තිරිමාන්න මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

තිරිමාන්න මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

මාලිංග එක්දින කඩුලු 250යි

ළහිරු තිරිමාන්නගේ විශිෂ්ට ශතකයත් ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ඊයේ බංග්ලාදේශයේ ෆටුල්ලාහී ඛාන් සහීබ් ඔස්මන් අලී ක්‍රීඩාංගණයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගමාලාව ආරම්භ කරමින් පැවැති දිවා-රාත්‍රි තරගයෙන් පාකිස්තානයට එරෙහිව ලකුණු 12ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 296ක් රැස්කළ අතර පාකිස්තානයට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 284ක් පමණි. තරගයේ වීරයා වු ලසිත් මාලිංග පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 5 බිඳ දැමු අතර ඒ සඳහා ඕවර 2.5කදී ලකුණු 11ක් පමණක් ලබාදීම කැපී පෙනුණි.

ලකුණු 297ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑම ඇරැඹු පාකිස්තාන පිලේ ආරම්භක කඩුලු සබඳතාව ලකුණු 28දී නිමාකිරීමට සුරංග ලක්මාල් සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් රැකගැනීමෙන් ෂාජිල් ඛාන්ගේ ඉනිම ලකුණු 26කට සීමාවිය.

තම මංගල ජාත්‍යන්තර එක්දින කඩුල්ල ලෙස අහමඩ් ෂෙසාඩ් දවාගැනීමට චතුරංග ද සිල්වා සමත්විය. චතුරංග යැවු ඔහුගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුව (13.3) කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 28ක් ලබාසිටි ෂෙසාඩ් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 77ක් විය. තවත් ලකුණු 6ක් ඉනිමට එක්වෙද්දී හසීස්, මැතිව්ස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. සචිත්‍ර සේනානායකගේ පන්දුවකට චතුරංග ද සිල්වා උඩපන්දුවක් රැකගැනීමෙන් සොහයිබ් මක්සූඩ් ලකුණු 17කට සිවුවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය.

ලකුණු 121කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී නායක මිස්බා උල් හක් සමග එක්වු උමාර් අක්මාල් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමින් ලකුණු සංඛ්‍යාව 242 දක්වා ඉදිරිය‍ට ගෙන ගියේය. පන්දු 114කින් පස්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 121ක සබඳතාව සුරංග ලක්මා‍ල් හමුවේ බිඳ වැටිණි. කුමාර සංගක්කාර උඩ පන්දුවක් රැකගැනීමෙන් වේගවත් පිතිහරඹයක නිරතවු අක්මාල් ලකුණු 74කට දැවී ගියේය.

පන්දු 72කට මුහුණදුන් ඔහු හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් එල්ලකර තිබිණි. ලසිත් මාලිංග යැවු ඉනිමේ 45වැනි ඕවරයෙන් පාකිස්තාන කඩුලු 2ක් බිඳ වැටිණි. ලකුණු 4ක් ලබාසිටි සහීඩ් අෆ්රිඩි, දිනේෂ් චන්දිමාල් උඩපන්දුවක් රැකගැනීමෙන්ද සචිත්‍ර සේනානායක අතට උඩ පන්දුවක් දීමෙන් මිස්බා උල්හක්ද දැවී ගියේය.

හතරේ පහර ‍4ක් හා හයේ පහර 2ක් සමගින් පන්දු 84කින් ගොඩනැගුණු මිස්බාගේ ඉනිමට ලකුණු 73ක් එක් විය. පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 3ද ගොදුරුකර ගැනීමට ලසිත් මාලිංග සමත්විය. පාකිස්තාන ඉනිමේ අවසන් කඩුල්ල දවාගැනීමත් සමග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ කඩුලු 250 සීමාවට පිවිසීමට මාලිංගට හැකිවුණි. මාලිංග කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගත් හයවැනි අවස්ථාව මෙය විය ඔහුට අනගි සහයක් ලබාදුන් සුරංග ලක්මාල් කඩුලු 2ක් දවාගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 296ක් රැස්කර ගැනීමට සමත්විය. කුසල් ජනිත් පෙරේරා අඩු ලකුණු ගණනකට දැවී යෑමෙන් අනතුරුව කුමාර් සංගක්කාර සමග එක්වු තිරිමාන්න දෙවැනි කඩුල්ලට වාර්තා ගත ලකුණු 161ක සබඳතාවක් පිහිටුවමින් ලකුණු 102ක් රැස් කළේය. පන්දු 110කදී වාර්තාවු ඔහුගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 11ක් දැවැන්ත හයේ පහරක් ඇතුළත් විය. එය ඔහු රැස්කළ දෙවැනි එක්දින ශතකය විය.

තිරිමාන්නට අනගි සහයක් ලබාදුන් සංගක්කාර ලකුණු 67ක් රැස්කළේ පන්දු 65කදීය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය. දෙදෙනා එක්ව පිහිටවු ලකුණු 161ක සබඳතාව පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් දෙවැනි කඩුල්ලට වාර්තා වු හොඳම එක්දින සබඳතාව විය.  කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා, උමාර් ගුල් හමුවේ දැවී ගියේ ලකුණු 14ක් ලබාසිටියදීය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 28ක් ලබාසිටියේය.

උමාර් ගුල්ගේ පන්දුවකට අහමඩ් ෂෙසාඩ් අතට උඩ පන්දුවක් ලබාදී සංගක්කාර දැවී යෑමෙන් අනතුරුව ශතකය රැස්කළ තිරිමාන්න, සයිඩ් අජ්මාල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. යළි කණ්ඩායමට එක්වු මහේල ජයවර්ධනට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට නොහැකිවිය. සහීඩ් අෆ්රිඩිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මහේලගේ ඉනිම ලකුණු 13කට සීමාවිය. තිසර පෙරේරා ලකුණු 6කට දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 245ක් ලබාසිටියේය.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ චතුරංග ද සිල්වා 6වැනි කඩුල්ල ලෙස ලකුණු 2ක් ලබාසිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමට හසුවිණි. අනතුරුව නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 296 දක්වා ඉහළ නැංවූහ.වේගවත් ඉනිමක් දියත් කළ නායක මැතිව්ස් පන්දු 50කින් නොදැවී ලකුණු 55ක් ලබාගත් අතර චන්දිමාල් නොදැවී ලකුණු 19ක් රැස් කළේය.

දෙදෙනා අතර 7වැනි කඩුල්ලට ලකුණු 45ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගුණි. පන්දු යැවීමේ දී උමාර් ගුල් සහ ෂහීඩ් අෆ්රිඩි අතර කඩුලු 2 බැගින් බෙදී ගි‍යේය. තරගාවලියේ දෙවැනි තරග අද බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැත්වේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා