මුද්‍රණය සඳහා

 
පොලිසියේ වාහන අලුත්වැඩියා කොට ව්‍යාජ වවුචර යොදා ලක්ෂ ගණනින් ගරලා

පොලිසියේ වාහන අලුත්වැඩියා කොට ව්‍යාජ වවුචර යොදා ලක්ෂ ගණනින් ගරලා

පොලිස් ගරාජයේ නිලධාරිහූ 2ක්-ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

පොලිසියේ වාහන අලුත්වැඩියා කොට ව්‍යාජ වවුචර යොදා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන නාරාහේන්පිට පොලිස් ගරාජයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙකු මේ මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් ආර්.ඒ.එන්.කේ විතාරණ මහත්මිය ඊයේ (17) නියම කළාය.

මෙසේ රක්ෂිතබන්ධනාගාරගත කරනු ලැබුවේ පාදුක්ක පදිංචි පිහිඹි‍යගේ ලසන්ත පල්ලේවල , ජයකොඩිමොහොට්ටි අප්පුහාමිලාගේ මිගාර සංජය ජයකොඩි යන පොලිස් නිලධාරින්‍ හා කේ.එම්. චන්ද්‍රරත්න බණ්ඩාර යන ව්‍යාපාරිකයාය.

රුපියල් එක්ලක්ෂ හතළිස්පන්දාහස් එකසීය අසුහයක් මුදලක් වංචා කිරිම හා දහනවදාස් පන්සීය දෙළොහක මුදලක් වංචා කිරීමට තැත් කළ බව සඳහන් කරමින් වංචා විමර්ශන අංශය සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණ.

නාරාහේන්පිට පොලිස් ගරාජයේ පොලිස් වාහන අලුත්වැඩියා කොට ව්‍යාජ වවුචර සකස් කොට මුදල් වංචා කරන බවට පොලිස්පතිවරයාට 2013/1/24 ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති නියෝගයෙන් වංචා විමර්ශන අංශය පරික්ෂණ ආරම්භ කොට තිබේ.

පරික්ෂණ පැවැත්විමේ දී ගරාජයේ සේවය කළ පොලිස් නිලධාරින්ට ව්‍යාජ බිල්පත් හා ලේඛන ලබා දීමෙන් මෙම වංචාව සිදු කිරීමට ආධාර අනුබල දී ඇත්තේ පංචිකාවත්ත වාහන අමතර කොටස් වෙළෙද සැල්හිමියා බවට පොලිසියට තොරතුරු අනාවරණය වි තිබේ.

සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ වංචා විමර්ශන අංශය සැකකරුවන් වංචා කරන ලද මුදල් සම්බන්ධයෙන් ඉදිරියට පරික්ෂණ පවත්වන බවත් මෙයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව පැවසීය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගෙන පොලිසිය සුළු නිලධාරින් පමණක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා‍ කර ඇති බවය.

අදාළ කරුණු සලකා බැලු මසේත්‍රාත්වරිය සැකකරුවන් මේ මස 29 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කරමින් සිද්ධියේ ප්‍රගතිය ඉදිරියේ දී වාර්තා කරන ලෙසට පොලිසියට නියම කළාය.

වංචා විමර්ශන අංශයේ කාන්තා පොලිස් ඒකකයේ පොලිස් පරික්ෂක ධම්මිකා ගමගේ මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]