මුද්‍රණය සඳහා

 
භාෂාවෙන් ජීවත්වන අය ම ඒක කාලා විනාශ කරනවා

භාෂාවෙන් ජීවත්වන අය ම ඒක කාලා විනාශ කරනවා

ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ

සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා ඒ ඒ යුගවල දී බිහි වූ නෙක් කෘතහස්ත කෘති බෙහෙවින්ම ඉවහල් වී ඇත. මේ අප්‍රමාණ කෘති නිසා ම අපේ බස රැකුණ අතර, අපට අනගි සාහිත්‍යයක් උරුම විණි. අනුරපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා බිහිවුණු ගද්‍ය, පද්‍ය කෘති අතරින් දැනට ශේෂව පවතින පැරැණි කෘතිවල ඓතිහාසික වූත්, සාහිත්‍යමය වූත් තොරතුරු කෙසේ වේද යන්න විග්‍රහ කරමින් ‘සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය’ රචනා කිරීමට ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ කටයුතු කර ඇත. මේ එම කෘතිය පිළිබඳ කතාබහකි.

* ‘සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය’ යැයි මේ කෘතිය නම් කෙරුණෙ ඇයි?

අනුරාධපුර යුගයේ රචනා කළ සීගිරි ගී සමූහයේ සහ සියබස්ලකර ග්‍රන්ථයේ සිට දැනට ශේෂව පවතින හැත්තෑ දෙකක් පමණ වන සිංහල සාහිත්‍ය නිර්මාණවල අන්තර්ගතය සහ ඓතිහාසික තොරතුරු හෙළිකරමින් ‍ෙම් කෘතිය නිර්මාණය කෙරුණා. මෙහි අන්තර්ගත කර තිබෙන්නේ අනුරාධපුර සමයේ පටන් සිංහලෙන් ලියැවුණු සාහිත්‍ය නිර්මාණ ලෙස ගැනෙන ගද්‍ය සහ පද්‍ය කෘති පමණයි. ඒ නිසා මෙය ‘සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය’ යනුවෙන් නම් කෙරුණා.

* අනුරපුර යුගයෙන් ඇරැඹි සිංහල සාහිත්‍ය ප්‍රබෝධයෙන් නිර්මිත සියලු කෘති මෙයට ඇතුළත්ව නැහැ. එසේ වීමට හේතුව මොකක්ද?

අනුරාධපුර සමයේ පටන් අටුවා, සන්න, ගැටපද, ව්‍යාඛ්‍යාන, වර්ණනා, පිටපොත් වැනි කෝෂ ග්‍රන්ථ බොහෝ ප්‍රමාණයක් සිංහලෙන් ලියැවී තිබෙනවා. ඒත් ඒවා පිළිබඳ විස්තර ‍ෙම් කෘතියට අන්තර්ගත කරලා නැහැ. සිංහල සාහිත්‍ය නිර්මාණ විදිහට ගැනෙන ගද්‍ය පද්‍ය කෘති පමණක් මේ සඳහා එක්තැන් කෙරුණා. අනුරපුර යුගයේ සිට ලියැවුණු ගද්‍ය, පද්‍ය කෘති බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒත් මේ කෘතියට මා යොදා ගත්තේ ඒ අතරින් දැනට ශේෂව පවතින පැරැණි කෘතිවල ඓතිහාසික සහ සාහිත්‍ය තොරතුරුයි. එම තොරතුරු විග්‍රහ කරමින් සිංහල සාහිත්‍යයේ ඉතිහාසය වංශ කතාවක් විදිහට කාලක්‍රමානුගතව දැක්වීම මේ පොතේ පරමාර්ථය වුණා.

* කෘතිවල කාලවකවානු නිර්ණය කරමින් සාහිත්‍ය ග්‍රන්ථ වංශයේ කාල ක්‍රමානුගතව දැක්වීමේ දී, එම පිළිවෙළ සකසා ගැනුණේ කොහොමද?

මේ කෘතියට ප්‍රස්තුත වුණ ඇතැම් පැරැණි කෘති ගත්තොත්, ඒවායේ කාලවකවානු පිළිබඳ විවිධ මතවාද පවතිනවා. ඒ වගේ අවස්ථාවල දී බහුතර සම්මතයට අනුකූල වන විදිහට කාල නිර්ණය කිරීම සිදුවුණා. ශ්‍රී බුද්ධ වර්ෂ හෝ ශක රාජ වර්ෂ හෝ යනුවෙන් කාල වකවානු දැක්වීම පුරාතනයේ ඉඳන් ම පැවැති ලිත් ක්‍රමයයි. ඒත් ඒවා පවා ක්‍රිස්තු වර්ෂවලට පෙරළීමෙන් මෙහි වර්ෂ දැක්වීම සිදුවී තිබෙනවා. ඒකට හේතුව එය වර්තමාන ව්‍යවහාර වර්ෂ ක්‍රමය වන නිසයි. ඒ විදිහට ගත්තහම කාල ගණනය කර බැලීම පහසුයි.

* පැරැණි සිංහල සාහිත්‍ය කියන්නේ බණ කතාවලින් පොහොණි වුණ එකක්. ඒ පිළිබඳ ඔබේ මතය මොකක්ද?

මිහිඳු හිමියන් වැඩම කළ කාලයේ පටන් ම සිංහල භාෂාවෙන් පොත පත ලියැවුණු බවත්, එහෙම ලියැවුණු මුල් පොත් හෙළටුවා නමින් ප්‍රකට වූ බවත් අප දන්නවා. අටුවා ලියැවුණේ මගධ බසින් ආ ධර්ම කාරණා පැහැදිලි කිරීමටයි. ඒ කාලය වනවිට පවා සිංහල භාෂාව ගැඹුරු අර්ථ නිරවුල්ව ප්‍රකට කිරීමේ පොහොසත් උසස් භාෂාවක් විදිහට පැවැති බව සිතාගන්න පුළුවන්. පළමුවෙන් ම ලියැවුණු අටුවා, ගැටපද, සන්න ආදියෙන් ලද ආභාසයෙන් ඥානය ලබලා, සිංහල භාෂාවෙන් ම තවත් විවිධ ධර්ම ග්‍රන්ථ ලිවීම පටන් ගැනුණා.

ඒ නිසා අනුරාධපුර සමයේ මුල් කාලයේ ලියැවුණු මුල් සිංහල ග්‍රන්ථ, බෞද්ධ ග්‍රන්ථ වුණ බව පැහැදිලියි. ඒ ආකාරයට බුදුදහම ආශ්‍රයෙන් උපත ලබලා පෝෂණය වුණ නිසා සිංහල සාහිත්‍ය කියන්නෙ බෞද්ධ සාහිත්‍ය බවට පත්වුණා. සිංහල සාහිත්‍ය කියන්නේ දේශීය බෞද්ධ සංස්කෘතියේ ම අංගයක් බවට පත්වුණා. ඒත් පැරැණි සාහිත්‍ය කෘති සියල්ල ම බණ කතා සාහිත්‍ය නෙමෙයි. එනමුත්, එවකට ලියැවුණු පැරැණි සාහිත්‍ය කෘති බොහොමයක් බුදුදහම කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙලා තිබෙනවා වගේම එයින් පෝෂණය වෙලා තිබෙන බව පැහැදිලි කාරණයක්.

* අනුරාධපුර යුගය ගත්තොත් නාමමාත්‍රිකව බොහෝ පොතපත පිළිබඳ කියැවුණත්, වර්තමානය වනවිට ඒවා දකින්න ලැබෙන්නේ නෑ. මේ පිළිබඳ ඔබේ මතය මොකක්ද?

ඒ පැරැණි කෘති, එම සමයේදී ම දකින්නට, කියවන්නට නොලැබෙන ආකාරයට විනාශ වී යාම ඒකට ප්‍රධානතම හේතුවක්. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට අයත් බොහොමයක් කෘති ස්වභාවික ව්‍යසනවලටත් වඩා කුරිරු විදිහට විනාශ කර දැමීම නිසා අභාවයට ගොස් තිබෙනවා. සිංහල වගේම ‍පාලි, සංස්කෘත බොහෝ අනර්ඝ පත පොත මේ සංහාරවලට ගොදුරු වුණා. ආගම දහම ඔස්සේ උපන් පත පොත ආගමික මතවාද හේතුවෙන් ම ව්‍යසනයට පත්වුණා.

වෝහාරිකතිස්ස රජතුමා මහායාන සාහිත්‍ය කෘති විනාශ කරලා අඩසිය වසරක් පමණ කාලයක් ඇතුළත මහසෙන් රජතුමා ථෙරවාදී සාහිත්‍ය කෘති විනාශයට පත් කර තිබෙනවා. ඊට පසු කාලිංග මාඝගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොත් විනාශ වී තිබුණා. ශිව ආගම වැලඳගත් රාජසිංහ රජතුමා කර තිබෙන්නෙත් එවැනිම නිර්දය ක්‍රියාවක්. මේ වගේ අභාග්‍ය සිදුවීම් නොවුණානම්, වඩාත් විශාල සම්භාව්‍ය සාහිත්‍යයකට උරුමකම් කියන්නට අපට හැකියාව ලැබෙන්න තිබුණා. අනුරාධපුර යුගයේ වගේම පොළොන්නරු යුගයේත්, එයින් පසුවත් අටුවා, ගැටපද, සන්න, පිටපොත්, වර්ණනා ආදී වශයෙන් විවරණ පොත් ගණනාවක් ලියැවී තිබෙනවා. ඒත් ඒවායින් බොහොමයක් අදෘශ්‍යමානයි.

* අනුරපුර යුගයේ සිට මහනුවර සමයේ අවසානය දක්වා ලියැ වී ඇති ගන්ථ නාම රටාව කොළඹ යුගය වනවිට වෙනසකට ලක්ව තිබෙනවා. මේ පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම කෙබඳුද?

ඒ යුගවල දී ග්‍රන්ථ නාම යෙදීමේ සිංහල පිළිවෙත නිවැරැදිව අනුගමනය වී තිබෙනවා. සියලුම කුදු මහත් ග්‍රන්ථ නාම ප්‍රථමාවිභක්ති, නපුංසකලිංග, ඒකවචනයෙන් පිහිටුවා තිබෙනවා. ග්‍රන්ථනාමය සමාසගත තනි වචනයකින් හෝ නැතහොත් වචන දෙකකින් හෝ තුනකින් හෝ පැවසුණත්, ග්‍රන්ථ නාම සම්ප්‍රදාය නිවැරැදිව ආරක්ෂා වී තිබෙනවා. මහා පණ්ඩිත ලේඛකයාගේ සිට, ගැමි ජනකවියා දක්වා සියල්ලෝම ඒ සිරිතෙන් බැහැර වී නෑ. පුද්ගල නාම, බහු වචන, ක්‍රියා පද, වාක්‍ය කණ්ඩ ආදී විවිධාකාර වූ ග්‍රන්ථ නාම පොත්පත්වලට යොදන්නට පටන්ගෙන තිබෙන්නේ නූතන කොළඹ යු‍ගයේ සිට බව අපට පැහැදිලිව දකින්න පුළුවන්.

* ජාතක කතා පොතේ නොඑන ‘මහා පදරංග ජාතකය’ පිළිබඳත් සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වශයෙන් සඳහන් වෙනවා. මොකක්ද මේ මහා පදරංග ජාතකය?

පන්සිය පනස් ජාතක පොතේ නො එන ජාතක කතාවක් පදනම් කරගෙන මහනුවර සමයේ ලියැවුණු පද්‍ය කාව්‍ය කෘතියක් විදිහට ‘මහා පදරංග ජාතකය’ හඳුන්වන්න පුළුවන්. මෙහි නාමය ගැන සිංහල ජනතාව අතර ඉතාමත්ම ප්‍රකට වුණත්, මේ ජාතක කතාව හෝ මේ‍ පොත පිළිබඳ දන්නා අය ඉතාමත්ම විරලයි. මහනුවර රාජ්‍ය කාලයේදී සිංහල පද්‍ය සාහිත්‍යයේ පෝෂණය සඳහා ජාතක පොත බොහෝ සේ ඉවහල් වුණත්, මේ පදරංග ජාතකය සිංහල ජාතක පොතේ තබා ඊට පදනම් වුණ පාලි ජාතකට්ඨකතාවේවත් දකින්න නෑ. චරියා පිටකයෙත් නෑ. සංස්කෘත ජාතක කතා සංග්‍රහයක්. වන ජාතක මාලාවේ පවා දකින්න ලැබෙන්නෙ නෑ. මෙය, ප්‍රමාණයෙන් විශාල, අන්තර්ගතයෙන් දීර්ඝ වුණ, විකසනයෙන් සංකීර්ණ වුණ කාව්‍යයක් මහා පදරංග ජාතකය වගේ යැයි ප්‍රස්තාවපිරුළක් පවා ජනතාව අතර මුල්බැසගෙන තිබෙන්නෙ මේ කාරණය හේතු කරගෙනයි.

* එදා සාහිත්‍යමය අතින් පෝෂණය වුණ ග්‍රන්ථ රචනා වුණත්, අද බිහිවන නිර්මාණ එබඳු පුළුල් සාහිත්‍යමය රසාස්වාදයක් ලැබිය හැකි පරිදි රචනා නොවන්නට තුඩුදුන් කරුණු කාරණා මොනවාද?

අද වනවිට බොහෝදෙනා පැරැණි සාහිත්‍ය කෘති පරිහරණය කරන්නේ නෑ. සාහිත්‍ය කෘතියක් රසාස්වාදනය කරන්නේ නෑ. මේ නිසා ම භාෂාවේ වැරැදි කෙරෙනවා. ඒකට හේතුව මේ අය සතුව පොහොසත් භාෂාවක් නොතිබීමයි. බොහෝ එෆ්. එම්. නාළිකා අපේ බස වැනසීමේ ජාතික අපරාධයක නියැළී සිටිනවා. මේ අයට ඇසූපිරූ තැන් නෑ. පත පොත කියවන්නේ නැති නිසාම අනවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. අද වනවිට සාරවත් සාහිත්‍ය කෘති බිහි නොවන්නේ මෙන්න මේ නිසයි.

එදා අසභ්‍ය ‍දේ පවා සංවරව පැවසීමට භාෂාවෙන් පොහොසත් වුණු ‍අපේ සාහිත්‍යකරුවන්ට හැකියාව තිබුණත්, භාෂාව පිළිබඳ නොදැනුවත්භාවය නිසාම වර්තමාන පරම්පරාවට ඒ වගේ නිර්මාණ කිරීමට අපහසුවී තිබෙනවා. වර්තමාන‍ය වනවිට බස නසන්නේ භාෂාව පිහිට කොටගෙන ජීවත්වන අයයි. මේ නිසා ගුරුවරු, මාධ්‍යවේදීන්, ලේඛකයන්, ප්‍රකාශකයන් භාෂාව ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුයි. ජාතියකට උතුම් ම වස්තුව වන්නේ ජාතියේ මවුබසයි. ජාතියේ උතුම් ම උරුමය මවුබසින් රචිත සාහිත්‍යයයි. මවු බසට නිගරු කිරීම කියන්නෙ තම මවට නිගරු කිරීමක් හා සමාන කටයුත්තක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]