මුද්‍රණය සඳහා

 
ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය මනා සංවිධාන ශක්තියෙන් යුක්තයි

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය මනා සංවිධාන ශක්තියෙන් යුක්තයි

- පළමු ස්ථානය දිනූ මහින්ද ලාල් කියයි

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වාර්ෂිකව සංවිධාන කරනු ලබන "අමාදහර සදහම් වෙසක් කලාපය" උත්කර්ෂවත් අයුරින් වෙසක් පොහෝ දින සිට පුරා දිනතුනක් ලේක්හවුස් ආයතනය අභියස පැවැත්විණි.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරමින් පැවැත්වූ මේ "අමාදහර සදහම් වෙසක් කලාපය" ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධාන කෙරුණි. මේ සඳහම් වෙසක් කලාපය 1990 වසරේදී ආරම්භ කළ අතර මෙවර එය 24 වැනි වරට පැවැත්විණි.

බැති සිත් පහන් කරවන තවත් ලේක්හවුස් ප්‍රජා සත්කාරයක් වූ "අමාදහර සදහම් වෙසක් කලාපය" වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, බැති ගී සරණිය සහ දන්සැල් ආදියෙන් සමන් විතව තෙදිනක් පුරා පැවත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දැක්වු අතර දෙරණ මාධ්‍ය ආයතනය විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබාදෙන ලදී. වෙසක් පහන් කූඩු තරඟය සඳහා ඉදිරිපත්වූ තරඟකරුවන් අතරින් ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග පිරිනැමීමද ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් සිදු කරන ලදී.

වෙසක් පහන්කූඩු තරඟයේ ප්‍රථම ස්ථානයට හිමි රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල්ත්‍යාගය සහ සහතික පත්‍රය දිනාගන්නා ලද්දේ අංගොඩ හිඹුටාන කේ. මහින්දලාල් මහතාය. ඒ මහතා විසින් ගෝනි, ගෝනි නුල්, කොහු කෙඳි, ගල් කුඩු, කාඩ් බෝඩ්, කලු කොළ, පොල් කෙඳි ආදියෙන් යුතුව සම්බුදු තෙමඟුල විදහා පාන ලෙස අංකාරව නිර්මාණය කර තිබූ පහන් කූඩුව ස්වයංක්‍රියව කැරකෙ‍මින් නරඹන්නන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් අමන්දානන්දයට පත්කරන ලදී.

දිනමිණට අදහස් දැක්වූ ප්‍රථම ස්ථානය දිනාගත් කේ. මහින්දලාල් මහතා කියා සිටියේ "වසර දහනමයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ වෙසක් පහන් කූඩු තරඟවලට ඉදිරිපත්වී මා ජයග්‍රහණ දිනා තිබෙනවා. මා ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයට එක්වුයේ එහි ඇති මනා සංවිධාන ශක්තියත් කලාකරුවන් දිරිමත් කිරීමේ උනන්දුවත් නිසයි. මේ පහන් කුඩුව නිර්මාණය සදහා මට මාස හයක් පමණ ගත වුණා. මා කොළඹ නගර සභාවේ සේවය කරනවා. මාගේ විවේක නිවාඩු දිනවල තමයි මා මේ නිර්මාණ කටයුතු සිදුකරන්නේ . මෙය ඉතා සංයමයකින් යුතුව කළ යුතුයි.

මා කුඩා කල සිට ලබා තිබූ සහජ නිර්මාණ හැකියාවත් මේ සඳහා ඉවහල් වුණා. බුදුරජානන් වහන්සේගේ සදහම් සුවද පිළිබඳ ලොවටම පණිවිඩයක් දීමටයි මට අවශ්‍ය වන්නේ. එබැවින් මාගේ හැකියාවන් ප්‍රයෝජනයට ගෙන මා උපරිමයෙන් බුදු සසුන වෙනුවෙන් යමක් කළා යැයි මා අහිංසක සතුටක් ලබනවා. මේ නිර්මාණය කළ පසු මා ලබන මානසික සුවයටත් අප වැනි නිර්මාණකරුවන් දිරිමත් කිරීමට ලේක්හවුස් ආයතනය මෙවැනි කටයුතු සංවිධානය කිරීම ඉතා අගේ කොට සලකනවා. විශේෂයෙන් ලේක්හවුස් ආයතනයේ විදුලි අංශයේ නිලධාරීන් මට ලබාදුන් සහයෝගය ස්තුති පුර්වකව සිහිපත් කළ යුතුයි. මේ නිර්මාණ කිරීමේදී මා දිරිමත් කරන මාගේ දයාබර බිරිය දරු දෙදෙනා හා සියලු ඥාති හිතමිතුරන්ට මා කෘතවේදීත්වය පළකර සිටිනවා" යනුවෙන්ය.

වෙසක් පහන්කූඩු තරඟයේ දෙවන ත්‍යාගය වූ රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගය සහ සහතික පත්‍රය දිනාගන්නා ලද්දේ මීගමුව දාගොන්නවත්ත ප්‍රදේශයේ පදිංචි ඒ.කේ. සම්පත් මහතා විසින් ගල්කුඩු, ගල් කැබලි හා අමුරෙදි ඇතුළු දේශීය අමුද්‍රව්‍යවලින් කුසලට කම්මැලි නොවී යන තේමාව යටතේ ස්වයංක්‍රියව කැරකෙන ලෙස නිර්මාණය කරතිබූ අලංකාර වෙසක් පහන් කූඩුවයි. දෙවන ස්ථානය දිනාගත් ඒ.කේ.සම්පත් මහතා දිනමිණට කියා සිටියේ " මා නිදහස් වෙළද කලාපයේ සේවය කරමින් සිටින අතර තුර ලද විවේක වේලාවේදි තමයි මේ නිර්මාණය සිදුකරේ.

මාස තුනක් පමණ කාලයක් මේ සඳහා ගත වුණා. මේ සඳහා මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන නිමේෂ් සාරංග මගේ පුතුගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. මා කොළඹින් පිට පළාත්වල වෙසක් පහන් කූඩු තරඟ සඳහා ඉදිරිපත් වුවත් කොළඹ ප්‍රදේශයේ මෙවන් තරඟයකට සහභාගී වු පළමු අවස්ථාව මෙයයි. ලෝවැඩ සඟරාවේ කවි හතරක් උපයෝගී කරගනිමින් මා කර ඇති නිර්මාණයෙන් අදහස් කලේ මනුෂ්‍ය ජීවිතයට යම්කිසි අර්ථවත් පණිවිඩයක් දීමටයි" යනුවෙනි.

වෙසක් පහන්කූඩු තරඟයේ තෙවන ත්‍යාගය වූ රුපියල් ලක්ෂය හා සහතික පත්‍රය දිනාගන්නා ලද්දේ දෙහිවල අත්තිඩියේ ටී. ඒ. ධනුෂ්ක සම්පත් මහතා ගෝනි, සුදු ලූණු, ලොකු ලූණු ආදී අමුද්‍රව්‍යන්ගෙන් යුතුව ස්වයංක්‍රියව කැරකෙන ලෙස නිර්මාණය කර තිබූ සම්බුදු තෙමඟුල විදහා දැක්වූ අලංකාර වෙසක් පහන් කූඩුවයි. තෙවන ත්‍යාගය දිනාගත් ටී.ඒ. ධනුෂ්ක සම්පත් මහතා දිනමිණ සමග පවසා සිටියේ " බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුල සිහිපත් කිරීමයි මාගේ වෙසක් පහන් කූඩුවේ අරමුණ වූයේ. ඉතා සියුම් ලෙස මා කරන ලද‍ මේ නිර්මාණයට කලක් ගත වුණා. මේ නිර්මාණය කිරීමේදී මාහට සහය දැක්වූ සියලු දෙනාටම මා ස්තුති වන්ත වෙනවා" යනුවෙනි.

"අමාදහර සදහම් වෙසක් කලාපයේ"වෙසක් පහන්කූඩු තරඟයේ මුදල් ත්‍යාග සහා සහතික පත් දිනාගත් හතරවන ස්ථානයේ සිට පහළොස් වෙනි ස්ථානය දක්වා ජයග්‍රාහකයන් මෙසේය.

දෙහිඕවිට අවුලුගම ගෝපාල් වික්ටර් නයිදු, වත්තල එඩේරමුල්ලේ නිපුන දේශාන්, පන්නිපිටිය ලියනගොඩ එල්.ප්‍රේමසිංහ පෙරේරා, කුලියාපිටියේ ඩබ්.ඒ.ගාමිණි ප්‍රියන්ත, කොළඹ 15 එච්.ජී.එම්.අජිත් රේණුක, කළුතර ජයවර්ධන මාවත පී.එම්.අශෝක ගුණසේකර, නාරංගොඩ දවුල අනුර කුමාර පද්මසිරි, ‍කොළඹ 15 මට්ටක්කුලියේ එච්.ඒ.ගොඩ්වින්, පස්යාල කම්මල්පිටියේ එම්.ඩබ්.ජනක චිත්‍රානන්ද, මොරටුව අගුලාන අසංක අනුරුද්ධ ප්‍රනාන්දු, නාරංගොඩ අරුප්පොල ජේ.එම්.සෝමවතී, මාකොළ උතුර ගුණදාස හෙට්ටිආරච්චි මහත්ම මහත්මීන් දිනාගත්හ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]