රටට එරෙහි NGO  නාඩගම්

රටට එරෙහි NGO  නාඩගම්

රජයේ ආදායම් වියදම් ගැන මහ ඉහළින්, ලොකුවට තර්කානුකූලව කතා කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල (NGO) ක්‍රියාකාරීත්වයේ නියම තත්ත්වය දන්නේ නම් එය කෙතරම් හිරිකිතද? දන්නේ එම රාජ්‍ය නොවන සංවිධාන අරක්ගෙන සිටින පිරිස් පමණි. ඊට හේතුව කුමක්ද? රාජ්‍ය නොවන සංවිධානවලට මුවා වී ඇතැම් පුද්ගලයින් සිදු කරන ක්‍රියා සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර එතරම් වෙනසක් නැත. ඒ තරමටම ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය ගැටලු සහගතය. ඒ තරමටම බරපතළය. රාජ්‍ය නොවන සංවිධාන රටකට අවශ්‍යය.

එහි කිසිදු විවාදයක් නැත. රාජ්‍ය නොවන සංවිධාන හරහා යම් රටක භෞතික සංවර්ධනය, මානව සංවර්ධනය, අධ්‍යාපනය ඇතුළු ගුණාත්මක අංශවල වර්ධනයන් සිදුවූවාට කිසිදු වරදක් නැත. ඒවා සඳහා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කරගත්තාට ද කිසිදු වරදක් නැත. නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධාන ලෝකයේ කොතෙකුත් රටවල ඇත. නමුත් ප්‍රශ්නය පැන නඟින්නේ කොතනින්ද? ඊට පසුබිම් වන කරුණු ගැන තර්කානුකූලව නොසිතා ක්‍රියා කළහොත් රටට සිදුවන අහිතකර ඵලවිපාක මෙතෙකැයි කිව නොහැක.

රජයේ නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරනු ලබන රාජ්‍ය නොවන සංවිධාන 7 ක් පිළිබඳ මේ වන විට පරීක්ෂණ සිදුකරනු ලබන බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසයි.

මෙරට තුළ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන 1416 කට මාධ්‍ය සාකච්ඡා, මාධ්‍යවේදීන් පුහුණු කිරීම් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන රෙගුලාසි උල්ලංඝනය වන අයුරින් වැඩසටහන් පැවැත්වීම නවතා දමන ලෙස ලිඛිතව දැනුම් දීමක් සිදුකර තිබේ.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන හා විවිධ මූල්‍ය අක්‍රමිකතා සිදු කරනු ලබන රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව මෙරට සිවිල් නීතිය යටතේ කටයුතු කළ හැකිය.

ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සිය ප්‍රතිපත්ති සටහනේ සමන්විත නොවන දේශපාලනික කටයුතුවල ද නිරතවන බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇත. ඊට සම්බන්ධ විදේශිකයින් ගණනාවක් ද මෙරට ජීවත් වෙමින් මේ නීති විරෝධී ක්‍රියාවලට හවුල් වී තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ 1980, 1998 සහ 1999 යන වසරවල පනත් සකසා ඇති අතර ඊට අනුකූලව මෙකී රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයන් ප්‍රශ්න කිරීමේ අයිතිය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සතුව පවතී.

යම් රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි වීමේදී සිය ඉල්ලුම් පත්‍රයෙහි සඳහන් කළ අරමුණු, දර්ශනය, ක්‍රියාපටිපාටිය දිගටම ඒ ආකාරයටම සිදු කළ යුතු වේ. එසේ නොවුණොත් නිත්‍යානුකූලව ක්‍රියා කළ හැකිය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මේ ආකාරයෙන් ක්‍රියාකරන විට ඊට දැඩි ලෙස කලබල වී සිටින්නේ කවුරුන්ද? එසේ කලබල වී සිටින්නේ ඇයි? එසේ කලබල වී සිටින්නේ කාගේ වුවමනාවකටද? මෙම ගැටලුවලට එකින් එක පිළිතුරු ලබා දෙන විට මෙහි යථාර්ථය ඉතා හොඳින් පැහැදිලි වේ.

“රාජ්‍ය නොවන සංවිධානවල “කට වැසීම” රට ඒකාධිපතීත්වයට ගෙන යාමේ තවත් පිම්මක්” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයයි.

රාජ්‍ය නොවන සංවිධාන පුවත්පත් සාකච්ඡා පැවැත්වීම, මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ආදී කටයුතුවලින් වැළකී සිටිය යුතු බව දක්වමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යයක් බවට පත්කිරීමේ තවත් එක් පියවරක් යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී.

බළලා මල්ලෙන් එළියට පැනපු හැටියට මේ ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කලබල වුණාට ඒ ගැන අමුතුවෙන් කිව යුතු දෙයක් නැත.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක් ක්‍රියාත්මක වන්නේ කා වෙනුවෙන් ද? යන්න ගැන විමසා බලන විට මේ ගැන පුදුම විය යුතු නැත. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ගලාගෙන එනු ලබන්නේ බටහිර රටවල්වලිනි. ඔවුන්ට ලැබෙන ඩොලර් මිටි ගණන් ගැන අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවේ. එම ඩොලර් මිටි උඩ පාවෙමින් සිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ රංගනයන් දුටු විට ඔවුන් රාජ්‍ය නොවන සංවිධාන වෙනු‍ෙවන් හඬ නඟන්නේ ඇයිද? යන කාරණය ගැන එතරම් පුදුම විය යුතු දෙයක් නැත‍.

ඩොලර් මිටි ගණන්වලට අමතරව එම එන්. ජී. ඕ. කාක්කන්ට රට සවාරි කිහිපයක් ද ලැබෙන්නේ විදේශ රටවලට ගොස් හොඳ හැටි කා බී සුර සැප විඳීමටය. වැඩමුළු නැත්නම් සම්මන්ත්‍රණ කියමින් විවිධ රටවල විවිධ නම්වලින් මේවා සංවිධානගත වේ. එම සවාරිවලට ගොස් ඇති තරම් සුර සැප විඳ ඔවුන් යළි ශ්‍රී ලංකාවට පැමිණුනත් මෙරටට හෝ මෙරට පොදු මහජනතාවට ඔවුන් ගෙන එන දෙයක් නැත. මෙම යථාර්ථය තේරුම් ගත යුතුයි.

මීට වසර ගණනාවකට පෙර සිට මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වේ. ත්‍රස්තවාදය සමඟ යුද්ධය ආරම්භ වූ විට රාජ්‍ය නොවන සංවිධාන ඊට සමගාමීව බිහිවන්නේ හතු පිපෙන්නාක් මෙනි. මෙම රාජ්‍ය නොවන සංවිධාන විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ මුල් බැස ගත්තේ යුද්ධය කාලයේදීය. ගැටුම්වලින් අසරණ වන ජනතාවට පිහිට වීමේ අරමුණෙන් මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වුවද ඔවුන්ගේ නියම න්‍යාය පත්‍රය එය නොවේ. “බුදු සරණයි” යනුවෙන් ලොරියේ ඉදිරිපස සඳහන් කර තිබුණත් පිටුපස ඇත්තේ ගෙරි මස් ය. ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා හරක් මස් ලොරි අතර එතරම් වෙනසක් නොමැත.

යහපත් අරමුණු වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ ගත්තද ඔවුන්ගේ සැබෑ අරමුණු හා න්‍යාය පත්‍ර හඳුනා ගැනීමට අපහසු නොවේ. මෙරට යුද්ධය ක්‍රියාත්මක වූ කාලවලදී රාජ්‍ය නොවන සංවිධානවල තත්ත්වය අති විශිෂ්ටය. “කොහොමද කෑම?” “අති විශිෂ්ටයි සර්” යනුවෙන් ඒ දිනවල රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් පිළිතුරු දුන්න ද එය වරදක් නොවේ. ඒ තරමටම ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල කෑම අති විශිෂ්ටය. මේ කෑම ලබා ගැනීම සඳහා මෙම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය ගනු ලබන තීරණ ගැන දෙවරක් සිතා බැලිය යුතුය.

ඇතැම් බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ ලංකාවේ සංචාරක කර්මාන්තය ද බිඳ දමමින් මේ රට යළි අස්ථාවර කිරීමටය. ඒ සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම බලවේග ක්‍රියාත්මක වේ. දෙමළ ඩයස්පෝරාව, බෙදුම්වාදී බලවේග, ජිනීවා මානව හිමිකම් සමුළුව ඇතුළු අවස්ථා රැසක් හරහා ඇතැම් ප්‍රබල බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව අස්ථාවර රටක් බවට පත් කර එමඟින් විවිධ වාසි ලබා ගැනීමටය. ඊට අමතරව මෙරට ඊළාම් රාජ්‍යයක් කෙසේ හෝ බිහි කිරීමටය. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට පෙර මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කර තිබුණේ තනිකරම කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙනි.‍ ‍ෙදමළ පුනරුත්ථාපන සංවිධානය (TRO) යනුවෙන් ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානය මෙරට ක්‍රියාත්මක වූයේ ඉතාමත් භයානක ආකාරයෙනි.

2002 – 2004 වකවානුවේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද සටන් විරාම ගිවිසුම නිසා කොටි සංවිධානයට විශාල වාසි රැසක් අත් වූ බව රහසක් නොවේ. කොටි සංවිධානයට ‍එම බොහෝ වාසි අත්වූයේ ඔවුන්ට හිතවත් රාජ්‍ය නොවන සංවිධාන හරහාය. දෙමළ පුනරුත්ථාපන සංවිධානයට (TRO) කොටි සංවිධානය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දීමට හැකි විය.

සටන් විරාම ගිවිසුමට මුවා වී ඇති තරම් විදේශ රටවලින් විවිධ වර්ගයේ ආධාර ගෙන්වා ගැනීමට කොටි සංවිධානය ‍ක්‍රියා කළේ රාජ්‍ය නොවන සංවිධාන හරහාය. ගුවන් යානාවල කොටස්, හෙලිකොප්ටර් යානාවල කොටස් රේගුවේදී හසුවූයේ කොටි සංවිධානයට හිතවත් රාජ්‍ය නොවන සංවිධාන විසින් ඒවා මෙරටට ගෙන්වූ අවස්ථාවේදීය. ඊට අමතරව කූඩාරම්, විවිධ බෙහෙත් වර්ග, විවිධ රසායනික ද්‍රව්‍යය ද ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ගෙන්වා ගෙන තිබුණි. මෙවැනි ද්‍රව්‍ය රාජ්‍ය නොවන සංවිධාන ගෙන්වා ගත්තේ ඇයිද? යන්න ගැන සොයා බැලීමේදී නියම යථාර්ථය හෙළි වනු ඇත. ඒ අවස්ථාවේදී රේගු නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන එන ලද විවිධ ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවකට ලක් කළේ එය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වූ බැවිනි. නමුත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ ඇතැම් දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වූයේ ඉතා අවාසනාවන්ත ආකාරයටය. රේගු නිලධාරීන්ට දේශපාලන හස්තයෙන් විවිධ බලපෑම් එල්ල වන්නට වූ අතර ඔවුන්ගේ රාජකාරිවලට දැඩි ලෙස බාධා එල්ල කෙරිණ. කෙතරම් බාධා එල්ල වුවද රට හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් රේගු නිලධාරීන් එදා අභීතව ‍ක්‍රියා කළ ආකාරය රටටම ආදර්ශයකි. කොටි සංවිධානයට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය කිසිදු බාධාවකින් තොරව ලබා දීම සඳහා ක්‍රියාත්මක වූයේ මේ රාජ්‍ය නොවන සංවිධානයි.

මේ රාජ්‍ය නොවන සංවිධාන මෙල්ල කිරීමට එදා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නොහැකි විය. විවිධ දැල්වලින් රිංගා එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කළේ කොටි ත්‍රස්තවාදීන්ට අවශ්‍ය දෑ කෙසේ හෝ ලබාදීමේ අරමුණිනි.

ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමෙන් අනතුරුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කොටි සංවිධානයට ලබා දී තිබූ දේවල් දැකගත හැකි වූ අතර ඇතැම් ද්‍රව්‍ය විශ්වාස කිරීමට තරම් අමාරු ඒවා විය. විවිධ බලපෑම් හමුවේ රේගු නිලධාරීන් තම රාජකාරි කරන අතරතුර දේශපාලන හස්තයන් දැඩිව යොදාගෙන ඇතැම් කන්ටේනර් වරායේ සිට කෙළින්ම උතුරට ගෙන යාමට කොටි සංවිධානයට සහයෝගය දීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන එදා ක්‍රියා කළේය.

මෙවැනි අවස්ථාවලදී නීතිය උපරිම ආකාරයෙන් ක්‍රියා කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ක්‍රියා කළේ නැත. එමඟින් සිදු වූයේ ජාතික ආරක්ෂාවට විශාල වශයෙන් තර්ජනය වූ ඇතැම් භාණ්ඩ කොටි සංවිධානය අතට පත්වීමයි. ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මඟින් සාමයේ මන්තරය ජප කරමින් තිබූ අතර සාමයට බාධා වන ආකාරයේ කිසිදු කටයුත්තක් නොකරන ලෙසට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තරයේ උපදෙස් ලබා දෙන ලදී.

උතුරේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ වන බැටරි සහ ඉන්ධන යැවීමට පියවර ගෙන තිබුණිි. සටන් විරාම ගිවිසුමේ එක් පියවරක් ලෙස මෙය ක්‍රියාවට නැංවුණි. නමුන් ඉන්ධන හා බැටරි ලැබුණේ උතුරේ ජනතාවට නොවේ. ජනතාව වෙනුවෙන් ඒවා ඇති පදම් ලබාගත්තේ කොටි සංවිධානයයි. උතුරේ ධීවරයින්ටවත් මුහුදු යාම සඳහා ඉන්ධන ලැබුණේ නැත. එම ඉන්ධන ලබාගත්තේ මුහුදු කොටි බළකායයි. සටන් විරාම ගිවිසුම නියමාකාරයෙන් ක්‍රියාත්මක වනවාද? නැද්ද? යන්න ගැනත් සෙවීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කිසිඳු වුවමනාවක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ සාම මන්තරය ජප කරමින් රට පාලනය කිරීමටය. සාම මන්තරය ජප කිරීම අනුව කොටි නායක ප්‍රභාකරන් උතුරු නැඟෙනහිර ප්‍රදේශ පාලනය කළ අතර අනෙක් ප්‍රදේශ රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාලනය කරන ලදී.

කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා වැඩිපුරම දුක් වින්දේ මේ රටේ දෙමළ ජනතාව බව රහසක් නොවේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා බව පවසමින් මෙරටට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ගෙන්වා ගත් බොහෝ ද්‍රව්‍ය උතුරේ පොදු මහජනතාවට ලැබුණේ නැත. ඒවා ලැබුණේ කොටි සංවිධානයටයි. ආහාරපාන, බෙහෙත් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක් ලැබුණත් ඒවා උතුරේ පොදු මහජනතාව අතට පත්කිරීමට යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේ නැත. එමනිසා බොහෝ අවස්ථාවලදී ඉන් ප්‍රයෝජන ලබාගත්තේ කොටි සංවිධානයයි. දෙමළ ජාතික සන්ධානය හා කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මෙහිදී ක්‍රියා කළ ආකාරය නතර කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නොහැකි විය. එය ඉතා බරපතළ තත්ත්වයක් නොවේද?

රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව කවරෙකු වුවද ක්‍රියා කළහොත් වහාම ඒවා නැවැත්වීමට රට පාලනය කරන ආණ්ඩුවලට නොහැකි නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එමනිසා වර්තමානයේ සිදු කරමින් සිටින්නේ එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් සිදු වූ වැරදි යළි නොවීමට අවශ්‍ය පියවර ගැනීමටය. එමනිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස රාජ්‍ය නොවන සංවිධානවලට දැනුම් දීම කිසිදු වරදක් නැත. නමුත් එමඟින් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සේම මෙරට විරුද්ධ පක්ෂය ද බොහෝ ලෙස කලබලයට පත් වී තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි.

රාජ්‍ය නොවන සංවිධානවලට මේ ආකාරයෙන් උපදෙස් දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ද කොටි හිතවාදී බලවේග ද දැඩි ලෙස කලබලයට පත්ව තිබේ. මේ රාජ්‍ය නොවන සංවිධාන කෙරුවාවෙන් කොටි සංවිධානයට හිතවත් පාර්ශ්වවලට ලැබුණු සහාය ඉන් සිතාගත නොහැකිද?

ජාතික ආරක්ෂාව ගැන එදා තඹ දොයිතුවකට මායිම් නොකළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු‍ෙවන් රටට සිදු වූ අහිතකර තත්ත්වයන් ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. සටන් විරාම ගිවිසුමෙන් උපරිම ආකාරයෙන් ශක්තිමත් වී මේ රට දෙකඩ කෙරෙන තත්ත්වයකට ගමන් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එදා නිසියාකාරව රට පාලනය කිරීමට නොහැකි වූ නිසාය.

2004 වර්ෂයේ දී සිදු වූ සුනාමි ඛේදවාචකයෙන් බොහෝ රාජ්‍ය නොවන සංවිධානවලට හොඳ කලදසාවක් උදා කෙරිණ. සුනාමිය විකුණමින් ඇතිපදම් හම්බ කිරීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කළේ ඔවුන්ට වුවමනා පරිදිය. සහන සේවාවලට අවශ්‍ය පහසුකම් ලැබීමත් සමඟ බොහෝ රාජ්‍ය නොවන සංවිධානවලට බොරදියේ මාළු බෑ හැකි තත්ත්වයක් උදා විය. කොටි සංවිධානය වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානවලට ද එමඟින් ඇතිවූයේ ඉබ්බා දියේ දැම්මා වැනි තත්ත්වයකි. ඒ අවස්ථාවේදී සුනාමි සහන මණ්ඩලයක් උතුරට ලබා දීමට යෝජනා වූ අතර එය ක්‍රියාත්මක වූවා නම් ඒ හරහා ඉතා කෙටි කාලයක් තුළ ඊළාම් රාජ්‍යයක් බිහිවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇත. නමුත් 2004 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ලබාගෙන 2005 දී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගැනීමත් සමඟ එම අන්තරායකාරී තත්ත්වයෙන් රට මුදාගැනීමට හැකි විය.

2001 – 2004 කාලවකවානුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ සටන් විරාම කාලය තුළදී සහ සුනාමි ඛේදවාචකයෙන් පසු ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ජාතික ආරක්ෂාවට ඉතා බරපතළ ආකාරයෙන් ක්‍රියා කිරීම රටේ ප්‍රධානතම ගැටලුවක් වූ නිසා මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයන් ගැන සෙවීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කෙරිණ. එහි සභාපතීත්වය දරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසිනි. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සැලකිල්ලට ගත් විට ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල කෙරුවාව ඉතා හොඳින් දැනගත හැකිය. කිසිදු විනිවිදභාවයකින් තොරව මුදල් උපයා තිබෙන ආකාරයක්, මුදල් හා ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සෘජුවම කොටි සංවිධානයට ලබා දී ඇති බවත්, එමඟින් ඔප්පු විය. එසේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ රාජ්‍ය නොවන සංවිධානවල නිරුවත හෙළිකිරීමට එදා කැප වූ ජනතා විමුක්ති පෙරමුණ අද නිහඬව සිටින්නේ ඇයි? අද ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය පත්‍රය වෙනස් වී ඇත. ඔවුන්ට පළමුව අවශ්‍ය වන්නේ රට නොව පටු දේශපාලන න්‍යාය පත්‍රයයි. ඒ අනුව ඔවුන් අද කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙනි. අද ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇත්තේ ද මේ නිසාය.

“රාජ්‍ය නොවන සංවිධානවල කට වැසීම රට ඒකාධිපතීත්වයට ගෙන යාමේ තවත් පිම්මක්” යනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ නිකුත් කිරීම කිසිසේත්ම පිළිගත නොහැක. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයන් ගැන හෙළි වූ තොරතුරුවලට අනුව ඉතා භයානක රාජ්‍ය නොවන සංවිධානවල තත්ත්වයන් ‍ගැන වටහා ගැනීම අපහසු නොවේ. එවැනි රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම රට ඒකාධිපතීත්වයකට ගමන් කිරීමක් යනුවෙන් සඳහන් කරන්නේ කෙසේද? එවැනි රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම නොවන්නේද?

එදා කොටි සංවිධානයට කඩේ ගිය ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට වර්තමානයේ අවශ්‍ය වී ඇත්තේ රට විවිධ මාර්ගවලින් අස්ථාවර කිරීමටය. ඒ සඳහා මතවාද රැල්ලක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා මාධ්‍ය සංදර්ශන, මාධ්‍ය වැඩමුළු පවත්වා එමඟින් රට තුළ කටකතා ප්‍රචාරය කර රට අස්ථාවර කිරීමේ කොන්ත්‍රාත්තුව බෙදුම්වාදී බලවේග, දෙමළ ඩයස්පෝරාව හා ඇතැම් බටහිර රටවල් සමඟ මෙම රාජ්‍ය නොවන සංවිධාන දැනටමත් අත්සන් කර ඇත. මෙම කුමන්ත්‍රණකාරී තත්ත්වය වහාම පරාජය කළ යුතුය. නැත්නම් සිදුවන්නේ නියපොත්තෙන් කැඩීමට හැකි දෙය පොරොවෙන්වත් කපාගන්නට බැරි තත්ත්වයකි. ඒ සඳහා අදාළ බලධාරීන්ගේ දෑස් කල්තියා විවර වීම රටේ වාසනාවකි. ජනතාවගේ වාසනාවකි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා