ටෙස්ට් හා එක්දින තරගාවලියකට ද.අප්‍රිකාව ජූලියේ ශ්‍රී ලංකාවේ

ටෙස්ට් හා එක්දින තරගාවලියකට ද.අප්‍රිකාව ජූලියේ ශ්‍රී ලංකාවේ

ටෙස්ට් තරග දෙකකට හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග තුනකට ක්‍රීඩා කිරීම පිණිස දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජූලි මස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මේ තරග පැවැත්වෙන දිනයන් තවමත් නියම කරගෙන නැතත් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකිරීමේ දීර්ඝ වකවානුව මේ අනුව කෙටි වනු ඇත. ශ්‍රී ලංකාවේදී අවසන් වතාවට ටෙස්ට් තරගයක් පැවැත්වුනේ 2013 වසරේ මාර්තු මාසයේදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් 2014 වසර සඳහා වන තරග සටහනේ මීට පෙර තිබුණු එකම ශ්‍රී ලංකාවට පැමිණෙන තරග සංචාරය වී තිබුණේ නොවැම්බර් මස එංගලන්තයට එරෙහි සීමිත ඕවර තරගමාලාවකි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාව පසුගිය වසරේ කල් දැමුනු ශ්‍රී ලංකාවට එරෙහි තරගමාලාව සම්පූර්ණ කිරීමකැයි දකුණු අප්‍රිකා ක්‍රිකට් සංගමය නිවේදනයක් මගින් කියා තිබේ. කල් දැමුනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය පැවැත්වීමට නියම කරගෙන තිබුණේ ලබන වසරේය.

එය දැන් මේ වසරට ගෙනැවිත් තිබුනද එහි එක් ටෙස්ට් තරගයක් අඩු කර ඒ වෙනුවට එක්දින තරග එක්කර තිබේ. කලින් තිබූ තරග සටහනට අනුව දෙපිල අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ, පසුගිය වසරේ ක්‍රීඩා කෙරුනු එක්දින තරග පහ සහ විස්සයි20 තරග තුනට අමතරවය.

මේ ටෙස්ට් තරගමාලාව ඉදිරියට ගෙන ඒම නිසා ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටින දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් වතාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවස්ථාව මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරට ලැබෙනු ඇත.

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම 2006 වසරේ දිවයිනට පැමිණි අවස්ථාවේදී 2-0ක ශ්‍රී ලංකා ජයග්‍රහණයකට මුල් වූයේ මේ පිතිකරුවන් දෙදෙනාය. දකුණු අප්‍රිකාව ඔවුන්ගේ රටින් පිට අවසන් වතාවට පරාජය වූ ටෙස්ට් තරගමාලාවද එය විය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා