මුද්‍රණය සඳහා

 
වැලිකඩ බන්ධනාගාර රෝහලේ මානසික රෝගී රැඳවියෝ 2ක් පැන යති

වැලිකඩ බන්ධනාගාර රෝහලේ මානසික රෝගී රැඳවියෝ 2ක් පැන යති

වැලිකඩ බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් දෙදෙනකු ඊයේ (17) අලුයම 3 ට පමණ එම රෝහලේ වහලයේ උළු ගලවා පලාගොස් ඇත.

රෝහලෙන් පිටතට පැන ගත් එම රැඳවියන් ලී කොට ආධාර කරගෙන බන්ධනාගාර තාප්පයට නැඟී වනාතමුල්ල දෙසින් පලාගොස් ඇති අතර ඒ වන විට බන්ධනාගාර රෝහලේ සේවයේ නිරතව සිට ඇත්තේ නිලධාරීන් පස්දෙනෙකු පමණි.

මෙසේ පලාගොස් ඇත්තේ ඇඹිලිපිටිය සහ හෝමාගම ප්‍රදේශයන්හි රැඳවියන් දෙදෙනකුය. ඔවුන්ගෙන් එක් අයකු මරණ දණ්ඩනය නියමවූවකු වන අතර අනෙක් රැඳවියා සොරකම් සම්බන්ධ නඩු 3 ක් පවරා ඇති සැකකරුවෙක් වෙයි.

මේ රැඳවියන් දෙදෙනා පැන යාමට දිගු කලෙක පටන් කළ සැලසුමක් අනුව, මානසික රෝගීන් ලෙස රඟපා බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුවට ඇතුළත් වී ඇති බවට සැක කෙරේ. මානසික රෝගීන් බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවකින් මේ රැඳවියන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වී සිටියේ ද යන්න පිළිබඳව බන්ධනාගාර මූලස්ථානය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ එම රෝහලේ සේවයේ නිරතව සිටි නිලධාරීන්ගෙන් ද මේ පිළිබඳව බන්ධනාගාර මූලස්ථානය විශේෂ වාර්තාවක් කැඳවා ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]