ඌව මැතිවරණයේ දී සන්ධානය දිනවීමට කටයුතු කරනවා

ඌව මැතිවරණයේ දී සන්ධානය දිනවීමට කටයුතු කරනවා

විමල් වීරවංශ

නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවකු වන ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය හොබවන ඔහු වත්මන් රජයේ නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැතිවරයා ය. වත්මන් දේශපාලන වාතාවරණය තුළ තමන්ගේ හා පක්ෂයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙන්ම රටේ මතුව ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ “දිනමිණ” සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.

* නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා යන විෂයයන් මෙරට ප්‍රධානතම හා බලගතුම දේශපාලන චරිත ඇමැතිධුර හෙබ වූ ක්ෂේත්‍ර. එවැනි සුවිශේෂ අමාත්‍යාංශයක් භාරව කටයුතු කරන ඔබ මෙම ක්ෂේත්‍රවල දියුණුව උදෙසා අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද?

මේ අමාත්‍යාංශය ජනාධිපතිතුමා මට භාරදෙන කොට එතුමා බලාපොරොත්තු වුණේ නිවාස ක්ෂේත්‍රයේ මෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි වර්ධනයක් සඳහා අවශ්‍ය මැදිහත්වීම කරන්න. නිවාස ක්ෂේත්‍රය ගත්තොත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විශාල කඩා වැටීමකට ලක්වෙලා තිබුණේ. එහි සේවකයන්ට රැකියාවේ අවිනිශ්චිතභාවයක් ඇතිවෙලා තිබුණා. අපි ඉතා ඉක්මනින් සියල්ල නිවැරැදි කළා. ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කළා. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ සියලු දෙනා රැකියාවේ අවිනිශ්චිතභාවයෙන් සිටියා. ඔවුන් සියලුදෙනා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඇතුළත් කළා. ඔවුන් වගේම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙත් සේවක සුරක්ෂිතභාවයක් ඇති කළා.

ආයතන සුරක්ෂිත කරනවා වගේම ජනතාවටත් ප්‍රතිලාභ ලබා දුන්නා. ජන සෙවණ වැඩසටහන අරඹා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කළා. නාගරික මහල් නිවාස යෝජනා ක්‍රම අලුතින් ඉදිකළා. පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණය කළා. ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රම ආරම්භ කළා.

දුගී දුප්පත් ජනතාවට නිවාස ලබා දෙන්න කටයුතු කළා. රාජ්‍ය බැංකු සියල්ල නිවාස වැඩසටහනට යොදා ගත්තා.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගත්තත් මෑත ඉතිහාසයේ වැඩිම වර්ධන වේගයක් තියෙන්නේ මේ කාලයේ. සියයට 22 වඩා වැඩි වර්ධන වේගයක් පසුගිය කාලයේ දක්නට ලැබුණා.

ඉදිකිරීම් ශිල්පීන්ගේ ආත්මාභිමානය ඉහළ නංවන්න මහාභිමානි නමින් වැඩසටහන් ආරම්භ කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙදරේරු, වඩු, කාර්මික, පින්තාරු ශිල්පීන්ට ජනාධිපතිතුමා අතින් සම්මාන ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා.

ඔවුන්ට රට පුරා පුහුණුව දීලා N.V.Q. සහතිකය දෙනවා. හැඳුනුම්පතක් දෙනවා. වෘත්තීය ගරුත්වය අභිමානයක් මෙමඟින් ලැබෙනවා. ඔවුන්ට අද ලෝකයේ ඕනෑම ශ්‍රම වෙළෙඳ පොළකට යන්න පුළුවන්.

ඉක්ටැට් ආයතනය අධිකාරියක් බවට පත්කිරීමේ සැලසුම් සකස් කළා. එය පසුගිය කාලයේ සිදු වූ වැදගත්ම සිදුවීමක්. ඉක්ටැට් ආයතනය අධිකාරියක් බවට පත්කිරීමේ පනත අනුමැතිය සඳහා දැන් අමාත්‍ය මණ්ඩලය වෙත යොමුව තිබෙනවා.

* ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානතම පාර්ශ්වකරුවෙක්. ගැටලු ඇති වනවිට අවබෝධතාවය, සාකච්ඡාව හා සම්මුතිය යන සාධක මුල්කර ගනිමින් සන්ධානය නැමැති පවුල තුළම එම ගැටලු විසඳා ගන්නවා විනා “හන්දි ගානේ” එම ගැටලු ප්‍රසිද්ධ කර සන්ධානය විවේචනය කිරීම නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්වී දේශපාලන එදිරිවාදීන්ට බොරදියේ මාළු අල්ලන්ට අනියමින් හෝ ඔබ සහය වී තිබෙනවා නේද?

ඕනෑම සන්ධාන ආණ්ඩුවක් ඇතුළේ යම් යම් කරුණු පිළිබඳව විවාදාත්මක තත්ත්වයක් තියෙන්න පුළුවන්. මේ ආණ්ඩුව ඇතුළෙත් මීට කලින් යම් යම් විවාදාත්මක තත්ත්වයක් පැන නැඟිලා තියෙනවා. ඒවා අභ්‍යන්තරික මට්ටමින් සාකච්ඡා කරලා අපි විසඳගෙනත් තියෙනවා.

විශේෂයෙන් ආර්ථික, දේශපාලනික ගමන්මඟ පිළිබඳව ගැඹුරු සංවාදයක් නොතිබීම නිසා ඒ පිළිබඳ සංවාදයක් විවෘතව කරළියට ආවා. අපි ඒ පිළිබඳව සාකච්ඡාවට ගත්තා. ඒ අනුව තමයි අපි ආණ්ඩුවට කරුණු 12ක් ඉදිරිපත් කළේ ජාතික නිදහස් පෙරමුණ හැටියට. අපි එහෙම කළේ ආණ්ඩුව සුබවාදී වෙනසකට ගෙනියන්නයි.

* පසුගිය සමයේ ඔබ හා ආණ්ඩුව අතර අර්බුදයක් නිර්මාණය වී තිබුණා. එම අර්බුද, මතභේද විවෘත සමාජය තුළ කතාබහට ලක්වීමත් සමඟ සමහරු ඔබ හා ඔබේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ කවදා දැයි ඇඟිලි ගනිමින් බලා සිටියා.

ආණ්ඩුවට අපි ඉදිරිපත් කළ යෝජනා 12ට සෑහීමකට පත්විය හැකි පරිදි ප්‍රතිචාර ලැබුණා. පක්ෂයක් හැටියට අපිට අවශ්‍ය කරන්නේ දේශපාලන ලකුණු රැස්කර ගන්න ‍ෙනමෙයි. මේ ආර්ථිකයේ සිදුවිය යුතු සුබවාදී වෙනසක් සඳහා මූලාරම්භයක් තල්ලුවක් ඇති කරන්නයි.

සියල්ල යහපත්ව සිදුවනවාය කියන අරමුණක් නෙමෙයි අපිට ඕන.

එහෙම සියල්ල යහපත්ය කියලා හිතන ගමන වේගයෙන් කඩා වැටෙනවා.

ඉන්දියන් කොංග්‍රස් පාලනයට වුණෙත් එයයි. අඩුපාඩු නිවැරදි කරගන්න බලවේග ඔවුන්ට තිබුණේ නැහැ. අවසානයේ ජනතාව මහා තීන්දුවක් දෙනකන් ඔවුන් දැන සිටියේ නැහැ.

අ‍ෙප් රටේ පාලනය එසේ විය යුතු නැහැ. අපේ රටට හතුරු කල්ලි එළියේ ඉන්න විපක්ෂය සතුටු කරන්න අපිට ඕන නැහැ. මහජනතාවට යහපතක් වෙනවා නම් එපමණයි අපිට ඕනෑ.

* දොළොස් වැදෑරුම් යෝජනාවලිය සම්බන්ධව රජයේ පාර්ශ්වයෙන් ලැබුණේ කිනම් ප්‍රතිචාරයක් ද?

ආණ්ඩුව එම යෝජනා ප්‍රතිපත්තිමය වශයෙන් පිළිඅරන් තියනවා. ජනාධිපතිතුමා මඟින් පත් කරන ලද කමිටුව ඒ බව ප්‍රකාශ කළා. ඒ වගේම දැන් එය ක්‍රියාකාරි සැලැස්මක් බවට පත්කිරීමේ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.

ආණ්ඩුව සමඟ තිබූ ඇතැම් විවේචනාත්මක අදහස් මේ තුළින් නිරවුල් වුණා.

* ඔබ කැබිනට් රැස්වීම් සඳහා දැන් සහභාගි වනවාද?

මම කොහේවත් කියලා නැහැ මම අමාත්‍ය මණ්ඩලය වර්ජනය කළා කියලා. සමහර මාධ්‍ය විසින් එහෙම අර්ථකථන දීලා තියෙනවා. එම අර්ථකථන නිවැරදි නැහැ. කොයි වෙලාවෙවත් අමාත්‍ය මණ්ඩලය වර්ජනය කළ බවක් මම රටට කියලා නැහැ.

අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය පරිදි මගේ සහභාගිත්වය සිදුවෙනවා. ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් මට නැහැ.

* හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳව සෙවණැලි හතරවටින්ම මේ වනවිට මතුව තිබෙනවා. එවැනි හදීසි මැතිවරණයක් පැවැත්වීම ප්‍රගතිශීලී කඳවුරට ජනතා මතය එක්කාසු කිරීමේ යුතුකම මෙවරත් ඉටුකිරීමට ඔබ සූදානම්ද?

අපි දෙපැත්තෙ කකුල් දෙක තියාගෙන ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක් නෙමෙයි. හිතට එකඟව කකුල තියා ගන්න පුළුවන් තැනක ඉඳගෙන නිවැරදිව කටයුතු කරනවා. අපි අපේ භූමිකාව හරියට ඉටු කරනවා. එය අතීතයෙත් එහෙමයි. අනාග‍තයේදීත් එහෙමයි. ඉදිරි ජනාධිපතිවරණයේදීත් අපි අපිට පැවරෙන වැඩේ හරියටම ඉටු කරලා ප්‍රගතිශීලී කඳවුර දිනවන්න සූදානම් බව බය නැතිව කියන්න කැමැතියි.

* තව නොබෝ දිනකින් ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතයි. එම මැතිවරණය සඳහා තරග වැදීමේ ජාතික නිදහස් පෙරමුණේ සූදානම ගැනත් දැන ගැනීමට කැමැතියි.

ඌව පළාත් සභා මැතිවරණයට කොහොමත් අපි තරග කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධානගතවයි. කිසිදු පැකිලීමකින් තෙරව එම මැතිවරණයේදී සන්ධානය ජයග්‍රහණය කරවීමට අපි උපරිම ශක්තිය යොදවනවා.

ඒ වගේම කිසිම සැකයක් නැහැ. ඌව පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. රටට සතුරු වූ බලවේගවලට නම් වෙනදා වගේම මෙවරත් ලැබෙන්නේ පරාජයේ කටුක අත්දැකීම් පමණයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා