බුදු රුව සහිත පත්තර කඩදාසි ආපනශාලාවල අත පිසින්න තබලා

බුදු රුව සහිත පත්තර කඩදාසි ආපනශාලාවල අත පිසින්න තබලා

මෙවැනි ක්‍රියා නවත්වන්න වහා වැඩපිළිවෙළක් සකසන්න

අස්ගිරි මහ නාහිමි ජනපතිට කියයි

විශේෂ අවධානයක් යොමුකර මේ ගැන සොයා බලනවා

ජනපති නාහිමිට පවසයි

මුද්‍රිත මාධ්‍යවල පළවන බුදුරජාණන් වහන්සේගේ රුව ඡායාරූප සහිත පත්තර කඩදාසි ආපනශාලාවල අත පිසීමට පවා තබා ඇති බැවින් මෙය නතර කිරීමට කිසියම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ ඊයේ (17) ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළහ.

මේ මඟින් බෞද්ධාගමට අගෞරවයක් සිදුවන බවද මෙහිදී මහ නාහිමියන් පෙන්වාදීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව ජනපතිවරයා මහ නාහිමියන්ට දැනුම් දුන්නේය. බුදුරුව සහිත පුවත්පත් කොටස් කිහිපයක් සමඟ මේ ක්‍රියාව නවත්වන ලෙස ඉල්ලා ලබාගත් මහජන ‍අස්සන් සහිත සංදේශයක් ද මෙහිදී මහ නාහිමියන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නේය.

පුවත්පත්වල බුදුරුව සහිත ඡායාරූප පළකිරීම නවත්වන ලෙස හෝ ඊට යම් ප්‍රමිතියක් ඇතිකිරීම සම්බන්ධව කටයුතු කරන ලෙස ද මහ නාහිමියන් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර මේ සම්බන්ධව මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන බවද ජනපතිවරයා ප්‍රකාශ කළේය.

හපුතලේ බෙරගල පදිංචි යු. ජී. සරත් නැමැති අය වසර තුනක් තිස්සේ රට පුරා ගොස් මේ සම්බන්ධව මහජනතාව දැනුවත් කර ලබාගත් අස්සන් සහිත සංදේශය ඔහු විසින් මහ නාහිමියන්ට පිළිගන්වා තිබිණි. එම සංදේශය මහ නාහිමියන් විසින් ජනපතිවරයාට බාරදෙනු ලැබූහ.

නව වසර උදාවත් සමඟ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත් ජනපතිවරයා අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරු මෙන්ම දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරුද සහභාගි වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා