මුද්‍රණය සඳහා

 
අපේ සුළු භෝගවලට ලෝකයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා

අපේ සුළු භෝගවලට ලෝකයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා

රෙජිනෝල්ඩ් කුරේ
සුළු අපනයන භෝග ප්‍රවර්ධන ඇමැති

මහින්ද චින්තන ජාතික වැඩසටහන යටතේ මෙරට සුළු අපනයන භෝග ක්ෂේත්‍රය ඉතිහාසයේ වාර්තාගතම ආදායම ලබා ගෙන ඇති බව පවසන සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ එම ක්ෂේත්‍රයේ අනාගත ඉලක්ක ගැන දැක් වු අදහස් මෙසේය.

* ශ්‍රී ලංකා‍ෙව් කෘෂිකාර්මික සුළු අපනයන භෝගවලින් ජාතික ආර්ථිකයට එකතු කරන ආදායම වර්ධනය වීමට හේතුව කුමක්ද?

ඉස්සර කෘෂි අපනයන භෝග කිව්වම මතක් වුණේ තේ, රබර්, පොල්. දැන් ඊටම අමතරව සිව්වන භෝගයක් හැටියට කුරුඳුවලින් වාර්තාගත ආදායමක් ලැබෙනවා. ඒ නිසා දැන් සුළු අපනයන භෝගත් මහා අපනයන භෝග වෙලා. පසුගිය වර්ෂයේ මෙමඟින් රුපියල් මිලියන 45,000ක ආදායමක් ලැබුණා. මේ වන විට සුළු අපනයන භෝගවලින් ලැබුණ ආදායම 43.7% දක්වා වර්ධනය ව තිබෙනවා. සාම්ප්‍රදායික අපනයන භෝග වන තේ හා රබර්වලින් ලැබෙන අපනයන ආදායම 22% ක් හා 7% ක් ලෙස වර්ධනය වෙද්දී අප ලබාගත් වර්ධනය සුවිශේෂයි.

* ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝග සඳහා විදේශ වෙ‍ළඳ පොළේ අධික ඉල්ලුමක් ඇතිවීමට හේතුව කුමක්ද?

දේශගුණය හා සශ්‍රීක පස නිසා ශ්‍රී ලංකාවේ සුළු අපනයන බෝග ලෝකයේ ඉස්තරම් කුළු බඩු ලෙස නමක් දිනාගෙන තිබෙනවා. එය අපට ස්වභාව ධර්මයෙන් ලැබුණු දායාදයක්. ලෝකයේ සැරම ගම්මිරිස් තියෙන්නේ අපේ රටේ. හොඳම කුරුඳු හැදෙන්නේ මෙහේ. කුළු බඩු නිපදවන රටවල් අතරින් ශ්‍රී ලාංකික අනන්‍යතාව විශේෂයි. මේ කර්මාන්තයේ වැදගත්කම මනාව වටහාගෙන ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දිය හැකි වූයේ මෙම රජය යටතේයි.

* සුළු අපනයන ‍ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම වර්ධනය වීම කෙරෙහි බලපෑ හේතු මොනවාද?

රජයෙන් ලබා දුන් උපදේශන හා සහනාධාර නිසා සුළු අපනයනකරුවන් දිරිමත් වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට සෑම වසරක් පාසාම වගා කරන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 1000 කින් පමණ වැඩි කරගන්න පුළුවන් වුණා. තේ, රබර් හා පොල් වගාකරුවන් මිල උච්චාවචනයෙන් සිදුවන අවාසිය පියවා ගැනීමට ආරක්ෂණ භෝගයක් ලෙස කුරුඳු, ගම්මිරිස්, එනසාල් වගේ දේවල් වගා කරන්න පටන්ගෙන තිබෙනවා. එයින් අමතර ආදායමක් ද ලැබෙනවා. ඊළඟට අමුද්‍රව්‍ය වශයෙන් සුළු අපනයන ‍විදේශයන්ට යවනවා වෙනුවට අගය එකතු කර නිෂ්පාදිතයක් විදිහට යැවීමට උනන්දු වීම නිසා ඉහළ ආදායමක් ලබාගත හැකිව තිබෙනවා.

* සුළු අපනයන භෝග ක්ෂේත්‍රය ව්‍යාප්ත කිරීමට පුහුණු වැඩසටහන් හා උපදේශනය වැදගත්. නමුත් මෑතක් වනතෙක් පැවැති පුහුණු නිලධාරින්ගේ ගැටලුව මේ වනවිට අවසන්ව තිබේද?

මේ ක්ෂේත්‍රයේ පුහුණු නිලධාරින්ගේ හිඟය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා. අවශ්‍ය තරම් නිලධාරින් නොමැතිවීම මෙම වගාව ව්‍යාප්ත කිරීමට තිබුණු බරපතළ බාධකයක්. ජනාධිපතිතුමා 2005 බලයට පත්වීමෙන් පසු උපාධිධාරින්ට රැකියා ලබාදීමේ විධිමත් වැඩසටහන් ආරම්භ කළා. ඒ අනුව කෘෂි ක්ෂේත්‍රයේ උපාධිධාරින් 350 කට අප අමාත්‍යාංශය යටතේ රැකියා ලැබුණා. ඉස්සර එක ව්‍යාපෘති නිලධාරියෙක්ට ප්‍රා‍ෙද්ශීය ලේකම් කොට්ඨාස දෙක තුනක වැඩ තනියම ආවරණය කරන්න සිදුවුණා. නමුත් නව සේවක බඳවා ගැනීම් නිසා මෙම ක්ෂේත්‍රය විශාල වර්ධනයක් ඇතිව තිබෙනවා.

* තේ හා රබර් නිෂ්පාදන සඳහා කර්මාන්ත ශාලා බිහිවුවත් කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සඳහා යාන්ත්‍රික ශ්‍රමය හෝ කර්මාන්ත ශාලා මේ දක්වා භාවිතා කෙරෙන්නේ නැහැ. විෂය භාර ඇමැතිවරයා හැටියට මෙම ගැටලුවට ඔබ යෝජනා කරන විසඳුම කුමක්ද?

දැන් අපි කුරුඳු ව්‍යවසායකයන් දිරිමත් කරගෙන යනවා. කුරුඳු ආශ්‍රිත කර්මාන්ත දියුණු කරන්න ලොකු ආයෝජනයක් කළ යුතුයි. දැන් අලුත් ව්‍යවසායකයන් මෙම කර්මාන්තයට පිවිස සිටිනවා. ප්‍රතිඵලයක් හැටියට කුරුඳු කරල්, කුරුඳු පෙති, කුරුඳු කුඩු වර්ග හැටියට කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන රාශියක් එළිදක්වා තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ලාංකික නිෂ්පාදන සැපයීම නිසා හොඳ ඉල්ලුමක් ලෝක වෙළඳපළේ අපේ කුරුඳු නිෂ්පාදනවලට තිබෙනවා.

* කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනයට පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය විශාල බලපෑමක් කරනවා. එම අභියෝගය ජයගැනීමට අදහස් කරන්නේ කෙසේද?

කුරුඳු තැලීමට හැකියාව තිබෙන අය අඩුයි. දිගටම මේ කටයුත්තේ යෙදී සිටියේ එක්තරා ජන කණ්ඩායමක්. ඒ නිසා පිටස්තර අයට මේ දැනුම ගියේ නැහැ. කඹුරුපිටියේ ඉදිකරන ලද නව ජාතික පුහුණු මධ්‍යස්ථානයෙන් මෙම කර්මාන්තය ඉගෙන ගන්න කැමැති ඕනෑම කෙනෙක්ට නොමිලේ පුහුණුවක් ලබා දෙනවා. කෙටි කාලීන පුහුණුවකින් කර්මාන්තයට යොමු විය හැකි නිසා රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ගේ යොමුවීමක් තිබෙනවා. පුහුණුව ලබන තරුණ තරුණියන්ට තැලුම් කට්ටලයක් රජය මඟින් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. ඉස්සර කුරුඳු තැලුවේ පොල්අතු මඩුවල බිම වාඩිවෙලා. ලෝක පරිමාණයේ පිළිගන්නා සෞඛ්‍ය තත්ත්වයන්ට අනුරූප නොවෙන හැටියටයි. මේ කර්මාන්තයට අලුත් පරපුර යොමු නොවෙන්න එයත් හේතු වුණා. දැන් අපි අලුතින් ඉදිකරන තැලුම් මධ්‍යස්ථාන එම සෞඛ්‍ය නීතිරීතිවලට අනුරූපව සකස් කරගෙන යනවා.

* කජු නැවත වගා කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය කොහොමද?

මේ වැඩසටහන යටතේ ආධාර ක්‍රමයකට පැළ ලබා දීම සිදුකරනවා. දැනට වසරකට අක්කර 500ක් පමණ අලුතින් කජු වගා කරනවා. අනෙකුත් සුළු අපනයන බෝග වගේම කජු වගා ක්ෂේත්‍රය ආශ්‍රිතවත් නව කර්මාන්ත ඇතිව තිබෙනවා. අපි දැන් කජුවලින් බිස්කට්, වයින් වගේ දේවල් පවා හදනවා.

* විදේශයන්ගෙන් ගෙන්වනු ලබන අපනයන භෝග අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීම, අලුතින් වර්ධනය වන කර්මාන්තයක්. එය මෙරටට වාසිදායක වන්නේ කෙසේද?

පුවක් සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලුමක් තිබුණත් එම අවශ්‍යතාවයට සරිලන සැපයුමක් ලබා දෙන්න දේශීය නිෂ්පාදිතය ප්‍රමාණවත් නැහැ. මේ නිසා එලෙස ඉල්ලුමක් තිබෙන භෝග වර්ග අගය එකතු කර පිටරට පැටවීමෙන් අමතර ආදායමක් උපයා ගත හැකිව තිබෙනවා.

* කරුංකා පුවක් ප්‍රතිඅපනයනය කිරීමේ වැඩසටහන පිළිබඳ ආන්දෝලනයක් ඇතිව තිබෙන නිසා එහි අරමුණ පැහැදිලි කළ හැකිද?

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තීරු බදු ගිවිසුමකට අනුව එරටට පුවක් අපනයනය කිරීමේදී අපට බදු සහනයක් ලැබෙනවා. එහි වාසිය ලබා ගන්නා අතරම ආනයනය කරනු ලැබූ පුවක්වලට අගය එකතු කිරීමෙන් විශාල ආදායමක් ලබාගත හැකිව තිබුණා. ඒ අනුව මෙම ආණ්ඩුවට කැබිනට් අනුමැතිය ලැබුණා. එයින් වාසියක් මිසක් අවාසියක් නැහැ.

* පුවක් ප්‍රතිඅපනනය දේශීය වගාකරුවන්ට හානිකර නේද?

නැහැ. අපේ පුවක්වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපිට විදේශ ඉල්ලුමට සරිලන තරම් පුවක් නිෂ්පාදනයක් ලබා දෙන්න බැහැ. ඒ නිසා ප්‍රතිඅපනයනය වැදගත්. සිංගප්පූරුව, හොංකොං වගේ රටවල් අන්තර්ජාල වෙළෙඳාමෙන් ලාබ ලබනවා. ප්‍රති අපනයනයේදී ලංකාවේ පුවක් වගාව ආරක්ෂා කිරීමට නීතිරීති පනවා ති‍ෙබනවා. ඒ අනුව ආනයනය කරන පුවක් මෙහෙ විකුණන්න බැහැ. ඒවාට 35%ක් අගය එකතු කර නැවත අපනයනය කළ යුතුයි. ඊළඟට ආනයනය කරන පුවක් නිරෝධායන පිළිවෙත් අනුගමනය කළ යුතුයි. මේ නිසා ප්‍රති අපනයනයෙන් අමතර ආදායමක් මෙරටට ලැබෙනවා.

* මෙරට කුරුඳු නිෂ්පාදන පිටරට පැටවීමේ දී ශ්‍රී ලාංකික අනන්‍යතාව ඉස්මතු කරන සන්නමක් යටතේ අපනයනය කිරීමේ වැදගත් යැයි ඔබ විශ්වාස කරන්නේ ඇයි?

ලෝකයේ කුරුඳු අවශ්‍යතාවෙන් 90% ක් නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාව. අපේ කුරුඳු සමඟ තරග කරන්න ලෝකයේ අනෙකුත් කුරුඳු වගාකරුවන්ට බැහැ. ලෝකයේ මුළු කුරුඳු අවශ්‍යතාව අපිට සම්පූර්ණ කළ නොහැක්කේ අපේ නිෂ්පාදන ඒ සඳහා ප්‍රමාණවත් නොවන නිසයි. අපි දැන් හදන්නේ අපේ කුරුඳුවල ප්‍රමිතිය ඉහළ නංවා මිල ඉහළ නැංවීමටයි. අපි රටේ අනන්‍යතාව ඉස්සරහට ගත යුතුයි. කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව අපි ශ්‍රී ලාංකික කුරුඳු සඳහා ප්‍රමිතියක් ඉදිරිපත් කර තිබෙනවා. එම නිර්නායක සම්පූර්ණ කරන කුරුඳු නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකික ලෝගෝව භාවිතා කිරීමට අවසර තිබෙනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]