සතර අපාය

සතර අපාය

3 වැනි කොටස

බුදුන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල බුදු දහම මෙලොව හා පරලොව යන දෙලොවම වැඩ පිණිස හේතුවේ. මහරහතුන් වැඩි මඟ ඔස්සේ යමින් උන්වහන්සේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්මය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වෑයමක නිරතව සිටියි. බෞද්ධයන්ගේ පරම සැපය වන නිර්වාණ අවබෝධයට ඉවහල් වන මෙම ලිපි මාලාව සෑම සඳුදාවකම පළවේ.

තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, නිරය යනු සතර අපායන් ය. සතර අපායයන‍්ගෙන් ඇසට ගෝචර වන්නේ තිරිසන් ලෝකය පමණි. ඇසට ගෝචර වන තිරිසන් ලෝකයේ උපත ලබන්නන්ට වඩා බොහෝ දුක් ප්‍රමාණයක් ඇසට ගෝචර නොවන, ප්‍රේත ලෝකය හා නිරයෙහි උපත ලබන සත්වයෝ විඳිති.

ප්‍රේත ලෝකයෙහි ඕපපාතිකව උපත ලැබූ ප්‍රේතයකු සිටී. එහි උපත ලැබූ දා පටන් ප්‍රේත ලෝකයෙන් කෙදිනක හෝ චුතවීම දක්වාම එම ප්‍රේතයාගේ ඇස් ගිනි ගනී. ඔ‍බේ ඇස් ගිනි ගන්නවා නම්, ජලය ඉස එම ගිනිදැල් නිවාගන්නට ඔබට හැකිය. එහෙත්, ප්‍රේතයාට එය කිනම් අයුරකින් කළ යුතු දැයි වැටහීමක් නොමැත.

අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කළ නිසා එහි විපාකයක් ලෙස මෙලෙස ඔහුගේ ඇස් ගිනි ගෙන තිබේ.

ප්‍රේත ලෝකයෙහි උපත ලැබූ තවත් එක් ප්‍රේතයකුගේ දෙඇස්වලින් ආලෝකයක් විහිදේ. ඔහු ප්‍රේත ලෝකයේ උපත ලැබූවේ “උපාදාන පච්චයා භවෝ” යන ධර්මතාවය නිසාවෙනි. උපාදානය සකස් වූයේ “තෘෂ්ණා පච්චයා උපාදානං” එනම් කුමක් කෙරෙහිද තෘෂ්ණාව සකස් වූයේ, එය හේතු කොටගෙන ප්‍රේත ලෝකයෙහි උපත ලැබූවේ ය. ඔහුට මරණාසන්න මොහොතෙහි කිසියම් උපාදානයක් සකස් වූ නිසා ප්‍රේත ලෝකයෙහි උපත ලැබුවේය. එහෙත් ප්‍රේත ලෝකයෙහි උපත ලැබූවත් පෙර සිදුකළ කුසල් හේතුකොටගෙන දෙඇසින් ‍ආලෝක දහරා නිකුත් වන්නට විය.

තිරිසන් ‍ලෝකයට වඩා දුක් විඳින සත්ව ලෝකයන්හි උපත ලැබූවත් තමා පෙර කරන ලද කුසල් අකුසල් හේතුකොටගෙන කුමන ලෝකයක උපත ලැබූවත් එහි ඵල විපාක විඳින්නට සිදු වේ.

ප්‍රේත ලෝකයෙහි උපත ලබන්නන් තුළ කිසිදු අයුරකින් මෛත්‍රිය සකස් නොවේ. ඔවුන් විඳින්නා වූ දුක, වේදනාව හේතුකොටගෙන ඔවුන් තුළ ද්වේශය, ව්‍යාදයම සකස් වේ. එය කරණ කොටගෙනම ඔවුන් නැවත නැවතත් එවැනි දුක් සහිත ලෝකවල උපත ලබති.

මේ ලෝකයන්හි උපත ලබන සත්වයින් කෙ‍තරම් දුක් විඳිනවා ද? ඇසට ගෝචර වන තිරිසන් ලෝකයෙහි උපත ලබන්නන්ට සාපේක්ෂව ප්‍රේත ලෝකය, නිරයෙහි උපත ලබන සත්වයින් බොහෝ දුක් විඳින බව ඔබට වැටහෙනු ඇත.

මේ ලෝකයන්හි උපත ලබන සත්වයින්ට කල්ප ගණනකට යහපත් ආත්මයක් නොලැබේ. ඔබත්, මමත් පෙර ලෝකවල පෙර කලෙක උපත ලබන්නට ඇත. මේ සා විශාල දුක් කන්දරාවක් උසුලන්නට ඇත. එහෙත්, මේ ප්‍රේත ලෝකයන්ගෙන් මි‍දෙන්නට ඔබත්, මමත් දක්ෂ වී තිබේ.

ඉදිරියෙහි කෝටි ප්‍රකෝටි ගණනක මිථ්‍යා දෘෂ්ටික ලෝකයන් බිහිවීමට තිබේ. එහි උපත ලබන්නන් කර්මය, කර්ම ඵලය හඳුනන්නේ නැත. ශීලයෙහි, දානයෙහි ආනිශංස තිබෙන බව හඳුනන්නේ නැත. මවුපියන්ගේ ගුණ හඳුනන්නේ නැත. මෙවැනි කෝටි ප්‍ර‍කෝටි ගණනක් වූ මිථ්‍යා දෘෂ්ටික ලෝකයක් අප ඉදිරියෙහි තිබේ. එමෙන්ම, එවැනිම කාල වකවානු පසුකර විත් “සම්මා දෘෂ්ටියට” පත් වන්නට අප දක්ෂ වී තිබේ. මිථ්‍යා දෘෂ්ටික ලෝකයන්හි උපදින්නන්ට කුසල්, අකුසල් පිළිබඳ තැකීමක් නොමැති නිසා ඔවුන් නිරතුරුවම අකුශලයටම ගමන් කරයි.

“සම්මා දෘෂ්ටික” භාවයට පත් වන්නට හැකි වන්නන් සතර අපායෙන් මිදේ. මිථ්‍යා දෘෂ්ටික භාවයෙන් මිදේ. පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් හිමිවේ.

ඇස් නො පෙනෙන, කන් නො ඇසෙන, අතපය වාරු නැති අංගවිකල මිනිසුන් කොතරම් මේ ලොවෙහි සිටිනවා ද? මේ සා ඉන්ද්‍රිය දුබලතාවයන්ගෙන් පිරුණු ලොවක් තුළ ඔබ පරිපූර්ණ මිනිස් ජීවිතයක් ලබා තිබේ. එසේ නම් ඒ ලැබූ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් දක්වා ගෙනයාමට ඔබ දක්ෂ විය යුතු ය. එවැනි මරණයක් ලැබුවහොත් ඔබ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයෙන් ප්‍රයෝජන ලැබූවකු බවට පත් වේ.

ශ්‍රේෂ්ඨ මරණ පහක් පිළිබඳ බුදු දහමේ සඳහන් වේ. එයින් ශ්‍රේෂ්ඨතම මරණය වන‍්නේ මහරහතන් වහන්සේගේ මරණයයි. එය බුදු දහමේ හඳුන්වනු ලබන්නේ පිරිනිවීම යනුවෙනි. මෙහිදී සංස්කාරයන් නිරෝධය වන නිසා තමා තුළින් විඤ්ඤාණය ගිලිහී යයි. එය උදාහරණ මඟින් මෙසේ පැහැදිලි කළ හැකි ය. දර තිබෙන තාක් ගිනිගොඩ ඇවිළේ. දර අහවර වීමෙන් පසු ගිනිගොඩ තුළින් ම ගින්දර නිවී යයි. එලෙස ම සංස්කාරයන් නිරෝධය කළ බැවින් විඤ්ඤාණය තමා තුළින් නැතිවී යන බව පැහැදිලි කළ හැකි ය. එලෙස නැවත උපතක් නැති රහතන් වහන්සේ‍ගේ පිරිනිවීම ලෝක ධාතුව තුළ තිබෙන ශ්‍රේෂ්ඨතම පළමුවන මරණය බව බුදු දහමෙහි සඳහන් වේ. මේ මරණය තිබෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණි.

දෙවැනි ශ්‍රේෂ්ඨ මරණය වන්නේ අනාගාමී පින්වතාගේ මරණය යි. අනාගාමී පින්වතා තුළ කාම, රාග, පටිඝ, නැත. මෝහය පමණක් අනුශය වශයෙන් තිබේ. මෝහය අනුශය වශයෙන් තිබෙන බැවින් ඔහු නැවතත් එක් වතාවක් පමණක් මෙලොව උපත ලබන බව බුදු දහමෙහි සඳහන් වේ. ඔහුට දෙවැනි අත්භවයක් නැත. එක් ආත්ම භවයක පමණක් උපත ලබන අනාගාමී ‘පින්වතාගේ’ මරණය මෙලොවෙහි ඇති දෙවැනි ශ්‍රේෂ්ඨ මරණය වේ. මේ මරණය ද ඇත්තේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණකි.

තුන්වැනි ශ්‍රේෂ්ඨ මරණය වන්නේ සකෘදාගාමී පින්වතාගේ මරණය යි. ඔහු තුළ කාම, රාග, පටිඝ අනුශය වශයෙන් තිබේ. ඒ නිසා ඔහු උපරිම ආත්ම භාව දෙකක් භවයේ සැරිසරයි. තුන්වන ආත්ම භාවයක් ඔහුට නැත. සම්බුද්ධ ශාසනයේ පමණක් ‍තිබෙන සකෘදාගාමී පින්වතාගේ මරණය මෙලොව තිබෙන ශ්‍රේෂ්ඨ තුන්වැනි මරණය ලෙස සඳහන් වේ.

ලොවෙහි තිබෙන හතරවැනි ශ්‍රේෂ්ඨ මරණය වන්නේ අපායෙන් මිදුණ තැනැත්තාගේ මරණය යි. එය මෙසේ පැහැදිලි කළ හැකියි. සෝවාන් ඵලයට පත්වුණ පුද්ගලයා තුළ කාම, රාග, පටිඝ තිබේ. සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලක්ඛත, පරාමාසයන් ක්ෂය වේ. කාම, රාග, පටිඝ තිබෙන නිසාම ඔහු උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරන බව බුදු දහමෙහි සඳහන් වේ. සම්මා සම්බුද්ධ ශාසනයේ පමණක් තිබෙන සෝවාන් ඵලයට පත්වුණ පුද්ගලයාගේ මරණය මෙලොව ඇති හතරවන ශ්‍රේෂ්ඨ මරණය බව බුදු දහමෙහි සඳහන් වේ.

මෙලොවෙහි පවතින පස්වන ශ්‍රේෂ්ඨ මරණය වන්නේ ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී යන පුද්ගලයන් දෙදෙනාගේ මරණයයි. මෙම පුද්ගලයන් දෙදෙනා නිවන් මාර්ගයට අවතීර්ණ වී නොමැත. මොවුන් සිටින්නේ සෝවාන් මාර්ගය තුළ ය. යමෙකු සෝවාන් ඵලයට පත් වූ බව බුදු රජාණන් වහන්සේ විසින් හඳුන්වන්නේ එම පුද්ගලයා තුළ ඉන්ද්‍රීය ධර්මයන් සමව වැඩෙන අවස්ථාවයි. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩෙන අවස්ථාව සෝවාන් ඵලයට පත්වූ අවස්ථාව ලෙස තවදුරටත් පැහැදිලි කළ හැකිය. මෙළොව පවතින පස්වැනි ශ්‍රේෂ්ඨ මරණය හිමි ශ්‍රද්ධානුසාරී පුද්ගලයා තුළ ශ්‍රද්ධාව වැඩී තිබුණත් ප්‍රඥාව වැඩී නොමැත.

අප ශ්‍රද්ධාව වඩවාගත යුත්තේ ප්‍රඥාව මෝදු කරමිනි. මේ කාරණා දෙකට අතරමැදිව සතිය, සිහිය තබා තිබෙන්නේ සිහියෙන් යුතුව මෙම කාරණා දෙක සමබර කර ගැනීමට ය. නමුත් මේ ශ්‍රද්ධානුසාරී පුද්ගලයා තුළ සිහිය සකස් වී නොමැත. ඒ නිසාම ප්‍රඥාවේ විවිධ අඩුපාඩුකම් තිබෙන නිසා එම පුද්ගලයා ශ්‍රද්ධානුසාරී ස්ථානයේ සිටී.

ධම්මානුසාරී යන පුද්ගලයා මෙහි දෙවැන්නා ය. මේ පුද්ගලයා පිළිබඳ මෙසේ සඳහන් කළ හැකිය. මේ පුද්ගලයාට ධර්මය පිළිබඳ මනා දැනුමක් තිබුණත් ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යන දෙකොටසෙහි දුර්වලතාවන් තිබේ. මොවුන් දෙදෙනාගේ මරණය ලෝක ධාතුව තුළ තිබෙන ශ්‍රේෂ්ඨතම පස්වැනි මරණය ලෙස හැඳින්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා