උඹලකඩ

උඹලකඩ

උම්බලකඩ, උම්මලකඩ හා උඹලකඩ යන නම් තුන ම වැහැරේ. ඒවාට දෙමළ නම ‘මාසි’ය. ඉංගිරිසියෙන් කියන්නේ මෝල්ඩිෆිෂ් (Maldi Fish) කියාය. ‘මෝල්ඩි ෆිෂ්’ යන්න යෙදෙන්නට ඇත්තේ ‘මාලදිවයින් මාළු’ යන්න පදනම් කැරගෙනය. එහෙත් මාලදිවයින යන්නෙන් මෝල්ඩි කෑල්ල ගත්ත ද ‘ෆිෂ්’ (Fish) යන්න එතැනට ගැළපේද?

මාලදිවයිනේ සිංහල වදන් බොහෝය. නැත්නම් ඔවුන්ගේ බොහෝ වදන්වලට සිංහල වචන මූලාශ්‍ර වී ඇත. ‘උම්බලකඩ’ යන්නෙහි කඩ (කෑලි) සිංහල ය. ‘බල’ (මාළු වර්ගයක්) සිංහලය.

උඹලකඩ හදන්නේ බල මාළුවලිනි. ඒ බලයෝ එම මුහුදේ සුලභ වෙති. ඒ බලයන්, මාලදිවයින් වැසියන් විසින් හැඳින්වෙන්නේ ‘උඹල’ නමින් ද විය හැකිය. ‘උඹල’ නම් වන බලයන්ගේ කෑලි ‘උඹලකඩ’ වුවාද විය හැකි ය.

කලකට පෙර මා මාලදිවයින් බලන්නට ගියේ ගාල්ලේ මිත්‍රයකුගේ බෝට්ටුවෙනි. මාලදිවයින් වැසියන් හා ගාල්ල අතර සබැඳියාව කොළඹ සැබැඳියාවට වඩා දැඩිය.

මාලදිවයින් රජයට අයත් දූපත් ගණනාවෙකි. එදා එහි යන්නට පෙර මා හිතා හිටියේ හැම දූපතක්ම කුඩා ධීවර නිවාසවලින් යුක්ත යැයි කියාය. එහෙත් පාලක පක්ෂය ඉන්නා දූපතේ ඇතැම් කොටස් රට උළු සෙවිලි කෙරුණු, විදුලියෙන් අනූන මන්දිරවලින් යුක්ත බව මට පසක්විණි.

මාලදිවයිනේ ධීවර වාඩිවල උම්බලකඩ සාදන අන්දම බලන්නට ද ගියෙමි. ධීවරයන් අල්ලා ගෙනෙන බලයන් කපා හීන් තීරු සකස් කරන්නේ තරමක් තැම්බීමෙන් පසුවය. අඟලේ දෙකේ පළලට අඟල් තුන හතර පහේ දිගට කපා සකස් කැර ගන්නා බල තීරු වාෂ්පයට බඳුන් කරනු ලැබේ. මුලින් ම ටිකක් තම්බා ඉන්පසු වාෂ්පයෙන් පිස ගන්නා බලතීරු ඊළඟට යොමු වන්නේ හිරු රශ්මියටය. (වේළීමටය) හොඳට ‘ගල්’ වනතුරු මේ වේළීම කරන්නේ මුහුදු ජලයෙන් සෝදා ගත් පසුවය. ඇතැමුන් මේ වේළීම කරන්නේ අළු තවරලාය.

හොඳ පදමට වේළුනාට පසු ඒවා මුට්ට කරනු ලැබේ. ‘උම්බලකඩ’ නමින් අපට ලැබෙන්නේ ඒවාය.

තොග වෙළෙඳ පොළේ මේ උම්බලකඩ විකිණෙන්නේ ‘ඉස්තරම්’ වර්ගය හා සාමාන්‍ය වර්ගය යන ප්‍රභේදයෙනි. ඉස්තරම් වර්ගය මිලෙන්ද ඉහළය.

මගේ පියා උම්බලකඩ ගන්නට පුරුදුව සිටි‍ෙය් තොග වෙළෙඳ පොළට අයත් වූ මීගමුවේ මුස්ලිම් කඩයකිනි. තාත්තා මසකට වරක් එහි ගියේ උම්බලකඩ රාත්තල් තුනක් ගන්නටය. රාත්තලක් ඔහුට හා අපේ ගෙදර කුස්සියටය. අනෙක් රාත්තල් දෙක හිරියාලේ ඔහුගේ දුම්ගාලේ වැඩකරන මිනිසුන්ටය.

ඒ දුම්ගාලෙක නිතොර වැඩ කරන්නෝ තුන් හතර දෙනෙක් වෙති. ඒ (වැඩිපුර) ගමෙන් යවනු ලැබූ මිනිස්සුය. තාත්තා උම්බලකඩ ගන්නා කඩයට කී කතාවක් මට මතකය. “ළමයා ඉස්තරම් වර්ගයේ හොඳම කෑලිවලින් දමන්න ඒ රාත්තල් දෙකේ පාර්සලය. ඒක ගෙනියන්නේ හිරියාලෙට. දුම්ගාලේ වැඩකරන මිනිසුන් කරවල කෑල්ලක් එළවළුවක් සමඟ බත් කන්නේ දවාලට පමණයි. උදේටත් රෑටත් බත් කන්නේ පොල් සම්බල් සමඟ පමණයි. ඉතින් ඒ සම්බෝලෙට හොඳ උම්බලකඩ ටිකක් දීම අපේ යුතුකමක් නේද?

කඩේ කොලුවා උම්බලකඩ කිරන්නට පෙර ඒ හැම කෑල්ලක්ම දෙකට කප්පවා බලන එක තාත්තාගේ සිරිතය. අඟල් තුන හතරේ පහේ තීරු හරි මැදින් දෙකට කැපිය හැකි මහ කතුරක් ඒ කඩයේ තිබිණි. උම්බලකඩ තීරුවක් දෙකට කැපූවිට ඒ කැපුණු තැන රතට කළුවට ඔපයට නැත්නම් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

එසේ තෝර තෝරා ගන්නා හොඳම උම්බලකඩ ටික වැටෙන්නේ හිරියාලේ යන බඩු මල්ලටය. මිරිස්, ලූනු, තුනපහ සහිත ඒ බඩුමල්ල ඇතැම්විට හිරියාලේ ගෙනියන්නට සිදුවන්නේ මටය. ඒ පාසල් නොයන සතිඅන්ත ඉරිදා දිනවලය.

සනිදා උදේ මීගොමු කුරණින් පිටත් වුණාම මා කුරුණෑගල හරහා හිරියාලෙට යන්නේ සවස තුන හතරටය. දුම්කොළ වාඩිය බාරව ඉන්නා මාටින් අයියා මගේ පියාගේ නෑයෙකි.

මා ගෙන යන බඩුමල්ල මාටින් අයියාට දුන්නාම ඔහු මුලින්ම කරන්නේ එහි ඇති උම්බලකඩ පාර්සලය ගෙන ඔහුගේ ට්රැන්ක් පෙට්ටියේ දා ගැනීමය.

නිවාඩුව ඔහු බඩු අස්කරන විට අර උම්බලකඩ තීරු පුංචි පුංචි කෑලිවලට කපා හිස් හෝර්ලික්ස් බෝතලයක අඩුක් කරයි. එවිට ඒ දෙස බලාගෙනම ඉන්නා මට ද හොඳ කෑලි දෙක තුනක් ලැබේ.

රතු ලූනු ටිකකුත් සමඟ මා ඒ උම්බලකඩ කෑලි ටික වාඩියෙන් පල්ලෙහාට ගෙනියන්නේ කෑම උයන උක්කුවාට හොරෙන් කන්නටය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා