හම්බන්තොට වරාය කේන්ද්‍රකර ගෙන  මුළු රටම සංවර්ධනය කිරීම රජයේ අරමුණයි

හම්බන්තොට වරාය කේන්ද්‍රකර ගෙන  මුළු රටම සංවර්ධනය කිරීම රජයේ අරමුණයි

ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර

හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ කිව්වට නැව් එ නවා. වරායේ දෙවෙනි අදියර තව වසර දෙක තුනකින් නිමාවෙනවා. හම්බන්තොට වරාය කේන්ද්‍රකර ගෙන මුළු රටම සංවර්ධනය කිරීම රජයේ අරමුණයි. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ අදට නොව හෙටටයි.

ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා එසේ ප්‍රකාශ කළේ අඟුණකොළපැලැස්ස කොටවායේ උපේක්කා බෝ සෙවනේ පැවැති උත්සවයක් අමතමිනි.

සිංගප්පූරුවේ පදිංචි කිම් කොත් හ්වා මහතා ගේ ධන පරිත්‍යාගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් 312 දෙනෙකු අතර වියලි ආහාර මලු බෙදාදීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණ. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැති මහින්ද අමරවීර මහතා මෙසේද කීය.

අපි පසුගිය පළාත් සභා මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා. නමුත් 30% ක් වත් ඡන්ද ගන්න බැරිවුණ විපක්ෂය කියනවා ඔවුන් දිනුවා කියලා. ඒ අය අංක ගණිතය දන්නෙ නැතිබව පේනවා. ඡන්දය නොදාපු අයත් එකතුකරලා තමයි ගණන් හදලා තියෙන්නේ.

කොළඹ රැකියා කරන අයට ඡන්දය දමන්න එන්න බැරිවුණා. සමහරුන්ට හැඳුනුම්පතේ ගැටලු තිබුණා. ඡන්දය දාන්න බැරිවුණ අයත් ඡන්දය දැම්මානම් ආණ්ඩුවෙ ඡන්ද ප්‍රමාණය තව වැඩි වෙනවා.

අනික මේක ජාතික මැතිවරණයක් නොවේ. යමෙක් ඡන්දය නොදාන්න හේතු තිබුණානම් අපි ඒ ගැන සොයා බලා අවශ්‍ය පිළියම් යොදනවා. සමහරුන් මෙවැනි ආහාර මලු වැනි දේ බෙදන්නේ යමක් නැවත බලාපොරොත්තුවයි. විශේෂයෙන් දේශපාලනඥයෝ බෙදන්නේ ඊළඟ මැතිවරණයේදී ඡන්ද බලාපොරොත්තුවෙන් අද ජනතාවත් ඒ දේශපාලනයට හුරු වෙලා. මැතිවරණ ප්‍රතිඵල බැලුවම අපට පෙනෙනවා ඡන්දය ගන්න වැඩිය සංවර්ධන වැඩකරන්න ඕන නැහැ. මොනවා හරි බෙදුවම ඇති කියලා. නමුත් මේක ඒ තරම් හොඳ තත්ත්වයක් නොවේ.

හැබැයි මම නම් මගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඡන්ද දිනුවේ එක එක දේවල් බෙදලා නොවේ. අපි මොකුත් බෙදුවේ නැති වුණාට ජනතාව අපට ඡන්දය දෙනවා.

මෙහිදී උපේක්කා බෝසෙවනේ අධිපති කොටවායේ ඛේමාරාම හිමියෝ ද අනුශාසනාවක් කළහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා