මුද්‍රණය සඳහා

 
ප්‍රබල බෞද්ධ මහජන මතයක් ගොඩනැඟූ “සරසවිසඳරැස”

ප්‍රබල බෞද්ධ මහජන මතයක් ගොඩනැඟූ “සරසවිසඳරැස”

ආරම්භය : 1880 දෙසැම්බර් 03

ආරම්භක කර්තෘ :වේරගම පුංචිබණ්ඩාර

1880 වන විට මිෂනාරීන් විසින් ආගම ප්‍රචාරය කිරීමේ ප්‍රකට මාර්ගයක් ලෙස පුවත්පත් සඟරා ආදිය යොදාගන්නා ලදී. ඔවුන්ගේ ධනය, බලය නිසා පත්‍ර සඟරා මගින් සිංහල ජනයා අතර ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීමේ යෙදී සිටියේය. 1880 වන විට ප්‍රබල බෞද්ධ පුවත්පතක අඩුව තදින්ම දැනෙන්න විය.

මේ වකවානුව වන විට රෝමානු කතෝලික ඥානාර්ථ ප්‍රදීපය පත්‍රය මගින් බුද්ධාගම හෙළාදැකීමට උත්සාහ කිරීම වැළැක්වීමට ගත් උත්සාහයක් ලෙස සිංහල බෞද්ධ පත්‍රයක් ආරම්භ කිරීමට කොළඹ සිටි බෞද්ධයකු වූ බුලත්සිංහලගේ හරමානිස් කුරේ මහතා විසින් මූලික කටයුතු යොදා තිබේ.

මේ පත්‍රය ආරම්භ කිරීමේ මූලික අඩිතාලම “පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය” ඇරැඹීමට ප්‍රථම සම්පාදනය වී තිබේ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ මූලිකත්වයෙන් විද්‍යෝදය පිරිවෙනෙහි පැවති රැස්වීමකදී පත්‍රය ඇරැඹීමට තීරණය කර ඇත.

මේ සභාවේදී යෝජිත පත්‍රය සඳහා නම් 16 ක් යෝජනා වී තිබුණි. බටුවන්තුඩාවේ පඬිතුමා ද, තෝමස් කරුණාරත්න ශූරීන් ද, ඩී. එච්. කවිරත්න වෙද මහතා ද නම් ඉදිරිපත් කර තිබූ අතර හික්කඩුවේ සුමංගල හිමියන් විසින් යෝජනා කරන ලද “සරසවි සඳරැස” යන නම ඔවුන් විසින් තෝරාගන්නා ලදී. “සරසවි” යනු වචනයි. “සඳරැස්” සේම ආලෝකය ගෙන දෙන වචනවලින් අංශෘගතවීම මේ පත්‍රයේ අරමුණයි.

පත්‍රයේ මුලින්ම දක්වා ඇති කව ගළපන ලද්දේ ද ශ්‍රී සුමංගල හිමි විසිනි.

 

සරණට එක ලෙසා නොම හැකිළ නෙක දෙ ස

නරගණ වැඩ නිසා සුවපතන නොවල ස

පෙර පඬි සෙට බසා කර ඇසුරු තතු ලෙ ස

සරසවි සඳ රැසා පළ කරමු මන තො ස

සරසවි සඳරැසේ ප්‍රථම කර්තෘ වූයේ සුමංගල හිමියන්ගේ ගෝලයකු වූ වේරගම බෝධිනායක ධර්මාලංකාර පුංචිබණ්ඩාර පණ්ඩිතතුමාය. ඔහු වාසය කළේ විද්‍යෝදය පිරිවෙනේ කාමරයකයි.

1880 දෙසැම්බර් 31 සරසවිසඳරැස පුවත්පත

ඉතා බාධක මධ්‍යයේ ඇරැඹි පත්‍රයේ අකුරකට පවා දෝෂාරෝපණය කරමින් ප්‍රබල විරෝධතා ඇතිකළ නමුත් සභිකයන්ගේ කැපවීම හේතුවෙන් පත්‍රය පවත්වාගෙන යාමට හැකි විය.

1856 ජනවාරි මස 16 දින රත්නපුර වේරගම දී උපත ලද වේරගම පුංචි බණ්ඩාර සිය පියා වෙතින් සිංහල, සංස්කෘත ඉගෙන පැල්මඩුල්ල පුරාණ විහාරයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පසුව 1872 දී කොළඹ විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වී හික්කඩුවේ සුමංගල හිමි වෙතින් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. 1874 රජයේ විභාගවලින් සමත්ව ප්‍රාචීන පඬිවරයකු ලෙස ප්‍රසිද්ධ විය.

1880 දෙසැම්බර් 3 දින ඇරැඹි “සරසවි සඳරැස” පත්‍රයේ ප්‍රථම කර්තෘ බවට පත් වී වසර 12 ක් එම කර්තෘ ධුරය දැරීය. සිංහල භාෂා ප්‍රබෝධයට විශාල සේවාවක් කළ මෙතුමා 1892 දෙසැම්බර් 05 රාත්‍රී 1.00 මෙලොවින් සමු ගත්තේය. මෙතුමා විසින් වෛද්‍ය ජීවනී, ජාතකාලංකාරය, සෘතු සංහාර ආදී බොහෝ සංස්කෘතික පොත්වලට සන්න ලියන ලදී.

වේරගම පුංචිබණ්ඩාර කර්තෘතුමාගේ කාල‍යේදී වෙසක් උත්සවය සහ සිංහල අවුරුද්ද පැවැත්වීමට ද ක්‍රිස්තියානි නම් වෙනස් කිරීම ද ෂට්වර්ණ බෞද්ධ කොඩිය එසවීමට ද පෙරහැර පැවැත්වීමට ද, බෞද්ධ පාසල් පිහිටුවීමට ද, ඉරිදා බෞද්ධ පාසල් (දහම් පාසල්) පැවැත්වීමට ද, විහාර දේවාල ගම් සම්බන්ධ ගැටලු විසැඳීමට ද සිය පුවත්පත මගින් නිර්භීතව ක්‍රියා කළේය.

ශත 12 ½ කාසිය නැතිකළ වේරගම පුංචිබණ්ඩාර

එකල පැවති ශත 12 ½ කාසිය නැතිකිරීම ද, හරක් මස් කෑම වැළැක්වීමට ද ක්‍රියා කළේය.

වේරගම පුංචිබණ්ඩාර ‍මහතාගේ මරණින් පසු සරසවි සඳරැසේ කර්තෘ ධුරයට පත්වන්නේ තෝමස් කරුණාරත්න මහතායි. මොහු 1893 දී කොළඹ පරම විඥානාර්ථ සමාගම විසින් කර්තෘ ධුරයට පත්කර ඇත.

මොහුගේ මරණින් පසු 1903 දී එච්. එස්. පෙරේරා මහතා සරසවි සඳරැසේ කර්තෘ ධුරයට පත්වේ. මොහු (දිනමිණ 1909) පුවත්පතේ ආරම්භක කතුවරයාය. 1893 දී සරසවි සඳරැසේ කළමනාකරු ලෙස පත්වන මොහු එකල සිටි දක්ෂ ලේඛකයෙකි. ඔහු සරසවි සඳරැසට ස්වර්ණමය යුගයක් උදා කළේය.

ඔහුට ගෙවන ලද්දේ රු. 30 මාසික දීමනාවකි. ඔහු ප්‍රබල බෞද්ධ මහජන මතයක් ගොඩනැගීමට ප්‍රයත්න දැරූ අතර රජයේ නිලතල දරමින් රජයේ වන්දිභට්ටයන් බවට පත්වී සිටි බෞද්ධයන්ට පහර දෙන්න විය. බෞද්ධ මහජනයාට අවහිර කරන රජයේ නිලධාරීන් නිර්දය ලෙස විවේචනය කළේය. එමෙන්ම රජයේ අසාධාරණයන්ට එක එල්ලේ පහර දෙන්න විය. තර්ජනවලට ගොදුරු වුවත් කල් යාමේදී ඔහු මැඬලිය නොහැකි පුද්ගලයකු විය. මෙකල සඳරැස පුවත්පතේ අලවිය 5000 සිට 9000 දක්වා වර්ධනය කිරීමට මොහුට හැකි විය.

බෞද්ධ විරෝධී පත්‍රවලට මෙය බිය ගෙන දෙන්නක් විය. සත්‍යාලංකාරය හා ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත මගින් මුද්‍රණය කොට විසුරුවා හැරි බෞද්ධ විරෝධී ප්‍රචාර වැඩ ක්‍රමයෙන් දුබල විය. “සරසවි සඳරැස” මේ වන විට මේ රට පමණක් නොව ඉන්දියාව, බුරුමය, අමෙරිකාව, මලයාව, ජාවා, සියම, චීනය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය ආදී විදේශයන්හි බෞද්ධයන් අතර ද පැතිරී ගියේය.

ඔහු සඳරැස පුවත්පතට ඉංග්‍රීසි ලිපි ද ඇතුළත් කළේය.

එච්. එස්. පෙරේරා මහතාගෙන් පසු කර්තෘ ධුරය දැරුවන් අතර පණ්ඩිත ඩබ්ලිව්. ඒ. සමරසේකර, ඩී. ඩබ්ලිව්. වික්‍රමආරච්චි, ඩබ්ලිව්. ඇස්. ප්‍රනාන්දු, රොබට් ජයවර්ධන යන මහත්වරු ද වෙති.

දැනට මේ පුවත්පත කර්තෘවරයකු නොමැතිව වසරකට එක් කලාපයක් හෝ දෙකක් පවත්වාගෙන යයි.

අවසන්වරට නිකුත් වූ සරසවිසඳරැස පුවත්පත. මෙය 2013 අගෝස්තු මාසයේ නිකුත්කොට ඇති අතර මේ පුවත්පතට කර්තෘ වරයකු නොමැති බව පරම විඥානාර්ථ සමාගම පවසයි.

සරසවි සඳරැස පත්‍රය පරම විඥානාර්ථ සමාගමට පවරා ගැනීමට ප්‍රථම පත්‍රය මුල් කාලයේ කරගෙන යෑම බොහෝ සෙයින් අසීරු විය. වේරගම පුංචි බණ්ඩාර මහතා හා බී. එච්. කුරේ මහතා ගෙයක් ගෙයක් පාසා ඇවිද මුදල් එකතු කළෝ ය. හරමානිස් කුරේ මහතා කන්තෝරුවක් කන්තෝරුවක් පාසා ඇවිද පත්‍රය විකුණුවේ ය. සමාගම සතුව මුද්‍රණාලයක් නොමැති වූ බැවින් පත්‍රය පළකිරීම නවත්වන්නට සිදුවිය. නමුත් පත්‍රය නැවතත් ආරම්භ කිරීම සඳහා අන්ද්‍රිස් පෙරේරා ධර්ම ගුණවර්ධන මුහන්දිරම් මහත්මා විසින් පවුම් 50 ක් පරිත්‍යාග කරන ලදී. එයින් පවුම් 22 ක් වියදම් කොට පැරණි මුද්‍රණ යන්ත්‍ර දෙකක් මිලට ගෙන ඇත. අකුරු සම්පාදනයට අවශ්‍ය අච්චු හා ඊයම් ඉතිරි මුදලින් ගන්නා ලදී.

ඒ අනුව 1883 අගෝස්තු මස 03 වැනි දින නැවතත් පත්‍රය ආරම්භ කරන ලදී. මුල් කාලයේ පත්‍රයේ කළමනාකාර ධුරය විලියම් ද ආබ්‍රේව් මහතා විසින් ද, 1882 ජනවාරි මස සිට බී. එච්. කුරේ මහතා විසින් ද, 1887 පෙබරවාරි මාසයේ සිට ධර්මපාල හේවාවිතාරණ මහතා විසින් ද දරන ලදී. හේවාවිතාරණයන්ගේ කාලයේ දී එනම් 1887 මැයි මස 06 වැනි වෙසක් පසළොස්වක දිනයේ සිට පත්‍රය සතියකට දෙවරක් බැගින් පළකරන්නට විය. තමා නියැළී සිටි රක්ෂාවෙන් පවා ඉවත් වූ ධර්මපාලතුමා දිවා රෑ නොබලා පත්‍රයේ උන්නතිය සඳහා කටයුතු කළේ ය. ධර්මපාලතුමා ඉන්දියාවට ගිය අතරතුර ජී. පී. ඒ. වීරසේකර, විලියම් ද ආබ්‍රේව්, රොබට් බටුවන්තුඩාවේ යන මහතුන් වරින්වර කළමනාකාර ධුරය දරන ලදී. 1893 දී එච්. එස්. පෙරේරා මහතා ඒ සඳහා පත්කර ගන්නා ලදී. හංවැල්ලේ අබේකෝන් සහ බන්දු ජයවීර සේනානායකගේ ජොහානස් පෙරේරා මහතාගේ පුත්‍රයෙකුව උපන් මෙතුමා උපතින් ක්‍රිස්තියානි භක්තිකයෙකි. නමුත් බුද්ධාගම වැළඳ මහනුවර පරම විඥානාර්ථ බෞද්ධ සමිතියට බැඳී ඇත. අනතුරුව එතුමා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිති මූලස්ථානයට කැඳවන ලදී.

වර්ෂ 1883 වන තෙක් පිට මුද්‍රණාලයන් හි මුද්‍රණය කරන ලද සරසවි සඳරැස වෙනුවෙන් සමාගම තමන්ගේ ම මුද්‍රණාලයක් පිහිටුවා ගන්නා ලදී.

 

1884 වර්ෂයේ සිට සමහර ලිපි ඉංග්‍රීසියෙන් සඳරැසෙහි පළකරන ලදී. එවකට ලක්දිව ඉංග්‍රීසි පත්‍රවල නොයෙක් විට බුද්ධාගමට විරුද්ධව ලියුම් පළවූ නිසාත්, බෞද්ධයන්ගේ ඕනෑ එපාකම් ආණ්ඩුවේ උසස් නිලධාරීන්ට දැනෙන සේ ප්‍රකාශ කිරීමට සඳරැස ප්‍රමාණවත් නොවූ නිසාත්, ඉංග්‍රීසි බෞද්ධ පත්‍රයක් අවශ්‍ය බැව් පරම විඥානාර්ථ සමාගමට වැටහී ගියේ ය. 1888 දෙසැම්බර් මස 18 වැනි දින “ද බුඩිස්ට්” නැමැති ඉංග්‍රීසි පුවත්පත සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් මහතාගේ කර්තෘත්වයෙන් ආරම්භ කරන ලදී, මෙම පුවත්පත විදේශයන්හි පැතිර ගිය අතර එමඟින් බෞද්ධ සිතුම් පැතුම් බටහිර රටවල ඇතිකරලීමට හැකි විය. බුද්ධිමතුන් විසින් ලියන ලද වාක්‍යයන් පළකළ පත්‍රය පසුව මාස්පතා පළවන සඟරාවක් බවට පත් කළේ ය. එසේ අවුරුදු කීපයක් ගිය පසු “බුඩිස්ට් සඟරාව” පළකිරීමේ භාරය, 1918 දී කොළඹ තරුණ බෞද්ධ සංගමයට පවරන ලදුව එමඟින් පවත්වාගෙන යනු ලැබේ.

පාසල් 450 ක් පිහිටුවීම

පොත් පළකිරීම, බෞද්ධ පුස්තකාලයක් ඇතිකිරීම, පසළොස්වක දින නිවාඩු දිනයක් කිරීම, බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම, බෞද්ධ විවාහ ලේකම් ශාලාවක් ඇතිකිරීම හා බෞද්ධ විවාහ ලේකම්වරු පත්කිරීමට කටයුතු කිරීම, බෞද්ධ අයිතිවාසිකම් දිනා දීම ආදී බොහෝ සේවාවන් ලක්වැසි බෞද්ධයන්ට ලබාදීමට පරම විඥානාර්ථ බෞද්ධ සමාගම කටයුතු කර ඇත.

1958 මැයි 1 දින සරසවිසඳරැස පුවත්පත

ඕල්කට් තුමාගේ ආගමනයත් සමඟ ඇති වූ මෙරට බෞද්ධ පුනරුදය

18 වැනි සියවසේ ලන්දේසීන් විසින් බයිබල් පරිවර්තනය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නට පටන් ගත් තැන සිට කථාන්තර කලාව ද ආගම් ප්‍රචාරය සඳහා යොදා ගෙන තිබේ. ක්‍රිස්තු දහම මෙරට ව්‍යාප්ත කිරීම සඳහා දැරූ ප්‍රයත්නයකට වඩා, එය පෙනී යන්නේ මෙරට ජනතාව අතර වාද භේද ඇති කරවා, බෞද්ධ සංස්කෘතික පරිසරය සම්පූර්ණයෙන් ම විනාශ කිරීම සඳහා ගත් පියවරක් ලෙස ය. බයිබලයේ එන කථා වස්තු ජනතාව අතර ප්‍රසිද්ධ කිරීමත් සමඟ ම ජාතක පොත, සද්ධර්මාලංකාරය, පූජාවලිය වැනි බෞද්ධ පොත පත සියල්ල ම ජනතාවගේ පිළිකුලට ලක් වන්නට විය. ජන ජීවිතයෙන් ඒවා ඈත්වන්නට විය. සුරංගනා කථාවල ස්වරූපයෙන් ඉදිරිපත් කළ ඒ කථා අතර බෞද්ධ සංස්කෘතිය නින්දාවට ලක් කැරෙන ප්‍රවෘත්ති අන්තර්ගත විය. 1880ට පෙර, එනම් 1866 සිට රුවන් මල්දම නම් සඟරාවෙන් ප්‍රකාශයට පත් වූ ඇල්. අයිසැක් ද සිල්වාගේ වාසනාවන්ත පවුල හා කාලකන්නි පවුල යන කථා වස්තු කියවා බලන විට ඉතාම සූක්ෂම ලෙස සිංහල බෞද්ධයන‍්ගේ විඥානය වෙනස් කිරීම සඳහා ගෙන ගිය පහත් පෙළේ ප්‍රයත්නයක් දැක ගත හැකි ය.

* සතුන් ඇති කිරීමෙන් මුදල් උපයා බයිබල් සමාගම හා සබත් ස්කෝල පවත්වා ගෙන යා යුතු බව

* විශාල පිරිස් වශයෙන් සිංහල බෞද්ධයන් ක්‍රිස්තු ලබ්ධිය වැළඳ ගත යුතු බව

* ඔවුන් තමන්ගේ මුදල්වලින් දේවස්ථාන ගොඩනැඟිය යුතු බව

* දෙවියන්ට අනුග්‍රහය දක්වන්නන්ට දේවාශීර්වාදය ලැබෙන බව

* විවාහ ජීවිතයට ඇතුළු වන තරුණ තරුණියන්ට ඔවුනොවුන් ඇසුරු කොට, විවාහ වීමට ඉඩ තිබිය යුතු බව

* විවාහ උත්සවවල දී මනාල යුවලට හාල්, මුං ඇට, කඩදාසි, පාන්කඩ කැබලි ආදියෙන් පහරදිය යුතු බව

* මධු සමය ගත කිරීමේ බටහිර සිරිත උචිත බව

* ස්ත්‍රීන්ගේ කන්‍යාභාවය පරීක්ෂා නොකළ යුතු බව

* විවාභවන්නන්ගේ වංශය නොබැලිය යුතු බව

* ස්ත්‍රියටත් සම තැන හිමි විය යුතු බව

1873 අගෝස්තු 26 සහ 28 යන දින දෙකේ පැවැත්වුණු පානදුරා වාදය අද මෙරට ජීවත් වන සියලු දෙනා විසින් ම කියවා බැලිය යුත්තකි. පංච මහා වාද යනුවෙන් නම් කොට ඇති බෞද්ධ ක්‍රිස්තියානි යන දෙපක්ෂය අතර ඇති වූ වාද කිහිපය බෞද්ධ මෙන් ම අබෞද්ධයින්ගේ ද මනසට කථා කරයි. ගැටලු සහිත කරුණු නිරවුල් කර දෙයි. සත්‍යය කුමක් ද යන්න තේරුම් ගැනීමට මඟ පෙන්වයි. මේ නිසා ම පානදුරා වාදය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීමත් එය කියවූ ඕල්කට් තුමා සහ බ්ලවට්ස්කි මැතිනිය ලංකාවට පැමිණීමත් ලංකාවේ බුදු දහම තව දුරටත් චිරස්ථායී වීමට හේතු වී තිබේ.

වසර 110ක් පැරැණි 1904 අප්‍රේල් මස 19 වැනිදා සරසවිසඳරැස පුවත්පතින් රුසියන් ජපන් යුද්ධය ගැන.

ඕල්කට්තුමාගේ බෞද්ධ වැඩ සටහන් අතර ඉතා වැදගත් වන ක්‍රියාකාරකම් රාශියකි.

* පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම

* බෞද්ධ කථෝපකථනය වැනි ග්‍රන්ථ රචනා කිරීම

* භාෂා 20කට පෙරළා ඒ කෘතිය ලෝකය පුරා ප්‍රචාරයට පත් කිරීම.

* බෞද්ධ අරමුදලක් පිහිටුවීම.

* කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය ඇතුළු බෞද්ධ පාසල් 450 ක් පමණ ආරම්භ කිරීම.

* බෞද්ධ අධ්‍යාපන ක්‍රමයට පුනර්ජීවයක් ලබා දීම.

* බෞද්ධ විරෝධී අණපනත්වලට විරුද්ධ ව ජාත්‍යන්තර මතයක් ගොඩනැඟීම.

* වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් කිරීම.

* ධර්ම ප්‍රචාරය සඳහා උගත් ධර්මධර භික්ෂූන් වහන්සේ දේශ දේශාන්තරවලට යැවීමට මං සැලසීම.

1915 දී ‘මුස්ලිම් කෝලාහලය’ යැ යි ප්‍රකට ජාතිවාදී කෝලාහලය පැන නැඟුණි. සමාගමට සම්බන්ධව ක්‍රියා කළ බොහෝ ප්‍රභූන් සිරභාරයට ගන්නා ලදී. සමාගමේ සභාපති වරයෙකු මෙන් ම සාමාන්‍යාධිකාරි වරයෙකු ද වූ බෞද්ධ ජාතික අරමුදලට ප්‍රථම පරිත්‍යාගය කළා වූ ද පරම විඥානාර්ථ සමාගමේ ආරම්භක සාමාජිකයෙකු වූ ආර්. ඒ. මිරැන්ඩෝ මහතා මේ කෝලාහලයේ ප්‍රතිඵලයක් වශයෙන් වෙඩි තැබීමෙන් මරණයට පත් කරන ලදී. සඳරැස පුවත්පත පළ කිරීම ද රජයෙන් මෙකල තහනම් කළ අතර, සමාගමේ පොත් පත් රජයේ භාරයට ගන්නා ලදී. පාසල් සඳහා දුන් උපයෝගාධාර මුදල් ද නතර කළේ ය. මෙකල සමාගමේ රැස්වීම් පැවැත්වූයේ රහසිගත තැන්වල ය.

1915 අගෝස්තු මාසයේ දී ඩබ්ලිව්. ඒ. ද සිල්වා මැතිතුමා ගේ සභාපතිත්වයෙන් 23 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සමාගම පාලනයෙහි නිරත විය. එම කමිටුවේ ලේකම් වශයෙන් සී. පී. ගුණවර්ධන මහතා සේවය කළේ ය. සමාගමේ මේ පොදු කරදරකාරී අවස්ථාවේ දී එකල සිටි සියලු බෞද්ධ ප්‍රභූන් එහි ආධාරයට හා ආරක්ෂාවට එළඹ සිටිනු දැක්ම සතුටට කරුණකි. මේ වර්ෂයේ දී ම, එනම්, 1915 දී ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ඇෆ්. ආර්. සේනානායක, සී. බටුවන්තුඩාව, ජී. රොබට් සොයියා, සී. පී. ගුණවර්ධන, ඩී. ඩී. පේද්‍රික්ස්, තොමස් රුද්‍රිගු , ඒ. ඇස්. ඇෆ්. විජේගුණවර්ධන සහ ඩී. ඇස්. ඇස්. වික්‍රමරත්න යන මහතුන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතක් අනුව 1891 සමාගම් ආඥා පනත යටතේ ‘ සීමාසහිත කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම’ නමින් මේ සමිතිය ලියාපදිංචි කරන ලදී.


විශේෂ ස්තූතිය

දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත් මහතාගේ ඉල්ලීම පරිදි පුවත්පත්වල මුල්පිටපත්වල ඡායාරූප ලබාදුන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපති එස්. පී. වීරසේකර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට

ආශ්‍රීත ග්‍රන්ථ

කලුකොඳයාවේ ප්‍රඥාසේකර හිමි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය

1880 – 1980 සමරු කළඹ සී.ස. කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම

ඕල්කට් අභිනන්දන ග්‍රන්ථය 1907 – 2007 කොළඹ

පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය

පැරණි සරසවි සඳරැස පුවත්පත්

සරසවිසඳරැස සහ සිහල සමය විවාහ මංගල්‍යය

මේ රටේ සිංහල පුවත්පත් සඟරා පිළිබඳ, ඉතිහාසයේ පෙරනොවූවක් 1916 ජූනි 16 සිදුවිය.එනම් 1880 වසරේ ආරම්භ කරන ලද “සරසවි සඳරැස ” පත්‍රය හා 1901 වසරේ ආරම්භ කරන ලද “සිහල සමය” එක්කොට එක් පත්‍රයක් ලෙස ඉහත දිනයේ දී සරසවි සඳ රැස සහ සිහල සමය නමින් පළ කරන ලදී. පසුව මෙය සරසවි සඳරැස නමින් පළවිය. සරසවි සඳරැස පත්‍රයේ කර්තෘ වූ ඩබ්ලිව්. ඒ. සමරසේකර අලුත් පත්‍රයේ කර්තෘ විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]