බ්‍රිතාන්‍ය දෙමළ සංගමය මෙරට හමුදා නිලධාරීන්ගේ තොරතුරු සොරාගෙන

බ්‍රිතාන්‍ය දෙමළ සංගමය මෙරට හමුදා නිලධාරීන්ගේ තොරතුරු සොරාගෙන

නිලධාරීන් 1000කගේ තොරතුරු අන්තර්ජාලයේ

දෙමළ සංවිධාන හා පුද්ගලයන් කීපදෙනකු ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම හේතුකොටගෙන බ්‍රිතාන්‍ය දෙමළ සංගමය මෙරට හමුදා නිලධාරීන් 1000 කගේ පමණ තොරතුරු සොරාගෙන ඔවුන්ගේ වෙබ් අඩවි‍යක් මඟින් ප්‍රචාරය ‍කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. ඒ මහතා එම ප්‍රකාශය කළේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ත්‍රිවිධ හමුදාව සතුව වෙබ් අඩවි 1000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, මේ වෙබ් අඩවි සමාජීය තොරතුරු සාමාන්‍ය ජනතාව සමඟ හුවමාරු කර ගැනීමට නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් කර තිබෙනවා. නමුත් මේ දෙමළ සංවිධානය මෙරට දී දෙමළ සංවිධාන හා පුද්ගලයන් තහනම් කිරීම හේතුකොටගෙන ‍එයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මේ ප්‍රචාරය කර තිබෙනවා යැයි බ්‍රිගේඩියර්වරයා කීය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැලේසියාවේ පැවැති ආසියානු ආරක්ෂක සේවා සමුළුවකට සහභාගි වී පසුගියදා ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා. මෙය ඉතාමත් කාලෝචිත අවස්ථාවක් වුණා, ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා දීමට. මේ ‍සමුළුව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා ඇතුළු යුද, නාවික හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූ බව ද හෙතෙම පැවසීය.

ඉන්දියාවේ හමුදා නිලධාරීන් අවසන් යුද සමයේ දී මෙරට හමුදාව සමඟ එක්වී කටයුතු කළ බවට එරට අධිකරණයේ ගොනු වූ නඩුව සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙන්කළ නොහැකි ආකාරයේ බැඳීමක් පවතින බවයි.

1947 දී ඉන්දියාව නිදහස ලබා ගත්තා. 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබා ගත්තා. එදා ඇතිවූ එම බැඳීම දිගටම වර්ධනය වුණා. දේශපාලන බැඳීමක් පමණක් නොව හමුදාවන් අතරේ ද බැඳීමක් තිබෙනවා. ඉන්දියාවේ හමුදා නිලධාරීන් ශ්‍රී ලංකාවේ ද, ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ඉන්දියාවේ ද පුහුණුව ලබා ගන්නවා. අද ගත්තත් ඉන්දීය හමුදා නිලධාරීන් මෙරට සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ද ඉන්දියාවේ සිටිනවා.

හමුදාවන් අතර එම බැඳීම මානුෂික මෙහෙයුම් කාලයේ දී වත් කැඩුණේ නැහැ. අධිකරණ ක්‍රියාදාමයක් තිබෙන නිසා ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන්නේ නැහැ. අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසුව පිළිතුර ඔවුන්ට ලැබේවි යැයි හෙතෙම කීය.

නිශා බිස්වාල් මහත්මිය ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ප්‍රතිසංවිධානය සඳහා පසුබිම සකස් කර තිබෙන බවත්, ඇයට විවිධාකාර වූ පුනරුත්ථාපනයන් පිළිබඳව හරි තොරතුරු ලැබී නැති බවත්ය. මේ වන විට 12,000 ක් සමාජගත කර තිබෙන බවත්, එයින් යළි ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවී තිබෙන්නේ තිදෙනෙකු පමණක් බවත් එයම ජයග්‍රහණයක් බවත්ය.

යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අවතැන් වූ ජනතාව වෙනුවෙන් වන්නි ආරක්ෂක මූලස්ථානය නිවාස 3 ක් ද, කිලිනොච්චි ආරක්ෂක මූලස්ථානය නිවාස 1 ක් ද, තනා ප්‍රදානය කර තිබෙනවා. ඒ වගේම හමුදාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා 3000 ක භට පිරිසක් සම්බන්ධ කරගෙන යනවා. අන්තරාය ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිතුමිය ඒ සඳහා සහයෝගය ලබා දෙනවා. නිලධාරීන් 30 දෙනකුට පුහුණුව ලබා දෙනවා. මෙය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ආරක්ෂක මධ්‍යම මූලස්ථානය ඩෙංගු මර්දනය සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා හම්බන්තොට ප්‍රදේශයේ බැද්දවෙල කරගම්ලේවාය තෝරාගෙන තිබෙනවා. ඒ වගේම අභිමංසල - 3 සුව සහන නිකේතනය ආරම්භ කරනවා යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා