අවුරුද්දටවත් නැති විපක්ෂ නායකයාගෙන් රටට වැඩක් වේද?

අවුරුද්දටවත් නැති විපක්ෂ නායකයාගෙන් රටට වැඩක් වේද?

බුදුන් වහන්සේ තමන් උපන් දේශයට ද තමන්ගේ පළාතට ද බෙහෙවින් ආදරය කළහ. උන් වහන්සේ ගේ චරිතය විග්‍රහ කරන කළ ඒ බව හොඳින් සනාථ වේ. ස්වකීය ජීවන ක්‍රියාවලියට පසුබිම සකසා දෙන ගහට-කොළට පමණක් නො ව; අජීවී වස්තුවලට පවා කෘතවේදීත්වය පළකිරීම උතුම් මනුෂ්‍යයකුගේ චාරිත්‍රය වේ. බුද්ධත්වය ලැබීම උදෙසා උපකාරී වූ බෝධියට බුදුන් අනිමිස ලෝචන පූජාවෙන් උපහාර දැක්වූයේ කෘතවේදීත්වය පළකිරීම සඳහා ය.

මේ සංවේදීකම නැති මිනිසා ළඟ සැබෑ මනුස්සකම නැත. එවන් මිනිස්සු කාලකණ්ණියෝ වෙති. කාටත් පළමු ව රටක නායකයන් සංවේදී විය යුතු ය. කෘතවේදී විය යුතු ය. ඔවුන් ආදර්ශවත් විය යුතු ය. තම මව්බිමට ආදරය නො කරන මිනිසා නායකත්වයට සුදුසු නැත. තම ජාතියට ආදරය නො කරන මිනිසා නායකත්වයට සුදුසු නැත. සිරිත්-විරිත්වලට ගරු නොකරන මිනිසා ද නායකත්වයට සුදුසු නැත. විප්ලවීය නායකයෝ මව්බිම නැත්නම් මරණය යැයි සටන් පාඨයක් භාවිත කරති. එයින් ලබාදෙන ආදර්ශය වන්නේ දිවිහිමියෙන් මව්බිම ආරක්ෂා කළ යුතු බව ය. මේ කිසිවක් ගණන් නොගන්නා පුහු නායකයෝ ද අපට සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එබඳු නායකයෙකි. ඔහු මේ අවුරුදු සමය ගත කරන්නේ ඇමෙරිකාවේ සුද්දන් සමඟ ය. සිරිත් විරිත්වලින් ඔහුට වැඩක් නැත. බුලත් දුම්කොළවලින් ඔහුට වැඩක් නැත. කැවුම්-කිරිබත්වලින් ඔහුට වැඩක් නැත. නැකත්වලින් ඔහුට වැඩක් නැත. හිස තෙල් ගෑමෙන් ඔහුට වැඩක් නැත. කොටින්ම අවුරුදු උත්සවය ශත පහකට ගණන් නොගැනීම ඔහුගේ පුරුද්ද වී තිබේ. තමන්ගේ උරුමය අමතක කරන මිනිසා නායකයෙක් ද? පනාමුරේ ඇත්රජා ළඟ මීට වැඩිය සංවේදීකමක් තිබිණි. ඌ තමාගේ රැළ වෙනුවෙන් ජීවිතය පූජා කළේ ය.

අලුත් අවුරුද්ද යනු වසරකට වරක් එන අගනාම අවස්ථාවයි. මිනිසුන් තම සහෝදරත්වය හා සමගිය පළ කරනුයේ මේ අවස්ථාවේදී ය. බෞද්ධ-හින්දු දෙපාර්ශ්වයටම මේ අවස්ථාව ඉතා වැදගත් වේ. චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට එහි දී මුල්තැනක් ලැබේ. රට-රාජ්‍යවල වසන මිනිස්සු මේ සඳහා ගමට එති. නගරවල වසන මිනිස්සු උපන් ගමට යති. වැඩිහිටියෝ බැහැ දකිති. අලුත් අවුරුද්දටත් නැති මිනිහා කුමකටදැ’යි ගම්වල කතාවක් තිබේ. අලුත් අවුරුද්දට ගමට නොඑන මිනිසා ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. වික්‍රමසිංහ මහතාටත් ඒ සන්තෑසිය සිදුවන්නට ඉඩ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා චන්දිමාල්ගෙන් ආදර්ශ ගත යුතු යැයි හිටපු එජාප නායකයකු කියා තිබිණි. එය සත්‍යයෙකි. චන්දිමාල් ස්වකීය කැමැත්තෙන් ම නායකත්වයෙන් ඉවත් වූ නිසා අපට විස්සයි - විස්ස ලෝක ක්‍රිකට් කිරුළ ලැබිණි. තමන්ට වඩා දක්ෂයකුට නායකත්වය පැවරීම බුද්ධිමත් මිනිසකුගේ ලක්ෂණයකි. චන්දිමාල් එම තීන්දුව නොගත්තේ නම්; ශ්‍රී ලංකාවට ක්‍රිකට් කිරුළ අහිමිවන්නට ඉඩ තිබිණි. චන්දිමාල් ආත්මාර්ථකාමියෙක් නො වේ. ඔහු රට ගැන කල්පනා කළේ ය. ස්වකීය කණ්ඩායම ගැන කල්පනා කළේ ය. අවසානයේ ඔහු මුළු මහත් ජාතියේ ම ගෞරවයට පාත්‍ර විය. වික්‍රමසිංහ මහතා එබඳු ගෞරවයකට පාත්‍ර වන්නේ කවදාද?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුත්තක් සඳහා රනිල් මහතා ගමට ගියේ ය. ගම ගෙදරක අටුකොස් ඇට මැල්ලුමක් සමඟ බත් සකස් කර තිබිණි. රස කරමින් අටුකොස් ඇට ආහාරයට ගත් ඒ මහතා ගෙහිමියාගෙන් යමක් ඉල්ලා සිටියේ ය. ගෙහිමියා බක-බක ගා සිනාසෙන්නට පටන් ගත්තේ ය. වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇත්තේ අටුකොස් ඇට පැළයකි. ඒ මහතා ගම ගැනත්, ගමේ සංස්කෘතිය ගැනත් දන්නා හරිය එයින් පැහැදිලි වේ. තව වරෙක ඔහු ගොවියාට බෙල්බොටම් දෙන්නට ගියේ ය. තවත් වරෙක ඔහු කුඹුරු ගොඩ කොට ඒ මත්තේ හෝටල් ඉදිකරන්නට යෝජනා කළේ ය.

විපක්ෂනායකතුමා අලුත් අවුරුදු සමයේ ඇමෙරිකාවට පැන සිටීම ගැන එක අතෙකින් පුදුම විය යුතු ද නැත. ඔහුගේ හැසිරීම් විශ්ලේෂණය කරනවිට පෙනී යන්නේ සිරිත්-විරිත්වලට හා අපේ සාරධර්මවලට බය බවය. ඔහු ජාතික උත්සවවලින් මෙන් ම ආගමික උත්සවවලින් ද පැන යන බවක් පෙනෙන්නට තිබේ. එජාපයේ හිටපු නායකයෝ රටට හා ජාතියට ආදරය කළෝ ය. සිරිත්-විරිත් පිළිගත්තෝ ය. ඩී.එස්. සේනානායක මහතාට අදත් බොහෝ දෙනා ගෞරව කරති. මිනිස්සු ජාතියේ පියා ලෙස ඔහුට බුහුමන් දක්වති. එබඳු නායකයන් සිටි පක්ෂයකට අද සිදුවී ඇත්තේ කුමක් ද? ඊයේ අප පත්‍රයේ ප්‍රධාන පුවතින් කියැවුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය හා විපක්ෂනායකතුමා එම ජාතික උත්සවයෙන් පැන ගිය ආකාරය ගැන ය. භික්ෂුන් වහන්සේ මෙන් ම රටේ කීර්තිමත් උගත්තු වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාවලිය දැඩි විවේචනයට ලක් කළ හ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අගය කළහ. රනිල් වික්‍රමසිංහ බඳු නායකයන් ජාතියේ උරුමය ගැන සං‍ෙව්දී නැති බවත්; එබඳු නායකයන් නිසා එක්සත් ජාතික පක්ෂය දිනෙන්-දින පිරිහෙන බවත් බොහෝ දෙනා පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයා අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා උපන්ගමට ගියේ ය. ඒ සිය දරු පවුලත් සමඟ ය. නැකතට අනුව කිරි උතුරවා ජාතියට ම සුබ පතන්නට එතුමා කටයුතු කළේ ය. සිය වැඩිමහල් සහෝදරයාගේ නිවසට ගිය මහින්ද රාජපක්ෂ මහතා බුලත් හුරුල්ලක් දී ආචාර කළේ ය. අසල්වැසි ගැමියෝ ඉතා ප්‍රීතියෙන් පැමිණ ජනාධිපතිවරයා සමඟ ගනුදෙනු චාරිත්‍ර ඉටුකළහ. එය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් විය. රටේ නායකයා කටයුතු කළ යුත්තේ එබඳු ආදර්ශවත් පිළිවෙළකට ය. විපක්ෂ නායකතුමා අපේ ජනාධිපතිවරයාගෙන් සිරිත්-විරිත් උගත යුතු යැයි අපට සිතේ.

චිනුවා අචේබේ යනු සමස්ත අප්‍රිකානු සාහිත්‍යයේ පුරෝගාමියා ය. නයිජීරියාවේ උපන් ඔහු පසුකලෙක අ‍ැමෙරිකාවේ ජීවත්විය. ඉංග්‍රීසියෙන් සිය ලිවීම ආරම්භ කළ ඔහු පසුව තම භාෂාවෙන් ලියන්නට පටන් ගත්තේ ය. සිය දේශයට මහත් සේ ඇලුම් කළ අචෙබේ රටට ආදරය නොකරන දේශපාලකයන් දැඩි සේ විවේචනය කළේ ය. වරක් ඔහු කියා සිටියේ නයිජීරියාවේ සම්පත්වල කිසිදු අඩුවක් නැති බව ය. එහෙත් හොඳ නායකයන් නයිජීරියාවට නැති බව ඔහු පෙන්වා දුන්නේ ය. එම කතාව විපක්ෂයටත් ගළපා ගත හැකි ය. විපක්ෂයට සාර්ථක නායකයන් නැත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා