මුද්‍රණය සඳහා

 
උතුරු වියට්නාමයේ සාහිත්‍ය පන්සල

උතුරු වියට්නාමයේ සාහිත්‍ය පන්සල

වියට්නාමය යනු බෞද්ධ රාජ්‍යයකි. එහි වැඩිවශයෙන් ම පවතින්නේ මහායාන ක්‍රමයේ බෞද්ධ සංකල්පවලින් යුත් සිද්ධස්ථානයන් ය. උතුරු වියට්නාමයේ ඇති බෞද්ධ පන්සල් මෙන්ම, අතීතයේ තම රටේ ජීවත් වූ රජවරුන්, යුද විරුවන් ආදීන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ඔවුන්ට වැඳුම් පිදුම් කරන සිද්ධස්ථාන බොහොමයක් මේ අතර ඇත. උතුරු වියට්නාමයේ ඇති සියලුම සිද්ධස්ථාන, පන්සල් සහ පැගෝඩා යන නම්වලින් හඳුන්වයි.

වියට්නාමය උතුර හා දකුණ වශයෙන් හඳුන්වන අතර මුළු වියට්නාමයම පාලනය වන ‘හැනෝයි’ අගනගරය පිහිටා ඇත්තේ උතුරු වියට්නාමයේ ය. හැනෝයි අග නගරයේ “බටහිර විල” නමින් විශාල ජලාශයක් ඇත. මේ ජලාශයේ ඉවුරේ පිහිටා තිබෙන ට්‍රෑන් කුවෝක් පැගෝඩාව වියට්නාම් ජාතිකයන්ගේ මෙන්ම මෙහි පැමිණෙන විදේශික සංචාරකයන්ගේත් භක්ති ආදරයට පත්වූ විචිත්‍රවත් සිද්ධස්ථානයක්.

මෙහි ඉතිහාසය 6 වැනි ශතවර්ශය දක්වා දිව යයි. එකල වියට්නාමයේ සිටි අධිරාජ්‍යයා වූ “ලූ නාම් ඩී” විසින් මේ සිද්ධස්ථානය ආරම්භ කර ඇතැයි සැලැකේ. ඊට වර්ෂ 1400 කට පසු “කනයි ක්යුඹක්” විසින් රතු ගං ඉවුරෙන් ගෙනා ගල් උප‍යෝගී කරගෙන මේ සිද්ධස්ථානය වැඩිදියුණු කර ඇත. වර්ෂ 1815දී මේ ස්ථානයේ විවෘත විශාල ශාලාවක් මෙන්ම ඇතුළුවීමේ විශාල දොරටු ද සාදා ඇත.

මෙහි ඇති පැගෝඩාව (චෛත්‍ය) තට්ටු 11කින් යුක්තය. එක් තට්ටුවක සිට අනෙක් තට්ටුවට උස මීටර් 5කි. එය ඉතා විචිත්‍රවත් අයුරින් නිමවා ඇත. ගුරු පැහැති පැගෝඩාවේ කවුළු සාදා සෑම තට්ටුවකම සතර අතටම, සතර අත බලා සිටින සේ එම කවුළු තුළ සුදු පැහැති බුදු පිළිම තැන්පත් කර ඇත. වන්දනාකරුවන් ඒවාට නමස්කාර කරන්නේ ඉතාමත් සැදැහැ සිතිනි.

මේ සිද්ධස්ථානයට යන මාර්ගය වැටී ඇත්තේ බටහිර විලේ ඉවුර දිගේ ය. ඒ මාවත දිගටම චීන ක්‍රමයේ බකට් පහන් එල්ලා ඇත. වැවේ සිසිල් සුළඟට ලෙළදෙන්නේ බෞද්ධ ධජය.

මාර්ගයේ තැන තැන වෙළෙන්දියෝ කෑම වර්ග මෙන්ම සිද්ධස්ථානයේ දී පූජා කිරීමට ගෙන යාමට හඳුන්කූරු විකුණති. මේ අතර බාර හාර වීම සඳහා නිදහස් කිරීමට ඉබි පැටව් විකුණන වෙළෙන්දියෝ කීප දෙනෙක් ද සිටී. වැව අසබඩ මාවතේ මීටර් දෙසීයක් පමණ ගිය විට සිද්ධස්ථානයට ළඟා විය හැකිය.

විහාරගෙය තුළ විවිධාකාර පිළිම තබා ඇත. ඒවා අතර බුදුරජාණන් වහන්සේගේ පිළිම, හාමුදුරුවරුන්ගේ පිළිම මෙන්ම අනුකම්පාවේ දෙවඟනගේ පිළිමද තබා ඇත. විහාර ගෙයින් එළිමහන් කොටසේ චීන ක්‍රමයට සකසන ලද පොකුණු, ගස්, බොන්සායි පැළ ආදිය දැක ගැනීමට හැකිය. විහාරස්ථානය අසල ඇති බටහිර විලේ කෘත්‍රිමව සාදා ඇති පාවෙන විශාල කහ පැහැති නෙළුම් මල් තබා ඇත්තේ විහාරයට ගෞරවාදරය පෑමට බව පෙනේ. බටහිර විලේ සිසිල් සුළඟ අතරින් මේ සිද්ධස්ථානය බැලීමට යන සංචාරකයන්ගෙන් මෙන් ම වන්දනාමාන පිණිස යන බෞද්ධ භක්තිකයන්ගෙන් ද මුළු දවස පුරාම මෙය පිරී පවතී.

හැනෝයි නගරයේ ඇති තවත් එක් විලකි “හොඅන් කීම් විල” මේ විල තුළ කුඩා දූපතක් ඇත. මේ කුඩා දූපත තුළ 14 වැනි ශතවර්ශයේදී පන්සලක් ඉදිකරන ලදී. මේ පන්සල හඳුන්වන්නේ “න්ගොක් සන් ටෙම්පල්” නමිනි. වියට්නාමයේ වැසියෝ අතීතයේ ජීවත් වූ යුද වීරයින් දේවත්වයෙන් සලකයි. මේ පන්සල සාදා ඇත්තේ අතීතයේ සිටි යුද වීරයකු වූ “ට්‍රැන් හුන්ස් ඩඕ” වෙනුවෙනි. මොහු ලක්ෂ තුනක සේනාවක් සමඟ මොන්ගෝලියා නායක ‘කුබ්ලාන් කාන්’ සමඟ සටනට ගිය යුද සේනාධිපතියෙකි.

14 වැනි සියවසේදී සාදන ලද මෙයට පසු කාලවලදී තවත් එක් එක් අංග එකතු කරන ලද අතර 18 වැනි සියවසේදී දැන් තිබෙන ආකාරයට සාදන ලදී. පන්සලට ඇතුළු වීමට රතුපාටින් යුත් මනරම් ලී පාලමක් තරණය කළ යුතුය. මෙම රතු පාලම Huc (Rising sun) Bridge යනුවෙන් හඳුන්වන අතර පාලම නිසා පන්සල සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්වී ඇත.

එසේම මෙය උතුරු වියට්නාමයේ අනන්‍යතාවයක් බවටද පත්වී ඇත. මෙම පාලම මත සිට සිහිවටන ඡායාරූප ගැනීමට සංචාරකයෝ යුහුසුලු වෙති. පාලමෙන් පසු පන්සලට ඇතුළුවන්නේ විශාල චීන ක්‍රමයට සාදන ලද තොරණක් යටිති. පන්සල් භූමියේ බොන්සායි ක්‍රමයට සාදන ලද පලතුරු ගස් පෝච්චිවල සිටුවා ඇත. කුඩා නාරං සහ කාමරන්කා ගස් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

පන්සලේ ප්‍රධාන ගොඩනැගිල්ල තුළ ‘ට්‍රැන් හුන්ස් ඩඕ’ වීරයාගේ ප්‍රතිමාව තබා ඇත. එය වට කොට ඇත්තේ විසිතුරු බඩුවලින් මෙන්ම විශාල මල් පෝච්චිවලිනි. පිළිමයට පූජා භාණ්ඩ වශයෙන් පලතුරු පිරි භාජන විශාල ප්‍රමාණයක් තබා ඇත.

ඉබ්බා වියට්නාම් ජාතිකයන්ගේ ජය සංකේතයක් වශයෙන් ඔවුන් සලකයි. මේ පන්සලේ මියගිය විශාල ඉබ්බෙකුගේ සිරුරක් වීදුරු පෙට්ටියක බහා ඇත. කි. ග්‍රෑම් 250ක් බර ඇති ඉබ්බා වසර 200ක් ජීවත් වූ බවට එහි ඉදිරියෙන් සටහනක් තබා ඇත. ඉබි රූපය අසලින්ම තවත් කුඩා වීදුරු පෙට්ටියක තබා ඇත්තේ වියට්නාම ජාතිකයින් ජය සංකේතයක් බවට සලකන ‍ෆීනික්ස් පක්ෂියාගේ යැයි සැලකෙන මමියකි. මේ දෙකටම වියට්නාම් ජාතිකයෝ භක්ත්‍යාදරයෙන් වැඳුම් පිදුම් කරති.

පන්සලට යන සංචාරකයන්ට කුඩා දූපත වටා ඇවිද යනවිට ‘කීම්’ විලේ මනරම් දර්ශන ද දැකබලා ගැනීමට ද හැකිය.

සාහිත්‍යය වෙනුවෙන් සාදන ලද පන්සලක්ද හැනෝයි නගරයට සංචාරයට යන අයට බලා ගැනීමට හැකි වීම මහත් භාග්‍යයකි. මෙය හඳුන්වන්නේ Literature Temple යනුවෙනි. පන්සල වර්ග මීටර් 54000ක භූමි භාගයක පිහිටා ඇත. මනරම් දර්ශනීය ස්ථානයකි. “කන්ෆියුසියස්” යනු චීන දාර්ශනිකයෙකි. මේ පන්සල සම්පූර්ණයෙන්ම ඔහු වෙනුවෙන් පුද කර තිබේ.

වියට්නාමයේ පළමුවැනි විශ්වවිද්‍යාලය වර්ෂ 1070දී පිහිටුවා ඇත්තේ මේ පන්සල පිහිටි භූමි භාගයේදීය. “ලූන්හන් ටොන්ස්” යනු වියට්නාමයේ සිටි රජෙකි. මේ විශ්වවිද්‍යාලය මෙම ස්ථානත් පිහිටවූයේ ඔහු විසිනි. මේ විශ්වවිද්‍යාලයේ එකල පැවතුණේ තරගකාරී විභාග ක්‍රමයකි. පසු කාලයකදී ඇති වූ වෙනත් වෙනත් ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල වැසී ගිය අතර භූමිය, පන්සලක් බවට පත් වී අවසන කන්ෆියුසියස් දාර්ශනිකයාට වෙන් වූ පන්සලක් බවට පරිවර්තනය විය.

පන්සලට ඇතුළු වීමට ඇත්තේ විශාල තොරණක් යටිනි. පන්සල් භූමිය ඇති මල් ගස්වලින් අලංකෘතය. පන්සලේ ප්‍රධාන විහාරගෙට යන මාවත දිගේ ඇත්තේ චීන බකට් පහන් සහ වර්ණවත් ධජ පතාකයන්ය. භූමියේ තැනින් තැන එක්තරා ආකාරයකට ඵලක මත කොළපාට මල් පෝච්චි හා රතුපාට මල් පෝච්චි තබා ඇත්තේ චීන අකුරුවලින් යුත් එක් එක් වදන් හැදී ඇති ආකාරයටය. මේවා සංචාරකයන්ගේ සිත් ඇදගනී. විශාල ගේට්ටු හතරකින් ඇතුළු වී ප්‍රධාන පන්සලට පිවිසිය හැකිය. පන්සලේ වම් පස බරාඳය වෙන් වී ඇත්තේ ගල්වලින් නෙළන ලද ඵලක කීපයක් සඳහා ය. ඒවායේ වියට්නාම් අකුරු සහ චීන අකුරුවලින් විභාග පාඩම් මාලාවක් ‍කොටා ඇත. සෑම ඵලකයක්ම ඉබ්බන්ගේ රූපවල පිට උඩ සිටින ආකාරයට තබා ඇත. මෙම පන්සලේද වීදුරු පෙට්ටිය තබා ඇති මියගිය ඉබ්බෙකුගේ රූපය රත්තරන් පාටින් වර්ණවත් කර ඇත.

පන්සල තුළ කන්ෆියුසියස්ගේ පිළිමයක් තබා ඇත. ඒ අවටින් ඔහුගේ අනුගාමිකයන්ගේ රූපද තබා ඇත. ඒවා වටකොට කෘත්‍රීම මෙන්ම සැබෑ මල් ද තබා ඇත්තේ උස බඳුන්වල ය.

පන්සලේ දකුණුපස බරාඳය වෙන්වී ඇත්තේ වියට්නාමයට ආවේනික විසිතුරු බඩු විකුණන කඩ කීපයක් සඳහා ය. විදේශික සංචාරකයෝ මෙයින් යම් යම් සිහිවටන මිලදී ගනී. සාහිත්‍යය වෙනුවෙන් වෙන්කර ඇති මේ පන්සල ලොව ඒ වෙනුවෙන් ඇති එකම පන්සල විය හැකි බවට ද අනුමාන කළ හැකිය.

 

 

සාහිත්‍ය පන්සලේ මාවතක්

 

සාහිත්‍ය පන්සලට ඇතුළුවන දොරටුව

 

සාහිත්‍ය පන්සලේ ප්‍රධාන විහාරය

 

රතු පාලම

 

ට්‍රැන් හුන්ස් ඩ්‍රඕ යුද වීරයා

 

කන්ෆියුසියස්

 

ජාතික සංකේතයක්

 

ට්‍රෑන්කුවෝස් පැගෝඩාව

 

වෙළෙන්දියෝ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]