අවුරුදු සමයේ බීමත්ව රිය පැද වු රියැදුරන් 1315ක ගේ රියැදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවන්න යයි

අවුරුදු සමයේ බීමත්ව රිය පැද වු රියැදුරන් 1315ක ගේ රියැදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවන්න යයි

බීමත්ව රිය පැද වු රියැදුරන් 1315 දෙනකු මේ 10 වැනිදා සිට ‍ඊයේ (17) දක්වා වු සතිය තුළ පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබේ. මේ පිරිස අතර මගී ප්‍රවාහන බස් රථ රියැදුරෝ 12 දෙනකු ද වන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.

මඟීන්ගේ ජීවිත අවදානමක් ඇති වන පරිදි රිය ධාවනය කිරීම බරපතළ වරදක් බැවින් මේ මඟී ප්‍රවාහන බස් රථ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය අහෝසි කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අනෙකුත් රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවීමට කටයුතු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම ඊයේ (17) පොලිස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.

ඉකුත් ජනවාරී මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ බීමත්ව රිය පැදවු රියැදුරන් 14153 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් ව තිබෙන අතර 2013 වර්ෂයේ දී බීමත් රියැදුරන් 51764 ක් අත්අඩංගුවට පත් ව තිබේ.

අප්‍රේල් 10 සිට 17 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 56 ක් බරපතළ තුවාල රිය අනතුරු 126 ක් වාර්තා වන අතර සුලු තුවාල රිය අනතුරු 243 ක් වාර්තා වේ.

අලාභ පමණක් වු රිය අනතුරු 167 ක් වාර්තා වන අතර මුලු රිය අනතුරු සංඛ්‍යාව 592 ක් වේ. අනතුරුවලින් මිය ගිය ගණන 62 දෙනෙක් වෙති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා