රට පැන සිටින කොටි 40කට ඉන්ටර්පෝල් වෙතින් රතු එළියක්

රට පැන සිටින කොටි 40කට ඉන්ටර්පෝල් වෙතින් රතු එළියක්

විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 40ක් හා වෙනත් සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන් 56 දෙනෙකුට මේ වනවිට ඉන්ටපෝල් (ජාත්‍යන්තර පොලිසිය) සමඟ එක්ව රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ ත්‍රස්ත ක්‍රියා මෙන්ම වෙනත් වැරැදි ක්‍රියාවන් සිදුවීම මර්දනය කිරීමට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ සහය ලබාදීමට බව ද ඒ මහතා ඊයේ (17) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීය.

මෙසේ රතු නිවේදන නිකුත් කළ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් අතර විනයාගම්, තෙදියවන් වැනි අයද වන බවත් හෙතෙම සඳහන් කළේය.

යම් පුද්ගලයකු වරදක් සිදුකර විදේශගතව සිටී නම් ඔහු කළ වරද අවුරුදු 2ක් හෝ ඊට වැඩි සිර දඬුවමක් දිය හැකි වරදක් නම් හෝ ඒ සම්බන්ධයෙන් තොරතුරු අධිකරණයට වාර්තා කර ඔහු සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවත් පොලිස් අධිකාරිවරයා කීවේය.

එම වරෙන්තුව ප්‍රංශයේ ඉන්ටපෝල් මූලස්ථානයට යොමු කිරීමෙන් පසු එම මූලස්ථානය කරුණු සත්‍ය හා සාධාරණ දැයි සොයා බලා රතු නිවේදනය නිකුත් කරන බවත් අජිත් රෝහණ මහතා පැවැසීය.

ඒ අනුව මේ වනවිට විදේශගතව සිටින සැකකරුවන් 96 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා