ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ ඔස්ට්‍රේලියාව කඩුලු 7කින් පරදවති

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ ඔස්ට්‍රේලියාව කඩුලු 7කින් පරදවති

සම්පූර්ණයෙන් ඇස් නොපෙනෙන සමන් කුමාරගෙන් ශතකයක්

සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකාව අතර පැවැති දෘශ්‍යාබාධිතයන්ගේ අන්තර්ජාතික පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිවිය.

දෘශ්‍යාබාධිතයන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් තරග ඉතිහාසයේදී ශ්‍රී ලංකාව වෙතින් ඔස්ට්‍රේලියාව පරාජයට පත්වු පළමු අවස්ථාව මෙයවන අතර වසර 8කට පසුව මෙරටදී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිලක් විදෙස් රටක් පරාජයට පත් කිරීමද විශේෂත්වයකි. මෙයට පෙර වසර 2006දී ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත දෘශ්‍යාබාධිත පිල හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබුණි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ විය.‍

මුලින් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල ඕවර 40කදී කඩුලු 7ක් දැවී ලකුණු 316ක් ලබා ගත්තේය. එහිදී ලින්ඩ්සේ හේවාන් ලකුණු 90ක් බී.විල්සන් නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ඇරැඹු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළහ. එහිදී සමන් කුමාර නොදැවී ලකුණු 114ක් වාර්තා කිරීම කැපී පෙනුණි.

සමන් කුමාර සම්පූර්ණයෙන්ම දෑස් නොපෙනෙන ක්‍රීඩකයකු වන අතර ඔහුගේ පිත්තෙන් හතරේ පහර 2ක් එල්ල වුණි. සම්පූර්ණයෙන්ම දෑස් නොපෙනෙන ක්‍රීඩකයකු බැවින් එම හතරේ පහර දෙකට ලකුණු 16ක් එකතු වුණි. එවැනි ක්‍රීඩකයකු ලකුණක් ලබාගත් අවස්ථාවේදී එය ලකුණු 2ක් සේ ලකුණු සටහන් පොතට එක්කිරීම මේ තරගයේ නීති-රීති අතර වේ.

අඩක් දෑස් පෙනෙන ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට එක්වු දිනේෂ් මතුගම නොදැවී ලකුණු 53ක් ලබාගත්තේය. ඔහු හතරේ පහරක් එල්ල කළ අතර අඩක් දෑස් පෙනෙන ක්‍රීඩක රුවන් වසන්ත හතරේ පහර 8ක් සමග වේගවත් ලකුණු 59ක් ලබාගත්තේය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය ක්‍රීඩකයන් හඳුනා ගනිමින්..

නායක චන්දන කුමාර ලකුණු 46ක් ලබා කණ්ඩායමට ශක්තියක් විය. දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමක සංයුතිය වන්නේ සම්පූර්ණයෙන් ඇස් නොපෙනෙන ක්‍රීඩකයන් 4ක්, අඩක් පෙනෙන පාට හඳුනාගත හැකි ක්‍රීඩකයන් 3ක් හා අකුරු හඳුනාගත හැකි මට්ටමේ ඇස් පෙනෙන ක්‍රීඩකයන් සිවුදෙනකු ආදි වශයෙනි.

ශ්‍රි ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ පිලේ සම්පූර්ණයෙන් නොපෙනෙන හා අඩක් පෙනෙන මට්ටමේ ක්‍රීඩකයන් සිවුදෙනකු යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට ලක්වූවෝ වෙති.

එම ක්‍රීඩකයන් සිවුදෙනා අවසන් මානුෂික මෙහෙයුමේදී ආබාධවලට ලක්වූ අය බව පැවැසේ. ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා දෘශ්‍යාබාධිතයන්ගේ දෙවැනි අන්තර්ජාතික එක්දින තරගය හෙට (19දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඔස්ට්‍රේලියාව ලකුණු 316/7 (40) ලින්ඩ්සේ හෙවාන් 90, මැතිව් මැකානි 30, බී.විල්සන් නොදැවී 90, මැතිව් මැකාතී 30, හේබලී 16, සානීස් 12, සැම් බේන් නොදැවී 10 (චන්දන කුමාර 48/2, ඩී.චමින්ද 34/2, සුරංග සම්පත් 30/1)

ශ්‍රී ලංකාව ලකුණු 317/3 (32) රුවන් වසන්ත 59, චන්දන කුමාර 46, සමන් කුමාර නොදැවී 114, ඩී.එන්.මතුගම නොදැවී 53

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා