ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශනයට කිසිම සහායක් ලබා දෙන්නේ නැහැ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශනයට කිසිම සහායක් ලබා දෙන්නේ නැහැ

රටවල්වල අභ්‍යන්තර ඇඟිලි ගැසීම්වලට මුළුමනින්ම විරුද්ධයි

පරීක්ෂණයක් වෙතොත් ශ්‍රී ලංකා රජයේ සහායෙන් විය යුතුයි

ජගත් ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටිය යුතුයි

ඉන්දියාව අවධාරණය කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් විමර්ශනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව ඉන්දියාව අවධාරණය කරයි. රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට බාහිරව ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නේ නම් එය ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් සිදුකළ යුතු වන අතර අන්තර් ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් ක්‍රියාකළ යුතු බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ රටේ ඉදිරි ගමනට කිසිඳු බාධාවක් නොවිය යුතු බව ඉන්දීය නව රජයේ ස්ථාවරය වී තිබෙන බව ද එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුඩින් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය නව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් සයිඩ් අක්බරුඩින් මහතා මේ බව සඳහන්කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ දඬුවම් ලබාදිමේ අරමුණින් සිදුනොකළ යුතු බවද හෙතෙම පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය අන්තර්ජාතික සහයෝඟය බැවින් තරවටු කිරීම්වලින් ගැටලු නිරාකරණය කළ නොහැකි බව පෙන්වා දී තිබෙන ඒ මහතා ජගත් මානව හිමිකම් මණඩල සැසිවාරයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටියේ එම ස්ථාවරයේ සිට බවද සඳහන්කර ඇත.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පිරිස් මහතා එරට විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවු අතර එහිදි ද මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රි ලංකාව එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවේ ඇතුළත් ඇතැම් වගන්ති සඳහා ඉන්දිය රජය විරුද්ධත්වය පළකිරිම පිළිබඳව එහිදී ජී එල් පිරිස් මහතා ඉන්දීය රජයට ස්තූතිය පළකර තිබේ.

ඉන්දු ලංකා ධීවර ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීම මෙන්ම ඉන්දිය රජයේ ආධාර යටතේ ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේ දි අවධානය යොමුකර ඇති අතර ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවන ලෙස මහාචාර්ය ජී.එල් පිරිස් මහතා එහිදී සුෂ්මා ස්වරාජ් මහත්මියට ආරාධනයක් ද සිදුකර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා