කිඹුල් හූනන් විකිණීමට හැදූ දෙදෙනාට රු: 40,000 බැගින් දඩ

කිඹුල් හූනන් විකිණීමට හැදූ දෙදෙනාට රු: 40,000 බැගින් දඩ

කිඹුල් හූනන් දෙදෙනකු රුපියල් ලක්ෂ දාහතරකට විකිණීමට තැත් කිරීම හා ඔවුන් අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනකුට රුපියල් හතළිස් දහස බැගින් රුපියල් අසූදහසක දඩමුදලක් පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මහත්මිය පසුගියදා නියම කළාය.

තවද එම හූනන් දෙදෙනා ජාතික වන උද්‍යානයකට මුදාහරින ලෙසට දෙහිවල සත්ත්ව උද්‍යානයට නියම කරනු ලැබූ මහේස්ත්‍රාත්වරිය මෙම දඩ මුදලින් අඩක් අද දින ගෙවිය යුතු බවට ද එම පුද්ගලයින් දෙදෙනාට නියම කෙරිණි.

දොම්පේ උඩමාපිටිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකුට මෙසේ දඩමුදලක් නියම කරන ලදී. මේ හූනන් දෙදෙනා පිළිබඳ වාර්තාවක් දෙහිවල සත්ත්ව උද්‍යානයෙන් කැඳවා තිබූ අතර එම හූනන් දෙදෙනා දැවැන්ත තිත් හූනන් වර්ගයට අයත් වන බවට අධිකරණයට වාර්තාකර තිබිණි. මෙහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක බී. එස්. සුමනරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් දැනට දෙහිවල සත්ත්ව උද්‍යානය භාරයේ සිටින එම හූනන් දෙදෙනා ජීවත්විය හැකි පරිසර කලාපයකට මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව එම හූනන් දෙදෙනා ජීවත්වන පරිසර කලාපයක පිහිටි ජාතික වන උද්‍යානයකට මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක බී. එස්. සුමනරත්න, වන සත්ත්ව නියාමකයින් වන ප්‍රියන්ත සමන් එදිරිසිංහ හා එන්. එල්. හසිත නිර්මාල් යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සංජය රණතුංග මහතා පෙනී සිටියේය.

ඉතිරි හිඟ දඩ මුදල ලබන මස 08 වැනි දිනට ගෙවීමට ද නියම කරන ලදී.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා