ඉන්දියාවට දැන් කොන්දක් තිබේ!

ඉන්දියාවට දැන් කොන්දක් තිබේ!

මෝදි මහතාගේ ඉන්දීය ආණ්ඩුව ප්‍රතිපත්තිගරුක බව ද, ඊට කොන්දක් ඇති බව ද යළිත් සනාථ කර තිබේ. ඒ බව හෙළිදරව් වන්නේ ඉන්දීය විදේශ අමාත්‍යතුමියගේ ප්‍රකාශයත් සමඟ ය. පිල්ලේ මැතිනියගේ කමිටුව ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණය පැවැත්වීමට සැලැසුම් කර තිබිණි. මේ පිළිබඳ සලකා බැලූ ඉන්දියාව කිසිදු දෙගිඩියාවකින් තොරව ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. අසල්වැසි රාජ්‍යයක් දේශපාලන වශයෙන් අසීරුවට පත්කරන බොරු පරීක්ෂණවලට පහසුකම් සැපැයීම ඉන්දියාවේ ස්වාධීනත්වය හා ගෞරවය කෙලෙසා ගැනීමකි.

මේ තීන්දුවත් සමඟ ප්‍රධාන කරුණු තුනක් අපට දැනගන්නට ලැබේ. පළමුවන්න ඉන්දියාවේ නව ආණ්ඩුව නවී පිල්ලේගේ පරීක්ෂණ කමිටුව අනුමත නොකරන බව ය. දෙවන්න බටහිර බලවත් ජාතීන්ගේ නව අධිරාජ්‍යවාදයේ බලපෑම්වලට එරෙහි ව ඉන්දියාව ද පෙනී සිටින බව ය. තෙවන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍ර සන්ථවය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ය. ආචාර්ය මන්මෝහන් සිං මහතා අගමැති පදවිය දැරූ කොංග්‍රස් ආණ්ඩුවට මෙබඳු කොන්දක් තිබුණේ නැත. මන්මෝහන් යනු වැනෙනසුලු රාජ්‍යතාන්ත්‍රිකයෙකි. අපේ රටේ විපක්ෂය විදේශීය බලපෑම් සම්බන්ධයෙන් දියාරු හා මෝඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, ඉන්දීය ආණ්ඩුව ශ්‍රී ලංකාව ගැන ඊට වඩා ගැඹුරට කල්පනා කරයි.

රටට එරෙහි විදේශීය බලපෑම් ගැන සලකන විට තවත් වැදගත් සිද්ධියක් තිබේ. එනම්; දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රම්පෝසා මහතාගේ දෙදින නිල සංචාරය යි. දෙමළ ජාතික සන්ධානය මෙන් ම එන් ජී.ඕ. සමාගම් ද මේ සංචාරය ගැන මහත් බලාපොරොත්තු තබාගෙන උන්හ. ඒ කේලාම් කියා ඔහු හා නියෝජිත කණ්ඩායම නොමඟ යවා ඒ මඟින් ආණ්ඩුවට බලපෑමක් කිරීමේ සැලැසුම ඇතිව ය. එහෙත් සැලැසුම වතුරේ ගියේ ය. දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා පැවැත් වූ රම්පෝසා මහතා කියා ඇත්තේ ශ්‍රී ලංකා රජයට කිසිදු බලපෑමක් කිරීමේ හැකියාවක් තමාට නැති බව ය.

දකුණු අප්‍රිකාව යනු දීර්ඝ කාලයක් වාර්ගික අර්බුදයේ ඛේදවාචකය අත්විඳි රාජ්‍යයෙකි. එහි අත්දැකීම් ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලට වඩා වෙනස් ය. රටේ බහුතරය වූ කළු ජාතිකයෝ සුළුතරය වූ සුදු පාලක පන්තිය නිසා අන්ත පීඩාවට පත්වූහ. ගැටුම බරපතළ සිවිල් යුද්ධයක් දක්වා ව්‍යාප්ත වූයේ දෙපාර්ශ්වයේ ම වැරැදි නිසා ය. ගැටුම් නිරාකරණය සඳහා ද, සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීම සඳහා ද ඔවුන් අනුගමනය කර ඇත්තේ තමන්ගේ ම යුක්තිසහගත ක්‍රියාමාර්ගයන් ය. දකුණු අප්‍රිකාව විදේශීය ඇඟිලි ගැසීම්වලට ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ කොමිසන් සභා එක්සත් ජාතීන්ගේ බලපෑමෙන් තොරව ක්‍රියාත්මක විය.

සිරිල් රම්පෝසා මහතාගේ සංවාදයෙන් උගත යුතු පාඩම් කිහිපයක් තිබේ. එක පාඩමක් වන්නේ විදේශීය මැදිහත්වීම්වලින් හා ඇඟිලිගැසීම්වලින් තොරව ජනවාර්ගික ගැටුම් සමනය කළ හැකි බව හා එය බුද්ධිමත් ම ක්‍රියාවලිය වන බව ය. තව පාඩමක් වන්නේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීම සඳහා සියලු පාර්ශ්ව යම් කැපවීමක් කළ යුතු බව ය. නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයකු එම කැපවීම තම ජීවිතයෙන් ම සනාථ කොට පෙන්වා දී තිබේ. තවත් වැදගත් ම පාඩමක් වන්නේ අත්දැකීම් හුවමාරුවයි. අත්දැකීම් හුවමාරුවට භයක් ඇතිකර ගත යුතු නැත.

විදේශීය බලපෑම්වලට අදාළ තවත් එක් සිදුවීමක් අප සිහියට නැඟේ. එනම්; ඕස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂිත අමාත්‍ය කෙට් මොරියස් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය යි. මේ සංචාරය තුළ දක්නට ලැබුණු කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඕස්ට්‍රේලියානු නියෝජිතවරයා දෙමළ සන්ධානය මුණ ගැසීමට දැක් වූ අකැමැත්තයි. ඔහු දෙමළ සන්ධානය දිගින් - දිගට ම ප්‍රතික්ෂේප කළේ ය. දෙමළ සන්ධාන නියෝජිතයන්ගේ බොරු රංගන, අසත්‍ය වාර්තා හා හැඟුම්බර වචන මේ අමාත්‍යවරයාට අමුතු දේවල් නොවන්නට ඇත. කුමක් වුව ශ්‍රී ලංකාවේ ගැටුම් වර්ධනය කිරීමේ වුවමනාවක් ඕස්ට්‍රේලියාවට නැත.

එක අතෙකින් පිල්ලේ මැතිනියගේ කමිටුව විශාල මුදලක් වැය කරමින් ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ කරගෙන යයි. කමිටුව පත් කර ඇත්තේ පිල්ලේ මැතිනිය යි. ඒ සඳහා වියදම් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. ඉන්දියාව පමණක් නොව; දකුණු ආසියාවේ අනෙක් රටවල් ද මේ කමිටුවේ කටයුතුවලට සහාය පළකරන බවක් පෙනෙන්නට නැත. එය සාර්ක් එකමුතුවේ ප්‍රතිඵලයක් ලෙස ද ගත හැකි ය. මාලදිවයින් ජනාධිපතිවරයා මෑතක දී කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික බලපෑම් ඉදිරියේ එදා මෙන් ම අදත් නැඟී සිටින්නට මාලදිවයින හැමවිට ම සූදානම් බව ය.

බොහෝ සිදුවීම් ශ්‍රී ලංකාවට සුබදායී ලෙස පෙළ ගැසෙන බවක් පෙනෙන්නට තිබේ. එය යුක්තියේ ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකි ය. රට අභ්‍යන්තරයේ ඇති ඇතැම් බලවේගවල යටි අරමුණු මේ මඟින් දියාරු වන්නට පුළුවන. විපක්ෂ නායකතුමාගේ මතය, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, මංගල සමරවීර වැනි අයගේ මතවාද ජනතාව ඉදිරියේ හාස්‍යයට ලක් වන්නට ද පුළුවන. ඉන්දියාවේ මහා ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් දක්වන උනන්දුව එක්සත් ජාතික පක්ෂයට නැත. ඔවුන්ගේ ඔළුගෙඩි ඇත්තේ අමෙරිකාවේ බැවිනි.

මිනිසුන්ගේ ගති - සිරිත් මුළුමනින් මකා දැමීම අති - දුෂ්කර කාරණයෙකි. පාවාදීම, දීනවීම, නෝන්ජල්කම, කුපාඩිකම සමහරුන්ගේ ඇඟට කා වදින්නේ උපතේ සිට ය. සමහරුන්ගේ ජානවල ම පාවාදීමේ වෛරස් තිබේ. එවිට තාත්තා පාවා දෙන්නෙකි. පුතාද පාවා දෙන්නෙකි. වර්තමාන පාවාදෙන්නාට පුතකු හැදිය නො හැකි නම්; පමණක් පරම්පරාවේ පාවාදීම එතැනින් නතර වේ. එවැන්නක් සිදු වෙතැ’යි අපේක්ෂාවෙන් අපට හිත හදා ගත හැකි ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා