කිරීමට සැම එකාමෙන් කටයුතු කළ යුතුයි

සාමය දිනා දුන් නායකයා ශක්තිමත් කිරීමට සැම එකාමෙන් කටයුතු කළ යුතුයි

ගලගම ශ්‍රී අත්ථදස්සී අනු නාහිමි

ජිනීවා සමුළුව ඔස්සේ අප රටට පදනම් විරහිත අභූත චෝදනා ගෙන ඒමට ජාත්‍යන්තරයේ ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන මේ මොහොතේ රටට සාමය දිනා දුන් නායකයා ලෙස ජනාධිපතිතුමන් සෑම අතින්ම ශක්තිමත් කිරීමට මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජනතාව මේ මොහොතේ එකාමෙන් කටයුතු කළ යුතු යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියෝ පවසති.

බොහෝ නායකයන්ට නොහැකි වූ ත්‍රස්තවාදය තුරන් කිරීම වචනයට සීමා නොකර යථාර්ථයක් කළ නායකයාණන්ට මේ රටේ ජනතාව ජාති, ආගම්, පාට පක්ෂ භේදයෙන් තොරව දිරිය ශක්තිය ලබාදෙන බවට ජාත්‍යන්තරයට පණිවුඩයක් ලබාදිය හැකි හොඳම අවස්ථාවක් අද උදාවී ඇතැයිද අනු නාහිමියෝ කීහ.

හිඟන්නාගේ තුවාලය සේ යුද්ධය විකුණා කමින් දේශපාලනයේ නිරතවීමට ජනාධිපතිතුමන්ටද හැකියාව තිබූ බවත් නමුත් නොබියව ඉදිරිපත්වී තම පළමු පාලන සමය තුළම ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට එතුමා ක්‍රියා කළ බවත් උන්වහන්සේ පැවසූහ.

දශක තුනක ත්‍රස්තවාදය ආරම්භ කළේ අපේ හමුදාවන් නොවන බවත් එය ඇරඹුවේ ප්‍රභාකරන් ප්‍රමුඛ ඔවුන්ගේ ත්‍රස්තවාදී නඩය බවත් පෙන්වා දෙන අනුනාහිමියෝ එනිසා ඕනෑම මානව හිමිකම් චෝදනාවක් පළමුව ඔවුන්ට ගෙන ආ යුතු බවත් කීහ.

රටට එරෙහිව අභූත චෝදනා ගෙන එන කණ්ඩායම් වලට මෙහි ඇත්ත තත්ත්වය පෙන්වාදීම දේශපාලන භේදයෙන් තොරව මෙරට සියලු දෙනාගේ යුතුකම බවත් අත්ථදස්සී අනුනාහිමියෝ පැවසූහ.

රටට එරෙහිව වචනයකින් වත් ක්‍රියා නොකර ලද සෑම විටම රට වෙනුවෙන් වචනයකින් හෝ කතා කිරීම මාතෘ භූමියට ආදරය කරන සියලු දෙනාගේ යුතුකම බවත් එය සෑම කණ්ඩායමක්ම මේ මොහොතේ මනාව තේරුම් ගත යුතු බවත් අස්ගිරි අනුනාහිමියෝ කීහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා