නීතිරීතිවලින් පමණක් දැහැමි සමාජය ගොඩනඟන්න බැහැ

නීතිරීතිවලින් පමණක් දැහැමි සමාජය ගොඩනඟන්න බැහැ

ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති,අග්ගමහා පණ්ඩිත

කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි

ලෝකයේ මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයකු ලෙස සැලකෙන බුදුරජාණන් වහන්සේ එදා සමාජ ප්‍රශ්න විග්‍රහ කළ ආකාරය සහ වර්තමාන සමාජයට ඒවා කොතරම් වැදගත් වන්නේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට අද ධර්ම සභාවට එක්වන්නේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ය.

l සර්වඥතා ගුණයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ එදා සමාජ ප්‍රශ්න විග්‍රහ කළේ කුමන ප්‍රතිපත්තියක පිහිටාද?

බුදුරජාණන් වහන්සේ තුන්කල් දුටු උතුමෙක්. ඒ කියන්නේ උන්වහන්සේට සෑම දෙයක් පිළිබඳවම විශේෂ දිව්‍ය ඥානයක් තිබුණා. ඒ වගේම ඝෘද්ධි බල සහිත නුවණක් තිබුණා. සංසාරය පුරා දියුණු කළ නුවණ නිසා උන්වහන්සේට විශාල ප්‍රශ්නයක් වුවත් විනිවිද දැකීමේ හැකියාවක් තිබුණා.

සමාජයේ තිබෙන නොයෙකුත් ප්‍රශ්න විවිධාකාරයෙන් පෙනෙන, දකින පුද්ගලයන් අද වුණත් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න දෙස බැලුවේ ඒ හැමෝටම වෙනස් ආකාරයකින්. ඒ නිසා උන්වහන්සේ යමක් කියන්නට කලින් එහි හොඳ නරක දෙකම විමසා බැලුවා. අදාළ කරුණ අනාගතයට, වර්තමානයට බලපාන ආකාරය වගේම අතීතයේ බලපෑ ආකාරය පිළිබඳවත් උන්වහන්සේ සැලකිලිමත් වුණා. අපේ බුදු හාමුදුරුවෝ ඕනෑම ප්‍රශ්නයක් විග්‍රහ කළේ එවැනි විමර්ශන බුද්ධියකින් යුතුවයි. උන්වහන්සේ දේශනා කළේ ලෝකයටම උචිත ආකාරයටයි.

l පංචශීල ප්‍රතිපදාවන් වැනි සීලාදී ගුණයන් පිළිබඳ නීති-රීති පනවන්න උන්වහන්සේ ක්‍රියා නොකළේ ඇයි? නීති-රීති පැනෙව්වා නම් ජනතාව මීට වඩා ඒවාට යොමු කරගන්න තිබුණා නේද?

පංචශීලය කියන්නේ බුද්ධ කාලයටත් පෙර සිට ශීලාචාර මිනිසුන් රැකගෙන ආ ප්‍රතිපදා පහක්. නමුත් එදා ඒවායෙහි මේ තරම් ක්‍රමවත් බවක් තිබුණේ නැහැ. පිරිසක් මේ කාරණා පහට අවනත වෙද්දී ආලවක යක්ෂයා වැනි පිරිස් ඒවා නොසලකා හැරියා.

පංචශීලය නීතිගත කරන්න කියලා එදත් බුදුහාමුදුරුවන්ට නොයෙක් දෙනාගෙන් යෝජනා ඉදිරිපත් වුණා. නමුත් බුදුහාමුදුරුවෝ එහිදී අනුගමනය කළේ මධ්‍යස්ථ පිළිවෙතක්. උන්වහන්සේ ලෝකය දෙස බැලුවා. ලෝකය විවිධයි. විසමයි.

එක් එක් පුද්ගලයන්ට තිබෙන්නේ විවිධ අදහස්. ඒ නිසා පංචශීලය නීතිගත ක‍ර ඉදිරියට ගෙන යා නොහැකි බව උන්වහන‍්සේ වටහා ගත්තා. ලෝකය සෑම තැනම ඒකාකාර නැහැ. වාත්‍රාශ්‍රය, ගහකොළ, ආහාරපාන, ජලය, දේශගුණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. ඒ නිසා පංචශීලය රැකීමට නීති-රීති පැනවීම සාර්ථක ක්‍රමයක් නොවන බව උන්වහන්සේ වටහා ගත්තා.

l දැහැමි සමාජයක් උදෙසා ජනතාව පෙළගැස්වීමට බුදුරජාණන් වහන්සේ එදා අනුගමනය කළේ කුමන ක්‍රියාපිළිවෙළක්ද?

නීති-රීති පනවනවාට වඩා බුදුහාමුදුරුවෝ සෑමවිටම උත්සාහ ගත්තේ ජනතාවට කරුණු කාරණා පහදා දී දුරාචාරයන්ගෙන් මුදවා ගන්නටයි. පණ ඇති සතෙක් මරාගෙන කෑම වරදක් බව ජනතාවට අ‍වබෝධ කර දෙන්න උන්වහන්සේ කටයුතු කළා.

හැම සතෙකුටම තම ජීවිතය ගැන විශාල අයිතියක් වගේම වගකීමක් තිබෙනවා. එබඳු සතෙක් මරාගෙන කෑමේ අයිතිය තවත් සතෙකුට නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණය ජනතාවට තේරුම් කර දිය යුතුයි. නීතියක් දැම්මොත් ජනතාව ඒක පිළිපදින්නේ නැහැ. නීති-රිති පිළිපදින්නේ නැති සමාජයකට නීති-රීති දැමීමෙන් ඵලක් වෙන්නෙත් නැහැ. ඒ නිසා නීතියට වඩා වැදගත් වන්නේ අවබෝධයයි.

l වර්තමානයේ ඇතිවී තිබෙන සමාජ ප්‍රශ්න බොහොමයකට හේතුව පුද්ගලයා පංචශීලයෙන් ඈත්වීම නේද?

තවත් සත්වයෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කරමින් මස් මාංශ අනුභවය, බොරු කීම, අනුන්ගේ දේවල් හොරෙන් ගැනීම, අනාචාරයේ හැසිරීම, මත්පැන් පානය මේ එකක්වත් යහපත් පුද්ගලයෙකුගේ ජීවිතවල නොතිබිය දේවල්. යම් පුද්ගලයෙක් තමන්ගේ අනුබලයකින් තොරව අහම්බෙන් ලැබුණු මස් මාංශ අනුභව කරනවා නම් ඉන් පාපයක් සිදුවෙන්නේ නැහැ.

සොරකම වගේම අනාචාරය අද සමාජයේ ඉතා දරුණුවට පවතිනවා. අද‍ ඇතැම් පුවත්පත්, රූපවාහිනී නාලිකා, සඟරා, වෙබ්අඩවි ජනතාවගේ කාමුක සිතුවිලි ඉස්මතු කරවන පින්තූර, දර්ශන පෙන්වනවා. බුද්ධියෙන් අඩු පිරිස් මේ දේවල් ඉතා ඉක්මනින් ග්‍රහණය කරගන්නවා. අපේ සමාජයේ දරුවන් ‍බොහොමයක් විනාශ වෙන්න මේ දේවල් බලපා තිබෙනවා.

l කොතරම් බණ කිව්වත් බොරුවෙන් මුසාවෙන් ජීවිකාව ගෙන යන මිනිස්සු අපේ සමාජයේ කොතෙකුත් ඉන්නවා. මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ ඇයි?

මේ බොරුව රජ කරන කාලයක්. අද බණ කියද්දි භික්ෂූන් වහන්සේලා පවා බොරු කියනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලා ධර්මය ගැඹුරින් දන්නේ නැහැ. ඒ වගේම දන්න අයගෙන් අහගන්නෙත් නැහැ. බියක් සැකක් නැතිව අසත්‍ය දේවල් ප්‍රචාරය කරලා පව් පුරවා ගන්නවා.

මේ දේවල්වලින් මිනිස්සු නොමඟ යනවා. අද සංඝ ශාසනයේ තරුණ වයසෙදි මහණ වෙන අය වගේම මධ්‍යම වයසෙදි මහණ වෙන උදවියත් ඉන්නවා. නිසි කල නිසි ලෙස බණ දහම් ඉගෙන නොගත් පිරිස් තමයි මම කලින් කියපු ආකාරයට ‍ධර්මය කියලා වැරැදි දේවල් සමාජගත කරන්නේ. ඒ අය ධර්මය දන්නේ නැහැ. නමුත් කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. එවැනි පුද්ගලයන්ගෙන් ධර්මයට විශාල හානියක් සිදු වෙනවා.

අද ඇතැම් අය කාලීන බණ වශයෙන් විශේෂණයකුත් යොදා ගන්නවා. බුදු හාමුදුරුවන්ගේ ධර්මය අකාලිකයි. එය සෑම කාලයකටම ගැළපෙනවා. මෙවැනි බොරු දේවල් ප්‍රචාරය කරන්නේ ධර්මය නිවරැදිව ඉගෙන නොගත් අයයි.

l මොකද්ද මේ ජනප්‍රිය බුදුදහම කියන සංකල්පය? එවැනි දහමක් බුදුහාමුදුරුවෝ දේශනා කර තිබෙනවාද?

ජනප්‍රිය බුදුදහම කියලා දෙයක් නැහැ. බුදුදහම එකම බුදුදහමක්. ධර්ම දේශනා වෙනස් වෙන්නේ එක් එක් තැනැත්තා ධර්ම කරුණු පහදා දෙන ආකාරයෙනුයි. එදා බුදු හාමුදුරුවෝ ධර්ම දේශනා කරද්දි ගහකොළ‍‍, සොබා දහමේ ගංගා ඇල දොළ ආදී නොයෙකුත් උපමා භාවිත කළා.

නමුත් අද අැතැම් දේශකයන් වහන්සේලා කරන්නේ නිශ්ඵල වචන‍ යොදා ගනිමින් කෙසේ හෝ කාලය ගෙවීමයි. ජනප්‍රිය කියන්නේ බොරු අලංකාර යොදා ගනිමින් ජනතාව මුළා කිරීම නොවෙයි. බුදු හාමුදුරුවන්ගේ කාලේත් බුදුදහම ජනප්‍රියයි. ඒ රටේ මිනිස්සු එදා බුදුදහම පිළිගත්තේ ඒ නිසයි. ධර්මය ධර්මයමයි. වැදගත් වන්නේ එය මුල මැද අග නිවැරැදිව ගළපා දේශනා කිරීමයි .

සටහන

චතුරිකා ගමගේ

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා