හෑෂ් අපේ සිංදුව සහ සමාජ මාධ්‍ය දිනය

හෑෂ් අපේ සිංදුව සහ සමාජ මාධ්‍ය දිනය

 

හෑෂ් අපේ සිංදුව

මොකක්ද මේ

චින්න චින ආසයි

ට්වීට් කරන්න ආසයි

ශෙයා කරන්න ආසයි

රීට්වීට් කරන්න ආසයි

තිත් දෙකයි ඉරි කෑල්ලයි පී

එයාකාර ගීතයක් ඇතැයි සිතිය නොහැකි තරමට විප්‍රකාර හෙයින් යූ ටියුබ්ගත වී ඒ අසා බලන්නට පළමුව ආරාධනා කරමි. සමාජ මාධ්‍ය භාවිතයේ අවර පක්ෂය ගැනම බොහෝ දේ අසන්නට ලැබෙන කාලයක එහි ගුණාත්මක පක්ෂය ගැන යමක් කිව යුතුය. ට්ව්ටර් වේවා ෆේස්බුක් වේවා ඉන්ස්ටග්‍රෑම් වේවා, ගූගල් ප්ලස් වේවා මේ සියල්ල භාවිතයෙන් සයිබර් අවකාශයට මුහු වෙන ධනාත්මක දේ බොහෝය.

පෙර කී හෑෂ් අපේ සිංදුව ට්විටර් අඩවිය ඔස්සේ ප්‍රජාදායක ගීතයක් ලෙස බිහි වූවකි. ජූනි 29 වැනිදා එක්සෙල් වර්ල්ඩ් හිදී උත්කර්ෂවත් සමරන්නට යෙදුණු සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ට්විටරයේ 180 දෙනෙකු ලියූ ගී පද 711ක් දවස් හතක් මුළුල්ලේ එකට පුරුද්දා සැකසූවකි. සැබැවින්ම එවන් සමාජ මාධ්‍ය දිනයකින් අපට ඇති ප්‍රතිලාභය කුමක්දැයි ප්‍රශ්න කළ හැකිය. සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය කෙරෙහි එතරම් විස්වාසයක් හෝ බැඳීමක් නොදක්වන මේ සයිබර්ගත පරම්පරාව අලුත් මාධ්‍යයන් කෙරෙහි ලොල්වූවෝය.

උප භාෂා අතරට සමාජ මාධ්‍ය අතර භාවිත වන වචන එකතු වීමේ ප්‍රවණතාව ඇති වූයේ මෑත වසර 05-10ක් කාලයක් ඇතුළතය. මිනි බ්ලොග් අඩවියක් වූ ට්ව්ටරයෙන් සමාජයට එකතු වූ හෑෂ්, ට්වීප්, රීට්වීට්, ෆලෝවර්ස් සහ ඇට් සලකුණු අතර පොදුවේ භාවිත වන සිනා මුහුණු වෙනුවෙන් කී බෝඩයෙන් ටයිප් කෙරෙන ‘තිත් දෙකයි ඉරි කෑල්ලයි පී’ වැනි වචන සමූහයක එකතුවක් වන හෑෂ් අපේ සිංදුව අතත්‍ය ලෝකයක සාමුහිකත්වයක් ගැන කියයි.

වචන 140ට ලඝු කළ ට්විටර් පණිවුඩයේ සීමාව ඉක්මවා මේ පරිශීලකයන් බොහෝ දේ සිදු කරයි.

මැෂබල් නමින් හඳුන්වන විශාලම පුවත්පත් අඩවිය 2010දී ඇරඹු මාධ්‍ය දිනය තවමත් සෑම ජුනි 30 වැනිදාවකම ලොව පුරා සමරනු ලැබේ. ලොව පුරා විසිරී සිටින ජනතාව එකිනෙකා සමඟ සම්බන්ධ කරන ගෝලීය ඉසව්වක් ලෙස සමාජ මාධ්‍ය දිනය හැඳින්විය හැකිය. එසේම ලොව සහභාගී විය යුතු හොඳම අන්තර්ජාතික සමාජ මාධ්‍ය දින සැමරුම් උත්සව 08 අතරට ශ්‍රී ලංකාවද පසුගියදා නම් කරන්නට යෙදුණි. මේ සැමරුම් උත්සවයේ විශ්වසනීයත්වය සහ එහිදී සාකච්ඡා වන මාතෘකාවල වැදගත්කම ආදිය මීට හේතු වී තිබේ. මේ වසරේ පැවැත්වුණ සමාජ මාධ්‍ය දින උළෙලේ තේමාව වන්නේ ‘ආරක්ෂකාරී සහ වගකීම්සහගත සමාජ මාධ්‍ය භාවිතය’ යන්නයි. එටිසලාට් සහ ඔගිල්වී සංවිධානය කළ සමාජ මාධ්‍ය දිනය මෙවර කොළඹදී පැවැත්වූයේ තෙවැනි වතාවටය.

පොදුවේ සමාජ මාධ්‍යවල දක්නට නොලැබෙතැයි සැක සංකා පහළ කරන ආරක්ෂාකාරීභාවය සහ වගකීම් සහගතබව කෙරෙහි මෙවර සමාජ මාධ්‍ය දිනයේදී ගැඹුරින් කතාබහට ලක් විය. කලකට පෙර දක්නට ලැබුණු අනාරක්ෂාකාරීභාවය සහ වගකීම්සහගතභාවය ප්‍රමාණාත්මකව අඩු වී ඇතැයි පොදුවේ සිතිය හැකිය. එමෙන්ම සාම්ප්‍රදායික මාධ්‍ය අතර සමාජ මාධ්‍යයේ භාවිතාව කෙතරම් ධනාත්මකදැයි මෙහිදී ප්‍රශ්න කෙරුණි. කිසිදු පාර්ශවයකට වගකිව යුතු නැතැයි සිතන මේ අලුත් මාධ්‍ය අවභාවිතයේ යෙදෙන අවස්ථාද බොහෝය.

මෙවර සමාජ මාධ්‍ය දිනයේදී කතාබහට ලක්වූ අනෙක් වැදගත් කාරණය වූයේ අන්තර්ජාලය ඔස්සේ කෙරෙන අපරාධ,‍ රැවටිලි සහ උපක්‍රමවලින් ආරක්ෂා වීමට කුමක් කළ යුතුද යන්නයි. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් සංසදයේ සහ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ නියෝජිතයන්ද මේ පිළිබඳ අදහස් දැක්වීය. ඊට අමතරව අපරාධ ගණයට වැටෙන දෑ සහ ආරක්ෂාකාරීව අන්තර්ජාලය භාවිත කිරීම කෙරෙහි යොමු වීමට යම් පෙලඹවීමක් ඉන් ඇති වී යැයි සුළු වශයෙන් සිතිය හැකිය. ව්‍යාජ සමාජ ජාලා ගිණුම්වල සිට බොහෝ ඈතට විහිදෙන වංචාකාරී දෑ අවම කර ගැනීමට අන්තර්ජාලයම යොදා ගත හැකි බව මතු කළ යුතු අනෙක් අදහසයි. එනම් අන්තර්ජාලයේ ධනාත්මක පක්ෂය තමාට හීලෑ කරගෙන එය තමන්ට අවැසි යහපත් ආකාරයට යොදා ගැනීමයි.

සමාජ ජාලා අඩවි භාවිත කරමින් සුළු පරිමාණ ව්‍යාපාරවල යෙදෙන්නන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වීය. ෆේස්බුක් අඩවිය යොදා ගනිමින් තම ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කරන්නියක්, ඉන්ස්ටග්‍රෑම් අඩවිය යොදාගෙන ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සුන්දරත්වය ප්‍රවර්ධනය කරන්නෙක් තම අත්දැකීම් බෙදා ගැනීමට නිහතමානී විය.

ෆේස්බුක් අඩවිය තුළ වඩාත් ප්‍රකට සිංදු කියන කුරුල්ලන් හෙවත් විස්ලින් බර්ඩ්ස් සමාජ ජාලා අඩවි තුළින්ම තමා උපයාගත් ප්‍රසිද්ධිය ගැන පැවසූ අතර සජීවීව ගී ගැයීම සමාජ මාධ්‍ය දිනය වඩාත් වර්ණවත් කළ අංගයක් විය.

මේ හුදෙක් සමාජගත වීමක්ද? රංචු ගැසීමක්ද කියා නුවණින් විමසීම ඊළඟට වැදගත්ය. මේ සමාජීය විලාසිතාවක් පමණද? සමාජ ජාලා අඩවි යනු හුදෙක් කාලය කා දැමීම පිණිසම භාවිත වන්නක්ද? මෙතුළින් දැනුම සහ තාක්ෂණික ඥානය එතෙර මෙතෙර යන්නේ නොවේද? තාක්ෂණික වශයෙන් ඉතාම පසුගාමී කාලයක් ගෙවා ඉතා ඉක්මනින් සයිබර්ගත ලෝකයක් වෙත ගමන් කිරීමේ නිරත වන ශ්‍රී ලංකාවට සමාජ ජාලා මඟින් ලබා ගත හැක්කේ කුමක්ද? ඒ ඉතා අලංකෘත සිහිනයක්ද?

ශ්‍රී ලංකාවේ ජනගහනය අතරින් දැනට අන්තර්ජාලය භාවිත කරන්නේ සියයට 20ක් පමණ සුළුතරයක් වන කාලපරිච්ඡේදයක ඉතාම කුඩා පිරිසක් ගැන පමණක් අපි කතා කරමින් සිටිනවා විය හැකිය. එහෙත් ඉතිරි සියයය 80 තාක්ෂණය හැරපියා ඉතාම හුදෙකලාව,ග්‍රාමීයව වෙසෙනවා යැයි විග්‍රහ කළ නොහැක. 2014 වන විට ලංකාවේ ජනගහනයෙන් මිලියන 2.4ක ජනතාවක් සක්‍රීයව ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන අතරම 40 000ට අධික පිරිසක් ට්විටර් මිනි බ්ලොග් අඩවිය භාවිත කරයි.

මේ සංඛ්‍යාලේඛණ එතරම් විසාල ඉලක්කමින් පෙනී නොසිටියත් සාම්ප්‍රදායික ජනමාධ්‍යයට බලපෑම් කරන නව මාධ්‍ය කණ්ඩායමක් ලෙස සමාජ මාධ්‍ය විසාල භූමිකාවක් ඉ‍ටු කරමින් සිටින බව පෙනෙයි. ඒ හේතුවෙන්ම මෙවර සමාජ මාධ්‍ය දිනයේදී විවිධ සමාජ මාධ්‍යයන්හි කැපී පෙනෙන දායකත්වයක් දැක්වූවන් අගය කිරීම සඳහා සම්මාන ලබා දුණි. ජනප්‍රියම ෆේස්බුක් සමාජ පි‍ටුව, ජනප්‍රියම ට්විටර් භාවිත කරන්නා, ජනප්‍රියම ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන්නා, ජනප්‍රියම බ්ලොග්කරුවා සහ සමාජයේ යහපත සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන්නා යන කාණ්ඩ 05ක් යටතේ සම්මාන ලබා දුණි. සෑම කාණ්ඩයකම සම්මාන සඳහා පරිශීලකයන් වෙතින් නාමයෝජනා කැඳවනු ලැබූ අතර විශේෂ තේරීම් කණ්ඩායමක් මඟින් එම නාමයෝජනා අතරින් අවසන් වටයට එක් කාණ්ඩයකට 05 දෙනෙකු ‍බැගින් තෝරා ගන්නා ලදී. සමාජ යහපත සඳහා සමාජ මාධ්‍ය භාවිතාව යන කාණ්ඩය හැරුණු විට සෙසු සම්මාන සඳහා ජයග්‍රාහකයන් ‍තෝරා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඔස්සේ පවත්වන්නට යෙදුණු ඡන්දයකිනි. එනම් ඒ විද්යුත් ඡන්දයකි.

සචින්ත පුලස්ති සංගීතවත් කර ගැයූ ‘හෑෂ් අපේ සිංදුව’ පද රචනාත්මක පක්ෂයෙන් විශිෂ්ට නොවුණත් එහි දක්නට තිබූ සමාජ මාධ්‍ය භාවිතාව ඒ දෙස වෙනත් මානයකින් බැලීමට අපව පොලඹවයි. ලෝකය තනි යායක් කිරීමට සමාජ ජාලා යොදා ගත හැකි බවට මින් ඉඟි කෙරෙයි. තව දුරටත් කොපිරයිට් නැති අකුරු ගෝනි ගණනින් සයිබරය පුරා සෑම තප්පරයකම විසිරෙමින් පවතී. ඒ මගේය; ඒ ඔබේය කියා වෙන් කර හඳුනාගත නොහැකි බොහෝ දේ සමාජ ජාලා මඟින් පතුරුවා හරිනු ඇත. බුද්ධි මංකොල්ලයෙන් යළිත් මහ පොළොවට අපව අල්ලා විසි කරන්නෙකු එවිට ඉක්මණින් පැමිණෙනු ඇත.

‘ඩේටා ඉවරායි’ කියමින් ‘හෑෂ් අපේ සිංදුව අවසන් කරන ගායකයා අපට නොකියා කියන්නේ දැන් මුදල් වෙනුවට දත්ත, එනම් මෙගා බයිට්, ගිගා බයිට් පමණක් වටිනා බවද?







Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා