මුද්‍රණය සඳහා

 
පානීය ජලය අපතේ යෑම ප්‍රශ්නයක්

පානීය ජලය අපතේ යෑම ප්‍රශ්නයක්

පානීය ජලය මුල් කර ගෙන යුද්ධ ඇතිවිය හැකි යුගය වැඩි ඈතක නොවේ යැයි දැනටමත් අනාවැකි පළවීමට පටන් ගෙන තිබෙනවා. රසායනික පොහොර භාවිතයත් සමඟ ම ජලය දුෂණය වීමේ ප්‍රවණතාව වැඩි වෙලා. මේ වන විට සමහර තැනක වැව් අමුණු පමණක් නොව මහ පොළොව පසාරු කරගෙන පොළව අභ්‍යන්තරයටත් ජල දුෂණය ගමන් කරලා. මේ නිසා සමහර තැනක ජල උල්පත් පවා දුෂණය වෙලා.

තුන්වැනි ලෝකයේ සමහර රටවල කම්හල්වලින් අපද්‍රව්‍ය බැහැර කරලීමේ නිසි ක්‍රමවේදයක් නොමැති කමින් මෙවන් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි පරිසරවේදීන් හා විද්වතුන් සඳහන් කරන්නේ. රතු පස්වල ඊට හොඳ නිදසුනක්.

රජරට වකුගඩු රෝග ව්‍යාප්තියත් සමඟ මුළු රටේ ම ජනයා පානීය ජලය සම්බන්ධයෙන් සැකමුසුව කල්පනා කරන පසුබිමක් නිර්මාණය වෙලා. රතුපස්වල සිදුවීම වුවද දැවැන්ත මහජන කැලඹීමක් දක්වා වර්ධනය වූයේ මේ සැකය නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසා විධිමත්ව සපයනු ලබන පානීය නළ ජලයට දැන් වෙනදාටත් වඩා ඉල්ලූමක් ඇති වෙලා.

අතීතයේ පිරිසිදු ජලය රැඳි ළිඳකට තිබුණ ඉල්ලූම අද ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. වර්තමානයේ කාගේත් කැමැත්ත පිරිසිදු කරන ලද නළ ජලයටයි. නැතිනම් බෝතල් කරන ලද ජලයටයි. දැනටමත් කිරි ලීටරයකට වඩා වතුර ලීටරයක වටිනාකම වැඩියි. අතීතයේ මෙන් වැවකට, අමුණකට යමින් බීමට වතුර කළ ‍ෙගඩියක් පුරවා ගෙන පාවිච්චි කළ යුගය අහෝසි වෙමින් පවතිනවා. මේ වන විට දිය පහරිකින් දිය දෝතක් ගෙන පානය කිරීමත් ප්‍රශ්නයක්. ?

වර්තමානයේ පවතින නියඟත් සමඟ බීමට ගන්නා ජලයේ පිළිබඳ නැවත ප්‍රශ්නයක් ඇති වෙලා. එසේ ම වගාවට වෙන් කරන ලද ජලය නියඟය පවතින ප්‍රදේශවල දෛනික ජල සැපයුමට එක් කරනවා ද නැද්ද යනුවෙන් කථිකාවතක් ඇති වෙලා.

කුමන පසුබිමක් යටතේ වුව ද රටක ජනතාවට පානීය ජල සැපයීම බැහැර කළ නොහැකි වගකීමක්. මේ වන විට රටේ පානීය ජලය සපයනු ලබන ප්‍රධාන ආයතනය බවට පත්ව තිබෙන්නේ ජල හා ජලා ප්‍රවාහන මණ්ඩලයයි.

ජනතාවට පෞද්ගලික මට්ටමින් ඉටු කරන ගත නොහැකි අවශ්‍යතාවන් වෙනුවෙන් තමයි ආණ්ඩුවක් ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන්නේ. පානිය ජලය සම්බන්ධයෙන් වුව ද සත්‍යය එයයි. උණු කර ගැනීමෙන් තොරව පානීය ජලය ලබා ගැනීමට නම් එය සාමුහික ප්‍රයන්තයකින් සැපයිය යුතුයි. එය ආණ්ඩුවක වගකීමක් ද වෙනවා.

මේ වන විට ඒ සඳහා දැවැන්ත ආයෝජනයක් රජය මඟින් කරනු ලබනවා. මේ රටේ ජනගහනයෙන් 41%ක් තවමත් තම පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නේ ළිං, අත්පොම්ප, නළ ළිං, වැනි ජල මුල මඟින්. 2012 වසර අවසන් වන විට පිරිසිදු පානීය ජලය පාවිච්චි කරනු පිරිස ජනගහනයෙන් 87.7%ක් පමණ වෙනවා.

මෙය තුන්වැනි ලෝකයේ වෙනත් රටවල් හා සැසඳීමේ දී ඉහළ ප්‍රතිශතයක්. ඒ අතින් ශ්‍රී ලංකාව සිටින්නේ අනෙක් රටවලට වඩා සංවර්ධිත තැනක. අපේ රටේ පිරිසිදු කරන ලද ප්‍රධාන පානීය ජල මුලාශ්‍රය ජල හා ජලා පවහන මණ්ඩලයයි.

නිදහසින් පසු 2005 වනතුරු ම මේ රටේ පානීය ජල සැපයුම සීමා වී තිබුණේ ජනගහනයෙන් 30.8%කටය. එය ද වැඩි වශයෙන් ආවරණය කරනු ලබනු ලැබුවේ නාගරික ප්‍රදේශයි. 2005 දී ජල පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව 906,060කට සීමා වී තිබුණා. 2013 වන විට මෙය 1,671,000ක්ව වර්ධනය වෙලා. 2001 සිට 2005 දක්වා ජල සම්පාදන අංශයට රජය ආයෝජන කර ඇති මුදල රු.ද.ල. 47,518යි. එය දළ වශයෙන් වසරකට රු. මිලියන 9500 පමණ වෙනවා.

එහෙත් 2005 සිට 2010 දක්වා වසර 5ක කාලයේදී මෙම රජය කළ ආයෝජනය දෙගුණයක් වී තිබෙනවා. එනම් රු. මිලියන 90,422යි. 2005 - 2012 දක්වා කාල පරාසය තුළ මහා පරිමාණයේ ජල ව්‍යාපෘති පමණක් 36ක් සම්පූර්ණ කිරීමට වත්මත් රජය සමත් වුණා. මේ නිසා ජල හා ජලා පවහන මණ්ඩලයේ නිෂ්පාදන ධාරිතාව ඝනමීටර් 552,609ක් දක්වා වැඩි වී තිබෙනවා.

2012 වසර වනවිට මේ රටේ පානීය ජල නිෂ්පාදනයෙන් 72% උපයෝගී කරගනු ලබන්නේ ගෘහස්ථ පරිභෝජනයට. කාර්මික අංශයට වෙන් වනුයේ 28%ක් පමණයි. 2012 වසරට සාපේක්ෂව ගෘහස්ථ අංශය විසින් මණ්ඩලයේ මුළු ආදායමට දක්වන දායකත්වය සමස්ත ආදායමින් 55%යි. ඉන් උපයා ගන්නා ආදායම රු.ද.ල. 7455ක් ලෙසයි වාර්තා වෙන්නේ. අපේ රටේ පානීය ජල සම්පාදනයේ ඇති දැවැන්තම අභියෝගය නිෂ්පාදිත පිරිසිදු පානීය ජලයෙන් 30%ක් පමණ නාස්ති වීමයි. නැත්නම් අපතේ යෑමයි.

මහනුවර හා තදාසන්න ජල ව්‍යාපෘති අධ්‍යක්ෂ සරත් ගාමිණි පවසන පරිදි ගෘහස්ථ හා වෙනත් විවිධ කරුණු හේතුවෙන් වසරකට පානීය ජලය ඝන මීටර් දශ ලක්ෂ 117ක් පමණ අපතේ යන බව විවිධ පර්යේෂණ හා නිරීක්ෂණවලින් හෙළිදරව් වෙලා.

මේ අනුව දෛනිකව ජලය ඝනමීටර් 320,000 පමණ අපතේ යන බව ද උපකල්පනය කර තිබෙනවා. මුදල් අමත්‍යංශයේ 2011 වාර්ෂික වාර්තාවට අනුව 2011 වසරේ නිපදවන ලද මුළු ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 490ක් වන අතර මින් ඝන මීටර් මිලියන 148ක් ම අපතේ ගොස් තිබෙනවා.

2012 වසරේ මෙම අපතේ යෑම ඝන මීටර් මිලියන 157ක් වන බවයි වාර්තා වෙන්නේ.ඒ අනුව ආදායම් නො ලබන ජලය මුළු ජල නිෂ්පාදනයෙන් 30%ක් පමණ වෙනවා. පිළිගත් ජාත්‍යන්තර අනුපාතයට අනුව දියුණු රටවල මෙම ප්‍රතිශතය 12% - 15% වන බවයි පැවසෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අපතේ යෑම් ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රමාණය ගණනය කළ විට සිදු වී ඇති අලාභය රු. මිලියන 3,300ක් පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා.

රටේ මුළු ජල නිෂ්පාදනයෙන් 50%ක් පමණ බෙදා හරිනු ලබන්නේ කොළඹ හා අවට ප්‍රදේශයේ මේ නිසා 2012 වර්ෂයේ ආදායම් නොලබන මුළු ජල ප්‍රමාණයෙන් 49%ක් ලෙසට වාර්තා වෙන්නේ කොළඹ නගරයෙන්. මෙම ප්‍රදේශයේ ජලය බෙදා හැරීමේ පද්ධතියේ පවතින දුර්වල තත්ත්වයන් නිසා දිනකට විශාල වශයෙන් ජලය කාන්දු වීම් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ. නීති විරෝධී ජල සම්බන්ධතා හා අඩු පහසුකම් සහිත ජනාවස ඒකක 1571ක් ඇති නිවාස 6,600කට ජලය නොමිලේ ලබාදීම ද මුල්‍යම අලාභය වර්ධනය වීමට එක් ප්‍රධාන හේතුවක්.

රජරට හා ඒ අවට පැතිරී යන වකුගඩු රෝගය වළක්වා ගැනීමේ පිළියමක් ලෙස පානීය ජලය ඒ ප්‍රදේශවලට ලබාදිය යුතුව තිබෙනවා. මේ වන විට හඳුනා ගෙන සිටින 25,000ක් පමණ වන වකුගඩු රෝගීන්ට ද පිරිසිදු පානීය ජලය සැපයිය යුතුයි.

එය මේ වන විට රජයේ මෙන්ම රට ජාතියේ ද වගකීමක්. පිරිසිදුව සකස් කර ගන්නා පානීය ජලය අපතේ යෑම වළක්වා ගෙන වකුගඩු රෝග ආශ්‍රිත ප්‍රදේශවලට කඩිනමින් ජල සැපයුම වර්ධන කිරීමට අවස්ථාවක් සලසා ගැනීම අප කාගේත් වගකීමක්.

එසේ ම පිරිසිදු පානීය ජලය අපතේ යෑමේ මට්ටම අඩු කර ගන්නා ප්‍රමාණයට වකුගඩු රෝග ආශ්‍රිත ප්‍රදේශවල ජල සැපයුම වර්ධනය කර ගැනීමට මුදල් ඉතිරි කරගත හැකි වෙනවා. මේ ගැන වගකීමකින් යුතුව කල්පනා කිරීමට දැන් කාලය එළඹිලා මෙවර අයවැය ලේඛනයෙන් වෙන් කර ඇති මුදලට අමතරව අපතේ යන පානීය ජල සැපයුම් පාලනයක් ඇති කර ගැනීමෙන් ද යම් මුදලක් ඉතිරිකර ගත හැකි වෙනවා. ඒ සඳහා ජලා හා ජලා ප්‍රවහන මණ්ඩලයේ කළමනාකරන දුර්වලතා ද මඟ හරවා ගත යුතු‍යි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]