විහිදෙනු මැනවි අහසට දැන් ඉතිං සැඟව සිටියා ඇති

විහිදෙනු මැනවි අහසට දැන් ඉතිං සැඟව සිටියා ඇති

උදෑසන 10.30

දෙමළ මහා සෑය

රතු ගඩොල් පාරක්

පොළොන්නරුවට නොගැළපෙන සීතල කාලගුණයක්

වාහනය සැර දමමින්, බෝට්ටුවක් මෙන් දෙපැත්තට පැද්දෙමින් නොමනා ගමනක් යන්නාක් මෙනි. නටබුන් පසු කරමින්,දැවැන්ත රූක්ෂයෝ පසු කරමින් මේ කොයි නම් යන්නේද? සැණින් රූං ගා පියාඹා යන නම නොදන්නා කුරුල්ලන්ද, කැලය මැද්දෙන් කොකම් පාමින් යළි සැඟවෙන වලි කුකුළන්ද අසන්නේ එකම පැනයකි.

‘ඔහේලා කොහේද හැබෑට මේ යන්නේ?’

පිළිතුරක් නොදී, ගොළුවන් සේ පැද්දෙන වාහනයේ කුඩා ගුරු පාරක් දිගේ බඩගාමින් තවමත් අපි යමින් සිටින්නෙමු. පෙනෙන මානයක දැවැන්ත යමක් නැති මුත් අප සොයා යන්නේ රතු ගඩොලින් සුසැදුණු දැවැන්තයෙකි.

3දසකෝටි අනූ හය ලක්ෂයක් ගඩොල් ඇවැසි, ඒ ඇවැසි ගඩොලින් තාප්පයක් බැන්දොත් එංගලන්තයේ සිට රුසියාවට තරම් වන මේ මහා සෑය දෙමළ මහා සෑය නමි.

ආසියාවේ විසාලම චෛත්‍ය ලෙස විරුදාවලිය ලත් දෙමළ මහා සෑයේ උස අඩි 570කි. මහාවංශයට අනුව රියන් 1300ක් විසාල වූත් සියලු ථූපයන්ට මහත් වූ දෙවැනි කෛලාසයක් සරි වූ දෙමළ මහා සෑය නටබුනක්ව සිටි කාලය හොඳටම ඇති යැයි බෝ දෙනා තීරණය කළෙන් ඒ ප්‍රතිසංස්කරණයට තීරණය විය.

උතුරු අක්ෂාංශ 7ක් සහ නැගෙනහිර දේශාංශ 81ක භූමියේ පිහිටීමකින් යුක්ත මුහුදු මට්ටමේ සිට අඩි 300ක උපරිම උස මට්ටමකින් පිහිටි කුඩා ස්ථූපයක් මුදුනක ඇති හාත්පස රතු ගඩොල් හැරුණු විට කඩා හැළුණු පස් කන්දක් පමණක් දැක ගත හැකි මේ මහා සෑය පිළිබඳ මති මතාන්තර බොහොමයකි.

මහාවංශයට අනුව දෙමළ මහා සෑය නම් සම්පූර්ණයෙන් සාදා නිම කරන්නට යෙදුණු ස්ථූපයකි. එහෙත් බහුතරයක් පුරා විද්‍යාඥයන්ගේ මතය ඊට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ට අනුව මහා දැවැන්තව ගොඩනඟන්නට පිඹුරුපත් සැකසූ එනමුත් එවන් වූ දැවැන්ත බව නිසාම සාදා නිම කරන්නට අසමත් වූ අසම්පූර්ණ ස්ථූපයකි දෙමළ මහා සෑය නමින් අප හදුන්වන්නේ.

අතීත වන්දනාකරුවන් දෙමළ මහා සෑය වන්දනාමාන කර ඇත්තේ ගාථාවක් කියමිනි. ඒ ගාථාවේ සරල තේරුම වන්නේ පරාක්‍රමබාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයෙන් ගෙන්වාගත් දෙමළ සිරකරුවන් ලවා බන්දවා සර්වඥධාතු තැම්පත් කරන ලද දෙමළ සෑය මම වඳිමි යන්නයි.

එමෙන්ම මහාවංශයේ සඳහන් වන ආකාරයට මේ සම්පූර්ණ කළ ස්ථූපයකි. අසම්පූර්ණ ස්ථූපයක්ය යන පොදු අදහස පරයා නැග එන මහාවංශ පාඨය අනුව මේ නම් අති දැවැන්තව කරවා අවසන් කරන ලද ස්ථූපයක් යන්න ඔස්සේ ගමන් කළ විට රසබර අතීතයක් දිගේ අපට ඇවිද යා හැකිය.

ඒ නිසාම මේ දෙමහල් සෑයක් වන්නට ඇතැයි අනුමානයකට පිවිසිය හැකිය. දෙමහල් සෑය යන්නෙන් බිදී ගොස් ඒ දෙමළ මහා සෑය වූවා විය හැකිය. කොට වෙහෙර සම්ප්‍රදාය අනුව යමින් මෙය නිම වන්නට ඇති අතර යුද සමයේ ඔත්තු බැලීම පිණිස ඉතාම උස් ස්ථානයක් වූ දෙමළ මහා සෑය භාවිත කරන්නට ඇති බවට පුරාවිද්‍යාඥයෝ සැක පහළ කරති.

උත්තරාරාමයට උතුරින්ද, වේළුවන විහාරයට දකුණින්ද පිහිටා ඇති දමිළ ථූපය 12 වැනි සියවසට අයත් වූද පොළොන්නරුවේ රාජ්‍ය කළ පළමු වැනි පරාක්‍රමබාහු රජුගේ ස්ථූප කර්මාන්තයක් බවට ඉතිහාසයේ කියැවෙයි.

පරාක්‍රමබාහු රජුගේ ශූර වීර බව ගැන දැනගත් දකුණු ඉන්දීය මධුරෙයි දේශයේ වාරවාමන් ශ්‍රී වල්ලභ රජුගේ පුත්‍ර පරාක්‍රමපාණ්ඩු ශ්‍රී ලංකාවෙන් යුද ආධාර ඉල්ලීය. ලංකාපුර සෙනවියාගේ නායකත්වයෙන් යුද සෙබළුන් ආධාර ලෙස යවන්නට කටයුතු යෙදුණු බව මහාවංශයේ 76, 77 පරිච්ඡේදයන්හී සඳහන්ය.

එකී සංග්‍රාමයෙන් ජය ගෙන මෙරටට ‍රැගෙන ආ යුද සිරකරුවන් යොදවා කොට වෙහෙර හැඩය අනුකූලව රියන් 1300ක උසින් යුක්තව සියලු ථූපයන්ට වඩා විසල් කෛලාස කූඨය හා සමාන ථූපයක් කර වූ බව මහාවංශයේ සඳහන්ය. එනමුත් මේ සෑය අප්‍රකටය. සුප්‍රකට ගල් විහාරයත්,තිවංක ප්‍රතිමාඝරයත් ආසන්නයේ පිහිටා තිබෙන මෙවන් දැවැන්ත ස්ථූපයක් මෙතරම් හුදෙකලාව පැවතීම විස්වාසයට ගත නොහැකි තරම්ය.

එහෙයින්ම මධ්‍යම සංස්කෘතික අරමුදල හා එකතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ මඟ පෙන්වීම යටතේ නොබෝ දිනකින්ම මෙහි සංරක්ෂණ කටයුතු ඇ‍රැඹීමට නියමිතය.

සාමාන්‍ය කැණීම් ක්‍රමවේදයන් යටතේ කැණීම් සිදු කිරීමට අපේක්ෂා කරන අතර එක් එයෙකුට දිනකට ඝන මීටර 0.80ක් වන වැඩ ප්‍රමාණයක් අනුගමනය කරමින් යටගියාව පාදා ගැනීමට බලාපොරොත්තු වේ. විවිධ ස්ථානවලින් ලබා ගන්නා පස්, ගඩොල් හා වෙනත් සුදුසු සාම්පල කිහිපයක සංයුති පරික්ෂා කිරීමටත් සැලසුම් කර ඇත.

වැඩ ඒකක 8665ක් කම්කරු දින 12287ක් සහ තාක්ෂණික ශිල්පී දින 1370ක් මේ සඳහා ගත වෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. නිලධාරී දින 785ක් සහ 2014 ජනවාරි සිට දෙසැම්බර දක්වා වූ වසරක කාලයක් මේ සඳහා ගත වෙනු ඇතැයි අනුමාන කර අවසන්ය.

ඒ සා විසල් කාලයක් වැය කොට කණින්නට යන මේ මහා සෑය එදවස හැඩය මට මනසින් සිතා ගැනීමට බෝ වේලාවක් ගත විය. ගරා වැ‍ටුණු රතු ගඩොල් රියන් 1300ක් උසට ගොඩ ගැසීම සුළුපහසු කාරියක් නොවේ. ඒද දෙමහල් සෑයක් ලෙසය. මුදුනට වෙන්නට ගරා වැටී ඇති පාදමක් සහ නිධන් කොල්ලකරුවන් විසින් හාරා විනාස කරන ලද කොතක සුන්බුන් අදද දැක ගත හැකිය.

විටෙක ඒ මත සැඟවී ඔත්තු බලන චර පුරුෂයෙකි. හේ රතු ජටාවක් හිස බැඳ සුදු සරුවාලයක් ඇඳි අයෙකි. උඩුකය වසා ඇත්තේ යුද සන්නාහයක් වැන්නකිනි. හිස බැඳි ජටාවත්, යුද සන්නාහයත්, සරුවාලයත් එකිනෙකට ගැළපෙන ඇඳුම් ආයිත්තම් නොවේ. එහෙත් එවන් චර පුරුෂයෙකි මගේ මනසේ ඇදී ඇත්තේ.

දහවල් 12.00

ගල් විහාරය

වැලි අතුළ පිරිසිදු මාර්ගයක්

චණ්ඩ රශ්මියක් සහිත කාලගුණයක්

කාලය පසු කර අතීතයට අපි පිවිසෙමින් සිටින්නෙමු. දෙමළ මහා සෑය පසුකර කෙටි වේලාවකින් පසුව අප ළඟා වෙමින් සිටින්නේ පොලොන්නරුව ගල් විහාරයටයි. එහිද විශේෂත්වයකි. එනම් මෙවර වෙසක් උත්සවය එම පරිශ්‍රයේ උත්සවාකාරයෙන් පැවැත්වීමට ලහි ලහියේ කටයුතු සූදානම් කෙරෙමින් පවතින හෙයිනි.

ශ්‍රී ලංකාවේ දෙවැනි රාජධානිය වූත්, මහා වංශයේ උත්තරාරාමය නමින් හඳුන්වන්නා වූත් පොලොන්නරුව ගල් විහාරය වූ කලී ශෛල කැටයම්හි උත්කර්ෂය මේ යැයි ලෝකයට පෙන්වන්නකි. පිහිටි ගලෙහි සුමටව සැකසූ ප්‍රතිමා ත්‍රිත්වයක් මහත් කරුණාවක් පතළ කරමින් වැඩ ඉන්නේ මෙතැන්හිය.

ගල් විහාර පරිශ්‍රයට ඇතුළු වන තැන වම් පැත්තේ නෙලුමින් මෙන්ම කෞමදී මලින් සුපිපි විලකි. කදිමට නඩත්තු කර ඇති භූමිය පුරා ජල කරාම අරිමින් දෛනික ජල සලාකය ලබා ගන්නා රිලවුන් රාශියකි. ඉසිඹුලන්නෝ විසාල ගස් බඳ මත වැතිරීගත් වනමය.

පොලොන්නරුව ගල් විහාර භූමිය පිබිදී ඇත්තාක් මෙනි. ඒ අභිනවයෙන් පැවත්වෙන වෙසක් උත්සවය වෙනුවෙනි. මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන වටදාගෙය සහ හැටදාගෙය පිළිබිඹු කරන මුද්දර නිකුත් කිරීමට ද නියමිතය.

ගල් විහාරයේ පියස්සේ තුන් වැනි අදියර ද අප්‍රේල් අග වන විට සාදා නිම කිරීමටද නියමිතය. එමෙන්ම ගල් විහාර පරිශ්‍රයේදී වෙසක් පෝය දා පොලොන්නරුව ප්‍රදේශයේ පාසල් හා දහම් පාසල් දරුවන් 1500ක්ද පෙහෙවස් සමාදන් කිරීමටත්, වෙසක් උළෙලට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07කින් ‍තෝරාගත් භික්ෂුන් වහන්සේලාගේ මවුපියන් වෙනුවෙන් නව නිවාස ලබා දීමටත් නියමිතය.

අධික රශ්මියත්, ගඟක් සේ ගලා එන ජනතාවත් අපව පොළොන්නරුව ගල් විහාරයෙන්, කරුණාභරිත ප්‍රතිමා ත්‍රිත්වයෙන් එහාට තල්ලු කර දැමීමට සමත් වූවා සේය. දැනට ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින ප්‍රකට පොලොන්නරු කතිකාවත අන්තර්ගත සුවිසල් සෙල් ලිපිය දැක ගැනීම අපහසුය.

ඒ ආවරණය කර ඇති සිහින් කම්බි කාගෙත් පෙනීමට අභියෝග එල්ල කරයි. පොලොන්නරුව සමය වන විට අන්තයටම පිරිහී තිබුණු සංඝ විනය හේතුවෙන් සංඝ සාශන සංශෝධනයක් සිදු කර එක් නිකායක් බවට පත් කළ සංඝ සාමග්‍රය එයයි.

එහෙත් ඒ දැන් පෙනෙන්නේ දැල් අතරිනි. පිලිස්සෙන දෙපා සහිතව, පිලිස්සෙන රශ්මිය හිසට පහර දෙන විටම ආපසු හැරෙන්නට වූයෙන් ලංකාතිලකය අපේ අවධානය අල්ලා ගැනීමට මඟ බලා සිටින බව ආරංචි විය.

සවස 2.20

ලංකාතිලක පිළිමගෙය

නටබුන් සපිරි මාර්ගයක්

සීතලත් - රශ්මියත් සංකලනය වූ කාලගුණයක්

ඒ අතරමඟ ආලාහන පිරිවෙනයි. භික්ෂූන්ට පොහොය කර්ම සිදු කිරීමට ඉදි කළ පොහොය ගෙය බද්ධසීමා ප්‍රාසාදයයි. මෙය පැ‍රැණි ශ්‍රී ලංකාවේ විශාලතම උපෝසථඝරය වන අතර මෙහි දොළොස් මහල් ගොඩනැගිල්ලක් තිබූ බවට සැක කෙරේ.

නටබුන් ‍රැසක් අතරතුර උසට උසේ නැඟී සිටින්නේ ලංකාතිලකයයි. රතු-දුඹුරු ගඩොලින් සජ්ජිත අපූර්ව ගෘහ නිර්මාණ ලක්ෂණ ප්‍රකට කරන ලංකාතිලකය වෙනත් තැනකින් ගෙනැවිත් මේ භූමියේ සවි කළාක් මෙනි.

ඒ තරමටම වෙනස් ගතිගුණ ලංකාතිලකයෙන් කඩා හැළෙයි. ක්‍රි.ව.1153-1186 කාලය අතරතුර රාජ්‍ය කළ මහා පරාක්‍රමබාහු රජු විසින් තනවන ලද ලංකාතිලක පිළිම ගෙය අයත් වන්නේ ගෙඩිගේ ක්‍රමයටය. එමෙන්ම පැ‍රැණි ශ්‍රී ලංකාවේ ඉදි කළ විශාලතම පිළිම ගෙයද මෙයයි.

කදිම නිමාවකින් සහ නොකැඩුණු සඳකඩ පහනක් පිළිමගෙයට ඇතුළු වන තැන වැතිරී ගෙන ඉන්නේ බොහෝ යටහත් පහත්වය. ඒ වටා විසාල වූත්, පැතලි වූත් ගඩොලින් තැනුණු කැඩුණු බිඳුණු කෙටි ප්‍රාකාරයකි. ඇතුළු වන ද්වාරය දෙපස අධික උසකින් හා රවුම් මුහුණතකින් යුක්ත බිත්ති යුගලකි.

වම් බිත්තිය මත එළියට මතු වන ලෙස සැකසූ දොර‍ටු පාල රූපයකි. එහි දකුණු පාදය දණහිස ආසන්නයෙන් බිඳී ගොස් ඇති සැටියකි. හිසද බුන් වී ගොසිනි. ද්වාරයෙන් ඇතුළු වූ තැන කදිමට සැකසූ ශෛලමය පොළොවකි. ඒ ඔබව ගෙන යන්නේ විසාල බුද්ධ ප්‍රතිමාවක් වෙතය.

පිළිමයේ ආරක්ෂාවට පසුපසින් තැනූ ගඩොල් බිත්තියකි. නමුත් මේ වන විට පිළිම වහන්සේගේ හිස බුන්ය. වමත සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති අතර දකුණත වැලමිටටත් ඉහළින් කැඩී බිදී ගොස්ය. මේ පිළිම වහන්සේ ප්‍රදක්ෂිණා කරන්නට තැනී ඇති ක්‍රියා මාර්ගයද විස්මය උපදවන සුලුය.

එනම් තෙමහල් ගොඩනැඟිල්ලක් සේ සැකසී ඇතැයි අනුමාන කරන මෙහි පොළොවේ සිටම උඩට යන තෙක් සැකසුණු ශෛලමය පඩිපේලියකි. ඒ පිළිමය තුන් ආකාරයකින් වන්දනා කරන්නටය. පළමු වැන්න පාද වන්දනාවටය. පිළිමයට පි‍ටුපා නොයන ලෙස පසුපසින් කෙටි බිම් තීරුවකි. ඒ වටා ගමන් කරමින් පිළිමය ප්‍රදක්ශිණා කළ හැකි අතර පඩිපේළිය භාවිත කර පිළිම වහන්සේගේ සිරස, කාය වන්දනා කළ හැකිය.

‘අපි මේ පිපිරුම් වගයක් හදනවනේ. මේ බිල්ඩිමේ උඩ පුපුරලා ඇතුළට වතුර බහිනවා. අපි ඒවා පිළිසකර කරනවා.’ බුලත් කහට බැඳි දසන් දක්වමින් එසේ කියන්නේ පෙදරේරු විමලසිරිය.

දකුණු අත පැත්තට වන්නට ඇති පඩි පේළිය ආසන්නයේ කුඩා ශෛලමය දොර‍ටුවකි. දොර‍ටුවේ උඩ බදාමයේ සිත්තම් කළ රුවක ශේෂයෝය. කඩින් කඩ අපැහැදිලි රූ දැකගත හැකි අතර තරමක් උඩට වෙන්නට තරමක් අපැහැදිලි කාන්තා රුවකි. පෙදරේරු විමලසිරි භක්තියෙන් ලංකාතිලකය දෙස බලාගත් වනමය.

‘මේ වගේ තැන්වල වැඩ කරන්නත් වාසනා කරන්නෝනා’ හේ හිස ඇල කර අපේ නම් වාසගම් අසමින් යමක් තේරුම් ගන්නට උත්සාහ කරයි. ‘ආං අර තියෙන්නේ පොලොන්නරුව කිරි වෙහෙර.’ හෙතෙම දකුණු පසට අත දිගු කරමින් පවසයි. එතැන සුදෝ සුදු පැහැයෙන් බබළන චෛත්‍යයකි. ඒ ගැන කියන්නේ පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහය.

‘පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ බිරිය වෙච්ච සුභද්‍රා දේවිය සිහි වෙන්න හදාපු වෙහෙර තමයි පොලොන්නරුවෙ කිරි වෙහෙර කියන්නේ. කිරිවලින් නෑව්වයි කියනව දාගැබ හැදුවට පස්සේ. ඒක නිසා තමයි කිරි වෙහෙර කියලා කියන්නේ.’

නටබුන් අපට යන්න නොකියන්නේ මුත් රෑ බෝ වෙන්නේ අප යා යුතු බව හඟවමිනි. එහෙත් මද දුරකින් පිහිටි භික්ෂු රෝහල අප යන මඟ අවුරමින් සිටින්නාක් මෙනි. එපමණක් නොව හූවක දුරින් පිහිටි ශිව දේවාල දෙකක්ද සිහින් හඬින් කියන්නේ ‘මෙහෙත් ඇවිත් යන්න’ කියාය.

නොහැකි බව කියා මඟ හරින්නට සිදුව තිබේ. තවත් දේ ලියන්නට පොලොන්නරුවට මඟ බලා සිටින්නට සිදුව තිබේ. ඔව්! ඔබ මඟ බලා සිටින්න.

විශේෂ ස්තූතිය - මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රචාරක නිලධාරී පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතාට.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා