ගෝබි අත්අඩංගුවට ගත්තේ මාර්තු 5 සිට කළ විමර්ශනවලින්

ගෝබි අත්අඩංගුවට ගත්තේ මාර්තු 5 සිට කළ විමර්ශනවලින්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ

ගෝබි ඇතුළු තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුවූ බවත්, ගෝබි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ මාර්තු 05දා සිට සිදුකළ විමර්ශනවලදී බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මාර්තු 05දා රාත්‍රියේ ‍පලෙයි පොලිස් ස්ථානාධිපතිවරයා එක්තරා ස්ථානයකදී පාප්ප සහ පෝස්ටර් තොගයක් රැගත් පුද්ගලයින් කිහිපදෙනකු අත්අඩංගුවට ගත් බවත් එම පෝස්ටර්වල දෙමළ ජාතියට අසාධාරණයක් සිදුවන නිසා ප්‍රතිසංවිධානය වීමට අවශ්‍ය බව දෙමළ බසින් සඳහන් වී තිබූ බවත් ඒ මහතා පැවැසීය.

පොලිස් මූලස්ථානයේදී පෙරේදා (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය. එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙසේ ද කීවේය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරනවිට ඔවුන්ව මෙහෙයවන්නේ ගෝබි නමැත්තා බව හෙළිවුණා. මේ අනුව අප්පන්, ගෝබි, සේවියන් යන අය ගැන විමර්ශන ආරම්භ කළා. සේවියන් වවුනියාවේ ඉඩමක් මිලදී ගෙන තිබෙනවා. යම් දිනෙක එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමේ අරමුණෙන් ඔහු මේ ඉඩම මිලදී ගෙන තිබෙන්නේ. මඩකළපුව ප්‍රදේශයේ යුවළක් එහි පදිංචි කරවා තිබෙන අතර ඒ අයද හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින්.

මාර්තු 11දා ගෝබි අත්අඩංගුවට ගත්තේ කිළිනොච්චියේ ධර්මපුරම්වලදී. ඔහු පොලිස් නිලධාරියකුට ද වෙඩි තබා පලා ගියා.

තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීම මඟින් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය එක්තරා කාන්තාවකගේ නිවසක් පරීක්ෂා කළා. එහිදී පතොරම් හා මෝටාර් අත්අඩංගුවට ගත්තා. තවත් නිවෙසක තිබී බිම් බෝම්බ හඳුනා ගැනීමේ උපකරණ අත්අඩංගුවට ගත්තා. දෙගර්කට්ටු ප්‍රදේශයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාස නිලධාරීන් පොත්පත් තොගයක් සොයා ගත්තා. ඒවායේ සඳහන්වන්නේ අවි ආයුධ පුහුණුව සම්බන්ධ තොරතුරුයි.

මේ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 67 දෙනාගෙන් 44 දෙනකු ගැන තවදුරටත් පරීක්ෂණ සිදු වෙනවා. දැනට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 106 දෙනකු රඳවාගෙන සිටිනවා. 2012 මාර්තු 17 උච්චවේලිහිදී ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගත්තා. ප්‍රංශයේ කුමනේ තමයි ‍ඒ අයට උපදෙස් දී තිබෙන්නේ. ඉන්දියාවේ චෙන්නායිවලදී ලංකාවේ 06 දෙනකුට යුද පුහුණුව දීලා තිබෙන පිරිසක් චෙන්නායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තා. ශ්‍රී ලංකාවේ තවදුරටත් ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට ඉඩක් නැහැ. කවුරු කළත් කුමන හේතුවක් මත කළත් රටේ අසමගියක් ඇති කිරීමට ඉඩදිය නොහැකියි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා