ගොවි රක්ෂණ ක්‍රමයට බැඳෙන ගොවීන් ඉතා සුරක්ෂිතයි

ගොවි රක්ෂණ ක්‍රමයට බැඳෙන ගොවීන් ඉතා සුරක්ෂිතයි

ආරියතිලක දහනායක

කෘෂිරක්ෂණ මණ්ඩලයේ සභාපති

රටේ ජීවනාලිය බඳු වූ ගොවියාගේ සැදෑ සමය සුරක්ෂිත කරන්නට රජය විසින් හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ ක්‍රමයක් වන්නේ ගොවි විශ්‍රාම වැටුපයි. මේ, පසුගිය කාලවකවානුව පුරා රටේ ආ‍න්දෝලනයට තුඩු දුන් ගොවි විශ්‍රාම වැටුපේ වර්තමාන තත්ත්වය පිළිබඳ කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති ආරියතිලක දහනායක සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

* ගොවි විශ්‍රාම වැටුප යනු කුමක්ද ?

ගොවි විශ්‍රාම වැටුප කියන්නෙ කෘෂි කාර්මික ජනතාවගේ සැඳෑ සමය සුරක්ෂිත කරන්න 1987 අංක 17 දරන ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රමයක් ලෙස රජය විසින් හඳුන්වා දුන්න යෝජනා ක්‍රමයක්. කෘෂිකාර්මිකයා විසින් මෙහි සාමාජිකත්වය ලබා ගන්න ඕනා. පසුව මසක් පාසා එයට දායක මුදලක් ගෙවිය යුතුයි. කෘෂිකාර්මිකයන් වයස අවුරුදු 60 ඉක්මවූ පසු ඔහුට හෝ ඇයට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයෙහි ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. අදාළ වයස සම්පූර්ණ කරන විශ්‍රාමිකයාට අදාළ තැපැල් ස්ථානයෙන් මේ විශ්‍රාම වැටුප ගන්නත් පුළුවන්.

* කාලයක් ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම නතර කර තිබුණා. එයට හේතුව කුමක් ද ?

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම නතර වෙන්න විවිධ හේතු බලපෑවා. සකස් කළ යෝජනා ක්‍රමයක දායක මුදල් එකතු කිරීම වෙනස් නොකොට ප්‍රතිලාභ පමණක් පස් ගුණයකින් වැඩි කළ නිසා එම අරමුදල කඩා වැටුණා. මෙම යෝජනා ක්‍රමය ආරම්භ කරන අවස්ථාවේදී කළ යෝජනා හරි හැටි ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. 1987 වර්ෂයේදී මෙම යෝජනාවලිය ගාමිණී ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙයට ආරම්භක ප්‍රාග් ධනය ලෙස රුපියල් මිලියන 750 ක මුදලක් බැර කිරීමට යෝජනා කළා. නමුත් ඒ යෝජනාව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ හේතුවෙන් මෙම අරමුදල ශුන්‍ය වුණා. නිසි ආකාරව මෙය පවත්වාගෙන යාමට නොහැකි වුණා.

* වර්තමාන රජය ගොවි විශ්‍රාම වැටුප ගෙවීමට දක්වන ප්‍රමුඛතාව මොන වගේ ද?

ජනාධිපතිතුමා බලයට පත්වී‍මෙන් පසුව එතුමාගේ යෝජනාවක් වුණේ මෙම අරමුදල ක්‍රමවත්ව පවත්වාගෙන යායුතු බවයි. අසාධාරණයක් නොවන ලෙස මෙම අරමුදල කෘෂි කාර්මිකයන්ට ලබා ගන්නට ක්‍රමයක් සකස් කරන ලෙසත් ගොවි විශ්‍රාම වැටුප නියම ආකාරයට ගෙවන ලෙස නිලධාරීන්ට උපදෙස් ලැබුණා. ජනාධිපතිතුමා‍ගේ උපදෙස් අනුව මෙය අඛණ්ඩව පවත්වාගෙන යන්න රුපියල් මිලියන 700 ක මුදලක් වෙන් කළා.

ඒ අනුව කෘෂි රක්ෂණ මණ්ඩලය අඛණ්ඩව මාස 16 ක් ගොවි විශ්‍රාම වැටුප් ලබා දුන්නා. නැවතත් ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබෙනවා වර්තමානයට ගැළපෙන ආදායමක් කෘෂිකාර්මිකයාට ලබා ගන්නට ක්‍රමයක් සකස් කරන ‍ලෙස. ඒ අනුව 2014 අයවැය යෝජනාවලින් රුපියල් මිලියන 1000 ක මුදලක ආරම්භක ප්‍රාග් ධනයක් සහිතව සෑම වසරකම අය වැයෙන් රුපියල් මිලියන 1000 ක ප්‍රමාණයක් මේ අරමුදලට බැරවන පරිදි නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා‍.

මෙම යෝජනාවලියේ ඇති වැදගත්කම වන්නේ විශ්‍රාමිකයාගේ වයස වැඩිවනවාත් සමඟම ලබන ආදායමත් වැඩි වීමයි. ඒ අනුව වයස අවුරුදු 60-63 අතර වයස් කාණ්ඩවල විශ්‍රාමිකයන්ට රුපියල් 1000 ක මුදලක් ද, 64-70 අතර විශ්‍රාමිකයන්ට 1250 ක මුදලක් ද, 70-77 පුද්ගලයන්ට රුපියල් 2000 ක මුදලක් ද, 78 වඩා වැඩි අයට 5000ක මුදලක් ද ගොවි විශ්‍රාම වැටුප් වශයෙන් මේ වන විට ගෙවීම් සිදු කරනවා.

විවිධ දේශපාලන නායකයින් ප්‍රචාරයක් ගෙන ගියා ‍ගොවි විශ්‍රාම වැටුප් ගෙවන අවම වයස අවුරුදු 63 ක් කියලා. ඒත් එය අසත්‍ය ප්‍රකාශයක්. පෙර පැවැති කිසිදු රජයකට වඩා ගොවියන්ගේ හෙට දවස වෙනුවෙන් වත්මන් රජය ඇපකැපවී සේවය කරන බව පැහැදිලිවම කිව හැකියි

* මෙම රක්ෂණයට බැඳෙන ගොවීන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්

ගොවි රක්ෂණ ක්‍රමයට බැඳෙන ගොවීන් ඉතා සුරක්ෂිතයි. අපේ අරමුණ වන්නේ ගොවි ජනතාව රජයෙන් යැපෙන පුද්ගලයන් බවට පත් කරන්නට නොවේ. ගොවියා තව දුරටත් ශක්තිමත් කිරීම අපේ අරමුණයි. ඒ අයුරින්ම නවකයන්ටත් මෙම ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට එකතුවන්නට පුළුවන්. ඊට අදාළ උපදෙස් ගොවිජන සේවා කාර්යාලවලින් මෙන්ම ගොවි රක්ෂණ මණ්ඩලය සතු ඕනෑම කාර්යාලයකින් ලබා ගන්නට දැන් අවස්ථාව තිබෙනවා. කෘෂි කාර්මිකයන්ට ස්වභාවික ආපදාවකින් වගා බිමට හානියක් සිදු වුවහොත් ඊට අදාළව රක්ෂණ වන්දි ලැබීමට පවා මෙම රක්ෂණ ක්‍රමයේ නියැ­‍ෙළන්නන් හිමිකම් කියන බව සතුටින් කියන්නට පුළුවන්. අතීතයේ මෙන් ස්වභාවික ආපදාවලින් ගොවි බිම් හානිවන ගොවියන් ‍සියදිවි හානි කරගැනීමේ අවදානම ද මෙයින් නැතිවන බව කිව හැකියි‍.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා