මුද්‍රණය සඳහා

 
මාලිංගගේ උත්සාහය පරදා කොල්කටා පිල ජයගනී

මාලිංගගේ උත්සාහය පරදා කොල්කටා පිල ජයගනී

ලසිත් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම අපතේ යවමින් අයි.පී.එල්.තරගාවලියේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්විය. පෙරේදා අබුඩාබිහිදී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල ලකුණු 163ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ඕවර 20 අවසානයේ මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලු 7ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 122ක් පමණි.

අභියෝගාත්මක පන්දු යැවීමක නිතරවූ මාලිංග කොල්කටා පිලේ නායක ගෞතම් ගාම්බීර් ලකුණු ලබාගැනීමට පෙර දවාලූ අතර ජැක් කාලිස් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 131ක සම්බන්ධතාවක් ගොඩනැගූ මනීෂ් පාන්ඩේ, තරගයේ වීරයා සම්මානය දිනූ ජැක් කලීස් සහ ශකීභ් අල් හසන්ගේ කඩුල්ල ද ඇතුලුව කඩුලු 4ක් බිඳ දැමුවේ ලකුණු 23ක් පමණක් ලබා දෙමිනි.

මුම්බායි පිලේ වැඩිම ලකුණුලාභියාවු අම්බට් රයිඩු ලකුණු 48ක් රැස්කළ අතර රෝහිත් ශර්මා ලකුණු 27ක් රැස් කළේය. දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලැබූ ලකුණු 61ක මුම්බායි ඉනිමේ හොඳම සබඳතාව විය. මුම්බායි ඉනිම බිඳ දැමු සුනිල් නරේන් ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තේය.

කොල්කටා නයිට් රයිඩර්ස්-163/5 (ඕවර 20) ජැක් කාලිස් 72, මනීෂ් පාන්ඩේ 64 (ලසිත් මාලිංග 23/4) මුම්බායි ඉන්දියන්ස්-122/7 (ඕවර 20) අම්බට් රයිඩු 48, රෝහිත් ශර්මා 27 (සුනිල් නරේන් 20/4)


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]