බියගම විලේජ් අධිපති ඝාතන සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

බියගම විලේජ් අධිපති ඝාතන සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

බියගම විලේජ් හොටෙල් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න (65) යන අය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඉන්දික කාලිංගවංශ මහත්මිය පසුගියදා නියම කළාය.

නාරන්වල පදිංචි පොලිස් විශේෂ කාර්ය බළකායේ සුදත් වික්‍රමසිංහ හා මියගිය අයගේ පුත් බියගම පදිංචි සුරංග ජයරත්න යන දෙදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

තවද මේ ඝාතන සිද්ධියට සමගාමීව මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත පවරා තිබෙන නඩුවද මෙදින (11 වැනිදා) කැඳවා තිබූ අතර එම නඩුව ද ලබන 23 වැනි දිනට කල් තැබීය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් නිශ්ශංක මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කීවේ මේ සිද්ධින් සම්බන්ධව විමර්ශන කටයුතු තවම අවසන් නැහැ. මෙතෙක් සිදු කරන ලද විමර්ශන කටයුතුවල වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. මඩකලපුවේ සිට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලදැයි කියන වාහනය තවම සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. එය බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යනවා. මේ සිද්ධීන් සම්බන්ධව නීතිපති උපදෙස් පතා තිබෙනවා. එය මෙතෙක් ලැබී නැහැ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලාල් කුමාරපේලි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙහි විමර්ශන අවසන් නැතැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැමදාම මෙය කල් අරිනවා. එයින් සැකකරුවන්ට බලවත් අසාධාරණයක් සිදු වෙනවා. ඔවුන් දැන් මාස හයක පමණ කාලයක සිටම රක්ෂිත බන්ධනාගාර ගතවී සිටින්නේ. ඒ නිසා විමර්ශන කටයුතු ඉක්මනින්ම අවසන් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන්න.

මේ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය මේ සිද්ධිය සම්බන්ධව එක් අංශයකින් පමණක් දිගින් දිගටම විමර්ශන කටයුතු සිදුකර ගෙන යන්නේ නැතිව සෑම අංශයක්ම ආවරණය වන පරිදි විමර්ශන කටයුතු සිදු කරන්නට ඕනෑ. මේ සම්බන්ධව නීතිපති උපදෙස් කඩිනමින් ලබාගන්නා ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ලාල් කුමාරපේලි, චින්තක අමරසිංහ, සංජය රණතුංග හා කමල් සම්මන්දප්පෙරුම යන මහත්වරු ද මියගිය අයගේ දියණියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ලලිත් දහනායක මහතා ද පෙනී සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා