කිරි ඉතිරෙන්න නම් මම දර දාන්න ඕනෑ

කිරි ඉතිරෙන්න නම් මම දර දාන්න ඕනෑ

සිංහල සහ හින්දු අලුත් අවුරුදු සිරියෙන් පසුගිය සඳුදා මුළු රටම මහත් උත්සවශ්‍රීයක් ගත්තේය. රටේ රාජ්‍ය නායකයා ලෙස දහසක් රාජකාරි මධ්‍යයේ වුවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළ සිරිතට විරිතට මුල්තැන දෙමින් ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, නාමල්, යෝෂිත හා රෝහිත , දරු තිදෙනා හා ඥාතීන් සමඟ එක්ව තංගල්ල කාල්ටන් නිවසේදී අවුරුද්ද සැමරුවේ අති උත්කර්ශවත් අයුරින්ය.

එදින උදෑසන කාල්ටන් නිවසේදී පෝදා ධර්මදේශනය මාවරලේ භද්දිය හිමි දේශනා කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික බණ්ඩාරනායක ඇමැතිවරුන්ද ඊට එක් වී සිටියහ.

ධර්ම දේශනය අවසානයේ හිමිනමට ගිලන්පස පිළිගැන්වූ ජනාධිපතිතුමා ජොන්ස්ටන් හා ඉන්දික බණ්ඩාරනායක ඇමැතිවරු අසලට පැමිණියේය. ඇමැතිතුමා හාමුදුරුවන්ගේ බණ ටික හොඳයි නේද? කාලෝචිත බණක් යැයි ජනාධිපතිතුමා කීය. ඔව් සර් බණ ටික හොඳටම හොඳයැයි ජොන්ස්ටන් ඇමැතිතුමා කීවේය.

මේ අවුරුද්ද පෝය දවසට යෙදුනේ ජනතාවට මොකුත් කරන්න බැහැ. ආගමික වැඩ විතරයි කරන්න පුළුවන් ජනාධිපතිතුමා සිනා සෙමින් කීය.

පසුව යෙදුණු සුබ හෝරාවේදී ළිප ගිනි මෙළවීමේ කටයුත්ත ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සුරතින් සිදු විය.

කිරි ඉතිරීම ප්‍රමාදයි කියමින් ඒ අසලට සේන්දු වූ ජනාධිපතිතුමා දර කැබැල්ලක් ළිපට දමමින් “කිරි ඉතිරෙන්න නම් මම දර කෑල්ලක් දාන්න ඕනෑ යැයි කීවේ පිරිස සිනා සාගරයක ගිල්වමින්ය.

වසර ගණනාවක් ගනුදෙනු කළ චම්පා සීයා සමඟ ජනාධිපතිතුමා ගනුදෙනු කිරීමෙන් පසුව ආර්යාව චමල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සමඟද ගනුදෙනු කළේය.

පසුව ආහාර ගනිමින් සිටි ආරක්ෂක ලේකම්තුමා දුලාංජලී‍ ප්‍රේමදාස මහත්මියගේ හොර නෝට්ටු සිද්ධිය පිළිබඳ අදහස් දැක්විය. පරික්ෂණයට මොකද වුණේ ඇමැති ඉන්දික ඇසීය. ඒ ගැන තවම පරීක්ෂණ ඉවර නැහැ. රුපියල් පන්දහසේ හොර නෝට්ටු හැම තැනම තියෙනවා.

අහුවුණේ ඒකෙන් ටිකයි. ඒ නිසා මේ ගැන ‍රට පුරා පරීක්ෂණ කරනවා යැයි ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේය. නාමල් රාජපක්ෂ මහතා ළඟ දැවටෙමින් සිටි කුඩා දරුවෙකුගෙන් ඇමැති ජොන්ස්ටන් පුතා ලොකු වුනාම වෙන්නෙ කවුදැයි ඇසීය. ජනාධිපති වෙනවා.

ජනාධිපති මාමට පස්සේ නාමල් අයිය ජනාධිපති වෙනවා. ඊට පසසේ මමයි ජනාධිපතිවෙන්නේ කුඩා දරුවා සුරතල් හඬින් කීය. ජොන්ස්ටන් අන්කල් මේ මල්ලි කාල්ටන් පෙර පාසලේ ඉ‍ෙගන ගන්නේ. මට උදේට නිදා ගන්න දෙන්නේ නැහැ. මැති ඇමැතිවරු දවල් වෙනකම් නිදා ගන්න ‍ෙහාඳ නැහැ කියමින් මට හැමදාම කූද්දනවා යැයි නාමල් රාජපක්ෂ මහතා සිනා‍ සෙමින් කීය.

ජනාධිපතිතුමා කාල්ටන් නිවසේ සිටින බව දැනගත් ගම්වාසීන් ජනාධිපතිතුමා සමඟ ගනුදෙනු කිරීමට වැල නොකැඩී කාල්ටන් නිවසට පැමිණියහ. බුලත් කොළයක් මත තබා රුපියල් සීයේ අලුත් නෝට්ටුවක් හා කාසියක් ගනුදෙනු කරුවන්ට ලබා දීමට ජනාධිපතිතුමා අමතක නොකළේය.

එදින රාත්‍රි මැදමුලන නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයකට එක් වූ ජනාධිපතිතුමා පසුදින තංගල්ල මහජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව, වෙත ගොස් ගනුදෙනු කිරීමේ චාරිත්‍රවල නිරත විය. තංගල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේදී එහි සභාපතිනී ඩබ්ලිව්. ඒ. නාලනී මහත්මිය ජනාධිපතිතුමාට තිළිණයක්ද පිරිනැමුවාය.

දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හිතවතුන් ඇතුළු විශාල පිරිසක් එදින කාල්ටන් නිවසට පැමිණ සිටියේ ජනාධිපතිතුමා සමඟ ගනුදෙනු කිරීම සඳහායි. සනත් ජයසූරිය ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරු හා චරිත හේරත්, අනුෂ පැල්පිට මහත්වරුන් ඊට එක් වී සිටියහ. සර් හයිවේ එ‍ෙක් කවදාවත් නැති සෙනඟක් අද ඉන්නවා යැයි සනත් ජයසූරිය කීවේය.

ගාණ සංශෝධන කළ නිසා සෙනඟ වැඩි වුණා. ජනාධිපතිතුමා කීය.

සර් මගේ යාළුවෙක් සල්ලි දෙන කවුන්ටර් එකේ පැයක් ඉඳලා තියෙනවා යැයි ජයසූරිය පැවසීය.

ගම්බිම්වලට යන ගොඩ දෙනෙකුට ඒක සහනයක් ඒකයි ඔයතරම් සෙනඟ ඉන්නේ මට බොහෝ දෙනෙක් ඒ ගැන කිව්වා යැයි රාජපක්ෂ මහතා කීය.

සර් ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ උපන් දිනය දා කෞතුකාගාරයක් විවෘත කිරීම හොඳ දෙයක්. බොහෝ නායකයන් ඒ ගැන කිව්වත් කළේ නෑ. එය බොහෝ දෙනා අගය කළ කරුණක් යැයි එහි සිටි රජයේ නිලධාරියෙක් කීවේය.

ලෙස්ටර්ට 95ක් වුනත් හොඳ මතකයක් තියෙනවා. රටක එවැනි දේ තිබිය යුතුයි. ජනාධිපතිතුමා කීය. එදින කොළඹ පැමිණි ජනාධිපතිවරයා පසුදින පැවැති හිසතෙල් ගෑමේ රාජ්‍ය උළෙලට සහභාගී වීම සඳහා ගම්පහ කොස්සින්න රජමහා විහාර ස්ථානයට පැමිණියේය.

හිසතෙල් ගා නානු ගෑමෙන් පසු ජනාධිපතිතුමා රජමහා විහාරස්ථානයට පැමිණ සිටි අලි දෙදෙනෙක්ටද හිස තෙල් ගා අන්නාසි ගෙඩියක් දෙමින් මුන්ට දැන් කන්න දෙන්න වෙලා තියෙන්නේ අපිටනේ යැයි සිනා සෙමින් කීය.

බස්නාහිර පළාත් අභිනව මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ප්‍රාදේශීය, නාගරික මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් සඳහා පසුගිය සිකුරාදා උඩුගම්‍පළ නිවසේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කෙළේය.

ආරාධනා ලැබූ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් තනිව පැමිණ සිටියහ. අතළොස්සක් සිය බිරින්දෑවරු, දූ දරුවන් සමඟ පැමිණ සිටිනු දුටු මහ ඇමැතිවරයා “මම ආරාධනා කළේ නෝනල මහත්වරු ඇතුළු සිය පවුලටමනේ, මොකද මේ තනියම” යැයි ප්‍රශ්න කළේය.

නෝනට සනීප නෑ, ඇතැමෙක් පවසද්දී දරුවන්ට අසනීප බව තව මන්ත්‍රීවරයෙක් කීය. අපි දේශපාලනය කරන කොට අපේ පවුල පාලනය කරන්නේ අපේ නෝනලා. නෝනලා එකතු වුණාම මේ වැඩේ ඉස්සරහට යන්න ලේසියි. ඒ අය දේශපාලනය ගැන දැන සිටීම අපිට පහසුයි, ඒකයි මම ඒ අය වෙනුවෙන් පාටියක් සූදානම් කළේ, මහ ඇමැතිවරයා කීවේය. ගීත රාවය අතරේ මහ ඇමැතිවරයාගේ අනර්ඝ යුගල නැටුම මන්ත්‍රීවරු අපේක්ෂා කළද මහ ඇමැතිවරයාගේ නැටුම උත්සවය නිමාවන තෙක් දක්නට නොලැබුණි.

ෆේස් බුක් අපේ රටේ බොහෝ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත් වූයේ “ෆේස් බුක්” සබඳතා හේතුවෙන් තරුණ ජීවිත කිහිපයක් අකාලයේ මිලින වී ගිය නිසාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රධාන රැස්වීම් කිහිපයකදී කියා සිටියේ තාක්ෂණය දියුණු වීම රටකට අවශ්‍ය වුව ද, තරුණ දියණිවරු අහඹු මිතුරන්ට වඩා දෙමාපියන් දැඩි ලෙස විශ්වාස කළ යුතු බවය. රටේ ෆේස් බුක් සංස්කෘතිය උඩු දුවමින් යද්දී රටේ තරුණ පරපුර ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පසුගියදා වයඹ පළාත් සභාව ආරම්භ කළේය.

“සයිබර් අවකාශයේ ඔබේ දරුවා සුරක්ෂිත ද?” මාතෘකාව යටතේ වෘත්තීයවේදීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හයසිය දෙනෙකු දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ එහිදී ආරම්භ විය. වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා එහිදී කියා සිටියේ දැනුවත් වීම ඔස්සේ බොහෝ අනර්ථයන් නවතා දැමීමේ හැකියාව ඇති බවය.

පසුගිය සතියේ මෙරට දේශපාලන කරළිය ඇල්මැරුණු ස්වභාවයක් ගෙන ආවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිසාය. උණුසුම් පුවත් වාර්තා නොවූ මෙම සතියේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බොහෝමයක් දේශපාලනඥයන් විදේශගත වී සිටියහ.

දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව සිටි ටී. එන්. ඒ. සංවිධාන නියෝජිත පිරිස පසුගිය සිකුරාදා මෙරටට පැමිණියේ ය. ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, සෙල්වම් අඩෙක්කලනාදන් මහත්වරු දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සුමා මහතාගේ විශේෂ නියෝජිත මෙපෝසා සමඟ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාවලදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙපෝසා මැයි අග ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු උතුරේ සංචාරයක නිරතවීමටත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා රජයේ අතරමැදියෙක් ලෙස ක්‍රියා කිරීමට එකඟ විය. ටී. එන්. ඒ. සංවිධානයේ පාර්ශ්වකරුවන් වන ප්ලොට් හා ටෙලෝ ආදී පක්ෂ ඔවුන්ගේ නියෝජිතයන් දකුණු අප්‍රිකානු සංචාරයට එක්කර නොගැනීම සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කළේය. ඒ අනුව ගිය සතියේ ටී. එන්. ඒ. පක්ෂයේ සෙසු පක්ෂ අතර අභ්‍යන්තර අර්බුදය උග්‍ර අතට පත් විය.

ඩඩ්ලි සේනානායක මහතාගේ හතළිස්වැනි ගුණ සමරු උළෙල බොරැල්ලේ දී පසුගියදා පැවැතියේ කරු ජයසූරිය මහතා ප්‍රධාන එජාප පාක්ෂිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන්ය. ඉතා චාම් අයුරින් පැවැති මෙම සමරු උළෙලට එජාප නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් තිස්ස අත්තනායක, සභාපති කබීර් හෂීම් මහත්වරුන් ද පැමිණ නොසිටිය අතර මෙරට සිව් වරක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඒ මහතාගේ හතළිස්වන ගුණ සමරුවට සහභාගි වූයේ සියයටත් අඩු පිරිසකි.

එහිදී අනුශාසනාවක් කළ පුංචි බොරැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ මොනරාගල පඤ්ඤාසිරි හිමියෝ ප්‍රකාශ කළේ අවසන් කාලයේ ඩඩ්ලි සේනානායක මහතා මානසික ආතතියෙන් පසු වූ බවය. ඊට විරුද්ධව අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැතිවරයෙක්ව සිටි ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා, “1972 අතුරු මැතිවරණ හතරක් තිබුණා. ඉන් තුනක් ජය ගත්තේ එජාපයයි. එම්. ඩී. බණ්ඩා, එම්. එච්. මොහොමඩ්, ජේ. ආර්. ජය ගත් පසු ඩඩ්ලි සේනානායක මහතා සතුටින් පසුවුණා. අපේ හාමුදුරුවනේ සමාවෙන්න එතුමාට මානසික ආතතියක් තිබුණේ නැහැ.

සිංහල අලුත් අවුරුද්දෙන් පසු ජවිපෙ දේශපාලන මණ්ඩලය ඊයේ බ්‍රහස්පතින්දා පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී රැස්වූයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එකිනෙකාට අලුත් අවුරුදු සුබ පැතුම් එක්කිරීමට අමතක නොකළේය. එහිදී මැයි දිනය පිළිබඳ පක්ෂ නායකයන්ගේ කතාබහට ලක්විය.

අපි මෙවර සම්ප්‍රදායෙන් ‍මිදී අලුත් ආකාරයකට මැයි දිනය සමරන්න ඕනෑ, ලාල්කාන්ත මහතා කීය. ඒක හොඳයි. පෙළපාළියත්, මැයි රැළියත් සාම්ප්‍රදායිකයි. ඒ තත්ත්වය නැති කරන්න ඕනෑ යැයි හඳුන්නෙත්ති කීය. අපි අලුත් ආකාරයකට පෙළපාළිය සංවිධානය කරමු. ඒ වගේම රැළියත් ජනතා ආකර්ෂණය දිනාගන්නා අයුරින් එය කරමු යැයි ලාල්කාන්ත නැවත යෝජනා කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන අවුරුදු උත්සව තුනක් සංවිධාන කර තිබුණේ අලි ඇතුන් ද සමඟය. කෑගල්ල නගර සභා පිටියේ මෙන්ම පින්නවල බතඹුරේ ක්‍රීඩාංගණයේ පැවැති අවුරුදු උත්සවයට අලි ධාවන තරග ද සංවිධාන කර තිබුණි.

අලි ධාවන තරගයේ පළමු ස්ථානය කෑගල්ල ගල්කුමා නැමැති අලියෙක් දිනා ගත්තේය. පූජා හා කුවේණි දෙවැනි තෙවැනි ස්ථාන දිනා ගනිද්දී සෙසු අලීන් හිස වනමින් ආචාර කළේ කාගේත් හිතට නැවුම් සතුටක් එක්කරමින්ය.

එය වටහාගත් මහ ඇමැති මහීපාල හේරත් මහතා සහ කනක හේරත් මහත්වරු පරාජිත සෙසු අලින්ට ද තිළිණ පිරිනැමූහ. ජයග්‍රාහී ගල්කුමා අලියා තිළිණය ලබාගැනීමට පැමිණියේ දෙපයින් නැඟිටමින් පැමිණි සිටි පිරිස ප්‍රීති ඝෝෂා කරද්දීය. මහ අමැතිවරයා ඉදිරිපිට දෙපයින් නැඟී සිට අලියා එක් අතක් ඔසවා ආචාර කළේ මහීපාල මහ ඇමැතිවරයා ද විශ්මයට පත් කරමින්ය. මේ අලියා සැලියුට් දාන්නත් දන්නවානේ මහ ඇමැතිවරයා අලියාට නැවත පලතුරු පෙට්ටි කිහිපයක් දෙමින් කීවේ පිරිස සිනා සාගරයක ගිල්වමින්ය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා