බොදු බල සේනාවේ චෝදනා ඇමැති බදියුද්දීන් ප්‍රතික්ෂේප කරයි

බොදු බල සේනාවේ චෝදනා ඇමැති බදියුද්දීන් ප්‍රතික්ෂේප කරයි

විල්පත්තු ජාතික වන උද්‍යානයට අයත් අක්කර 22,000ක මුස්ලිම් පල්ලි නිවාස ඇතුළත් අරාබි කොලනි පිහිටුවීමට කටයුතු කරන බවට බොදු බලසේනා සංවිධානය කරන චෝදනා කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුද්දීන් මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි.

මේ පිළිබඳ බොදු බලසේනා සංවිධානය එල්ල කරන ‍චෝදනා තමන් තරයේම ප්‍රතික්ෂේප කරන බවත් ඒවා අසත්‍ය චෝදනා බවත් බදියුද්දීන් මහතා ඊයේ (17) කොළඹදී පැවැසීය. තමන්ට එල්ල කරන චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳ වහාම නිවැරදි මතය ප්‍රකාශ කරන ලෙසත් තමන් බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලිපියක් මඟින් දන්වා යවා ඇති බවත් මේ පිළිබඳ තමන්ට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ලබන 21දා තමන්ට සිදු වූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බවත් මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය. ඊයේ (17) කොළඹ 03 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. එහිදී ඇමැතිවරයා කියා සිටියේ 1990 වසරේදී එල්. ටී. ටී. ඊ. සංවිධානයට බඳවා ගැනීම සඳහා තරුණ කොටස් ඒකරාශී කළ බවත්, එසේ රට බෙදන ව්‍යාපාරයට හවුල් නොවූ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශවලින් පලවාහැරිය බවත්ය. එසේ පලවාහැරි පිරිස් එම පළාත් අතහැර දකුණු පළාතේ පදිංචි වූ බවද කීවේය. එම ප්‍රදේශයේ ගෙවල් 22,000ක් විනාශ කිරීමටත් එවකට එල්. ටී. ටී. ඊ. සංවිධානය කටයුතු කළ බවද මෙහිදී ඇමැතිවරයා පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඇමැති රිෂාඩ් බදියුද්දීන් මහතා මෙසේ ද කීය.

අද යුද්ධය අවසන් වෙලා වසර කීපයක් ගත වෙලා. ජනතාවට පෙනෙනවා සාමය රට තුළ තිබෙන බව. එම ප්‍රදේශවලින් ගිය ජනතාව නැවත තම ගම්බිම්වලට ඇවිත්. අවුරුදු විසි දෙකකට පසුවයි ඔවුන් එම ප්‍රදේශවලට ඇවිත් තියෙන්නේ. නමුත් අද එම ප්‍රදේශ විනාශ වෙලා. ඔවුන් ඉල්ලන්නේ තමන්ගේ නැති වූ දේපළයි. එම ජනතාව විල්පත්තු ජාතික වන උද්‍යානයට අයත් භූමිවල අනවසරව පදිංචිව සිටිනවා. ඒ වගේම මේ වනවිට රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් ගෙවල් 300ක් හදා දී තිබෙනවා. එම නිවාස නිත්‍යානුකූලව ඉදිකළ ඒවා. ඒ සඳහා අද මටයි චෝදනා එල්ල කරන්නේ. මම එම ජනතාවට මේ ප්‍රදේශවල පදිංචි වෙන්න කියා නැහැ. එය එම ජනතාවගේ කැමැත්ත. හෙක්ටයාර 22,000ක විල්පත්තු වනයට අයත් කැලෑව එළිපෙහෙලි කරලා තියනවාලු. ඇත්තටම මේවා අසත්‍ය චෝදනා. එහෙම දෙයක් වෙලා නැහැ. එදා මම උතුරු, නැඟෙනහිර පළාතේ සිංහල ජනතාවට නිවාස හදන්න, එම ගම්බිම්වල නැවත පදිංචි කරන්න කටයුතු කළා. එහෙම කළේ ජාති භේදයක් නැතුවයි. අද මම මේ මුස්ලිම් ජනතාවට නිවාස හදා දෙනවා කියලා මට චෝදනා කරනවා.

මේ සියලු කටයුතු සිදුකර ඇත්තේ වන සංරක්ෂණ අමාත්‍යාංශය හා ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුදැනුම ඇතිවයි. මෙම ප්‍රදේශයේ පරණ පල්ලියක් තිබෙනවා. එය වල්බිහිවෙලා. එම පල්ලිය වෙනුවට තමයි අලුත් පල්ලියක් හදලා තියෙන්නේ. මමත්, කැලයට, සතා සිව්පාවාට, විල්පත්තු වන උද්‍යානයට ආදරෙයි. ඒවා විනාශ කරන්න ඉඩ තබන්නේ නැහැ. අපි රටේ දේපළ ආරක්ෂා කරනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඇති වැරදි ප්‍රචාර හෙළා දකිනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා