සමාජ ඒකාබද්ධතාවය ගොඩනැඟිය යුතුමයි

අදින් ආරම්භ වන සමාජ ඒකාබද්ධතා සතිය නිමිත්තෙනි

සමාජ ඒකාබද්ධතාවය ගොඩනැඟිය යුතුමයි

සමාජ ඒකාබද්ධතාවය අලුත් යෙදුමක්, නවතම සිද්ධාන්තයක් ලෙස බොහෝ දෙනාට ආගන්තුක වූවත් මානව වර්ගයාගේ ආරම්භයේ සිට පැවත එන්නා වූ වැදගත් ක්‍රියාවලියක් බව ඉතිහාසයේ විවිධ වූ කාලපරිච්ඡේදයන් විමර්ශනය කිරීමේ දී අපට පැහැදිලිව හඳුනාගත හැකියි. අද වනවිට සමාජ ඒකාබද්ධතාවය මිනිස් සමාජයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වී තිබෙනවා.

වර්තමාන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට යොමුවී ඇති මේ සමාජ ඒකාබද්ධතාවය වැඩිදෙනෙක් අර්ථ දක්වන්නේ ජාතීන් අතර සමගිය ගොඩනැඟීම ලෙසයි. ජාතීන් අතර සමගියත් සමාජ ඒකාබද්ධතාවයේ ප්‍රධානතම අංගයක් වන නමුත් එයට වඩා පුළුල් වූ අර්ථයක් මේ තුළින් විද්‍යාමාන වන බව පැහැදිලියි. සමාජ ඒකාබද්ධතාවය යනු ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට ඕනෑම ජන කණ්ඩායමකට අයත් වූවන් සමාජයන්ගෙන් කොන්වී බැහැර වී මුළුගැන් වී ඇත්නම් ඒ පිරිස හඳුනාගෙන ඒ අය සමාජගත කිරීමයි.

මෙසේ සමාජයෙන් කොන්වී සිටීම මුළු ගැන්වීම සිය කැමැත්තෙන් යුතුව සිදුකෙරෙන ජන කණ්ඩායම් ද අප සමාජයේ නැත්තේ නොවේ. නමුත් මෙසේ සමාජයෙන් කොන්වී බැහැර වී මුළුගැන් වී සිටින්නේ සමාජයෙන් ඈත් කර තැබීම නිසා හෝ සමාජයේ අඩු පහසුකම් ලබන, සිවිල් අයිතිවාසිකම් පවා නොමැති අවම තරමේ ජාතික හැඳුනුම්පතක්, උප්පැන්න, විවාහ සහතිකයක්වත් නොමැතිව සමාජයට පිවිසීමට ආත්ම ශක්තියක් නැති කමිනි.

මෙහිදී අපට වැදගත් වන්නේ මේ කොටස් හඳුනා ගැනීමයි. මොන සමාජ තරාතිරමේ අයද මෙසේ සමා‍ජයෙන් බැහැර වී සිටින්නේ. එසේ බැහැර වීමට හේතු තත්ත්වයන් මොනවාද? ඒ පුද්ගලයින් ද එසේ නොමැති නම් ජන සමූහයන්ද ජන කණ්ඩායම්ද ඔවුන් ජන වර්ගයන්ද ආගමික කොටස්ද? මේ අය හඳුනා ගන්නේ කෙසේද? එයයි මෙහිදී මතුවන ගැටලුව. එසේ හඳුනා ගැනීමෙන් අනතුරුවයි අපි විසඳුම් සෙවිය යුත්තේ. කොයි ආකාරයෙන් ද මෙසේ බැහැර වූ ජන කොටස් ආන්තිකවාදීන් වූ පිරිස් සමාජයට එකතු කර ගත යුත්තේ කියා.

සමාජයේ ප්‍රමුඛ ප්‍රවාහය

සමාජයේ ප්‍රමුඛ ප්‍රවාහය එනම් සමාජයේ පොදු කටයුතුවලට සම්බන්ධවීමේ අයිතිවාසිකම් ඇති පිරිස්. මොන තරාතිරමකින් හෝ මොන මට්ටමකින් හෝ සමාජයේ පොදු කටයුතු තුළ ගැවසෙන නිරත වෙන්න තිබෙන අයිතිය අඩු වැඩි වශයෙන් තිබුණත් ඒ ගැවසීම නිරත වීම ඒ පිළිගැනීම සහභාගිත්වය සැමට අවශ්‍යයි. මේ සඳහා සියල්ලම අවම වශයෙන් එකතු කර ගත යුතුයි. මෙයයි මේ සමාජ ඒකාබද්ධතා සංකල්පයේ අරමුණ. තවත් ආකාරයකින් සමාජයේ අයහපත් පරතරයන් අඩු කිරීම, මෙය ප්‍රධානතම කාර්යයක්.

අපේ ගම්වල වැසිකිළියක් නැති හරියට නිදියන්න තමන්ටය කියා නිවහනක් නැති පවුල් ගණනාවක් සිටිනවා. එයත් ගැටලුවක්. මේ අයගේ මූලික පහසුකම් ලබාදීමේ අයිතිය තහවුරු කර දිය යුතුයි. මේ අයගේ නැති බැරිකම් අඩු කිරීමේ ක්‍රියාදාමය සිදුකළ යුතුයි. සමාජ ඒකාබද්ධතා කටයුතු භාර අමාත්‍යාංශය ලෙස අප අමාත්‍යාංශය මැදිහත්වී මෙසේ මුළුගැන්වී සිටින මිනිසුන්ගේ මූලික මිනිස් පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය දේ ඒ අයට ලබාදීමට කටයුතු කරවා එය එක්තරා විදියකට ඒ අයව සමාජ ක්‍රියාකාරිත්වය සඳහා යොමු කිරීමට ඒ සඳහා බලයලත් ආයතන වන දිවි නැඟුම, සමෘද්ධිය වැනි ආයතන දැනුවත් කරනවා.

ඒ අයට අපි අපේ නිලධාරින් හරහා පෙන්වනවා ඒ පහසුකම් ඔවුන්ට ලබා ගන්න පුළුවන් බව හා ඒ සඳහා ඇති අයිතිය. වතුකරේ නම් වැවිලි අමාත්‍යාංශය වතු අයිතිකාර සමාගම් ඒ අයටයි ඒ වගකීම් තියෙන්නේ. මේ ආකාරයට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය අතරමැදි ක්‍රියාවක යෙදී සිටිනවා. අතරමැදි ක්‍රියාදාමයක් යනු රජයේ යම් යම් අංශවලින් ඉටු විය යුතු දේ ජනයා වෙනුවෙන් ඉටුකරවා දීමට ඒ ජනයා හා රාජ්‍ය අංශ සම්බන්ධ කිරීමයි.

එය මෙම අමාත්‍යාංශයේ කාර්යභාරයයි. නිශ්චිතවම අපි උත්සාහ කරනවා ඒ කොන් වී ඉන්න ජන කොටස්වලට විශ්වාසයක් ඇති කරවන්නත් ඔවුන්ව එක්තරා විදියකට මේ සමාජයට ප්‍රවේශ කරවන්නත්. මෙවන් කොටස් රාශියක් මේ සමාජයේ ඉන්නවා. දැනට අපේ නිරීක්ෂණ අනුව සැලකිය යුතු කොටසක් වාර්තා වී තිබෙනවා.

අපේ සමාජය බිඳුණු සමාජයක්, ඒ බිඳුණු සමාජය එක්තරා ආකාරයකට ඒකාබද්ධ කිරීමට අපි උත්සාහ ගත යුතුයි. ඒ සඳහා මේ කොටස් හඳුනාගත යුතුයි. මෙහිදී මූලික වන්නේ කොන්වන කොටස්වලට වඩා සමාජයේ බලයක් තියෙන අය. සමාජයේ බලවත්ව ඉන්න කොටස්. සමාජයේ ගැවසෙන කොටස්. සමාජයේ කොන් නොවී ඉන්න කොටස්. ඒ අයගේ ආකල්ප අනුවයි මෙසේ මුළුගැන්වී ඉන්න කොටස් එකතු කර ගැනීමට හැකිවන්නේ. අපිට සමාජයේ ආකල්ප වෙනස් කිරීමට අපහසු නම් ආර්ථික සාමාජීය වශයෙන් මේ අයගේ ජන ජීවිතය වෙනස් කිරීම තුළින් සමාජය ඒකාබද්ධතාවය ගොඩනඟන්නට දීර්ඝ කාලයක් ගත විය හැකියි. එය රජයක් විසින් කළ යුතු දෙයක්. එය පරිපූර්ණ වීමට කෙතරම් කාලයක් ගතවේද යන්න අවිනිශ්චිතයි. මේ සඳහා දේශපාලන ආර්ථික සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. අපට තියෙනවා කියමනක් සමානත්වයෙන් සපිරි එකම ලාංකේය ජාතියක් ගොඩනැගීම ඒ සඳහාත් තව කල් යනවා.

පරිවර්තන ක්‍රියාදාමය

සමානත්වයට එන්නත් ආර්ථික සමාජ වශයෙන් අවම මට්ටමකට එන්නත් කල් යනවා. මෙම තත්ත්වයන් රැඳී තියෙන්නේ සමාජ ආර්ථික දේශපාලනය උඩ. ඒ අනුව මේ මට්ටමේ ව්‍යුහය තුළ අපට යම් කාර්ය භාරයක් පරිවර්තනය ඇති කිරීමට දැඩි කැපවීමක් සහ නායකත්වයක් ලබාදිය යුතු වෙනවා.

එසේම මේ පරිවර්තනය වීමේ ක්‍රියාදාමය තුළ මේ බිඳුණු සමාජය එකට සම්බන්ධ කිරීමටත් අපි උත්සාහ කරනවා. උදාහරණයක් ලෙස මේ වැන්දඹු කාන්තාවන් ඒ අයගේ තත්ත්වය වර්තමානයේ කොහොමද? අපේ ජන සමාජයේ සමහරුන් අතර මතයක් තිබෙනවා වැන්දඹු කාන්තාව සාමාන්‍යයෙන් අසුබයි කියලා. එය සිංහල සමාජයේ හින්දු සමාජයේ එම තත්ත්වය උග්‍රයි. මේ වැන්දඹු කාන්තාවන්ට එල්ල වන සමාජ අසාධාරණයෙන් කොහොමද මේ අය බේර ගන්නේ. ඒ අයව පවුලට සමාජයේ කටයුතුවලට ඇතුළත් කරගන්නේ කෙ‍ෙස්ද? ඒ සඳහා වැන්දඹු කාන්තාවන්ට ආත්ම විශ්වාසයක් ඇති කර දිය යුතුයි. තමන්ට කිසිම අඩුවක් නෑ වැන්දඹුවක් වුණත් සමාජය තුළ තමන්ගේ කටයුතු ඉටු කරන්න අයිතියක් හැකියාවක් තිබෙනවා.

එක්තරා චාරිත්‍රයක් තියෙනවා සති කියලා. ඒ කියන්නේ පුරුෂයා මැරුණම වැන්දඹු කාන්තාව ගිනි මැලයට පැනලා දිවි තොරකරගත යුතුයි. එය මහා ම්ලේච්ඡ තත්ත්වයක්. කොච්චර සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රයක් වුවත් ම්ලේච්ඡ කියන්න අපි මැලි නොවිය යුතුයි. අපි කිසිම ජාතියකට චාරිත්‍රයකට නිගරු කරනවා නෙවෙයි. නමුත් එබඳු චාරිත්‍ර අපි පිටු දැකිය යුතුයි. අනෙක් කාරණය කුලභේදය. මෙය සිංහල සමාජය තුළ මුල්බැස නොතිබිය හැකියි. නමුත් අන්තර් කුල විවාහ සිංහල සමාජය තුළ සිදුවන්නේ 10%ක් පමණයි. මෙවන් තත්ත්වයකට පදනම වන්නේ විවාහයට කුල ප්‍රශ්නය ප්‍රධාන වීමයි. මෙය අයහපත් තත්ත්වයක්. මෙය සමාජයට අගතිගාමීයි. මෙය සමාජයේ වර්ධනයට එකතු වීමට බාධාවක්.

එසේ නම් මේ කුල භේදය තුරන් කිරීමේ ආකල්පය සමාජය තුළ ඇති කළ යුතුයි. එසේ නොමැතිව පුරාණ චාරිත්‍රයක් නිසා අපි කර ගහගෙන යා යුතුද? හින්දු සමාජයේ කුල භේදය ඉතාමත් උග්‍ර තත්ත්වයකයි පවතින්නේ. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සමාජයෙන් බැහැර කළ යුතුයි. මෙයින් මූලික මිනිස් වටිනාකම්වලට කිසිසේත්ම ඉඩක් ලැබෙන්නේ නෑ. අද දෙමළ සමාජයේ ඉහළ නිලතල දරන උසස් අධ්‍යාපනය ලබපු අය වැඩියෙන්ම ඉන්නේ උසස් කුලවල. පහළ කුලවල අය එවැනි තත්ත්වයන්ට පත්වෙන්නේ ඉතා අඩුවෙන්.

ආර්ථික දුෂ්කරතා

දෙවනුව කුඩා දරුවන්. අපේ රටේ පුංචි දරුවන් ඉන්නවා අම්මත් නෑ තාත්තාත් නෑ. ඒගොල්ලො ඉන්නේ භාරකාරයන් ළඟ. දැන් ඒ ළමයි මුල ඉඳලම දන්නවා අපිට අම්මා නෑ තාත්තා නෑ. අසරණයි. ඒ අසරණභාවය නිසා ඒ අය බැගෑපත් වෙනවා. ඒ බැගෑපත් බවින් ඔවුන් මුදා ගන්න අවශ්‍යයි. ඊළඟට අධ්‍යාපනය ආර්ථික දුෂ්කරතාවය නිසා දුප්පත්කම නිසා දරුවන් කී දෙනෙකුට අධ්‍යාපනය අහිමි වෙනවාද? උසස් අධ්‍යාපනයේ දී මෙම තත්ත්වය වඩාත් උග්‍රයි. ඒ නිසා අපි දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් කොට සලකනවා.

අපි සෝදිසි කරනවා මොන ගම්වලද අධ්‍යාපනය නොලබන දරුවෝ ඉන්නේ. ඒ ළමයි පාසල් යවන්න උනන්දු කරවනවා. දෙමාපියො දෙන්නම වැඩට යනවා ළමයින්ව පාසල් යවාගන්න බෑ. එවැනි අවස්ථා තිබෙනවා. එහිදී අපි මැදිහත් වෙලා ඒ ළමයින්ව පාසල් යවන්න සලස්වා ගන්නවා. අධ්‍යාපනය පිළිබඳ අපි කරන අවධාරණය ඒ තරම්. 5 ශිෂ්‍යත්ව මරු කපොල්ලක්. මෙහි නියමිත ලකුණු මට්ටම ලබා ගත නොහැකි වීමෙන් කොතරම් දෙනෙක් පසුතැවිලි වනවාද? ඉහළම ලකුණු මට්ටම ලබා ගන්න බැරිවීම අසමත් වීමක් නොවෙයි. නමුත් සමාජ පිළිගැනීම මීට වෙනස් නිසා දෙමාපියන් දැඩි පීඩනයකින් පසුවෙනවා. මෙය සමාජ පීඩාවක්. ඒ නිසා හැ‍මෝම 5 ශිෂ්‍යත්වය සමත් කරවන්න උත්සාහ කරනවා.

බොහෝ දෙනෙකුට ශිෂ්‍යත්වය සමත් වෙන්න අපහසුයි. ඒ සඳහා එක් හේතුවක් අතිරේක පන්ති යැවීමට මුදල් නොමැතිකම. ඒ නිසා සමාජ ඒකාබද්ධතා සතිය තුළදී දුෂ්කර ප්‍රදේශවල සිටින අඩු ආදායම්ලාභී දරුවන් සඳහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පවත්වනවා. මෙය ලංකාව පුරාම සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම පවත්වනවා. මෙම වැඩපිළිවෙළ ඒ දරුවන්ට දෙමාපියන්ට විශාල ශක්තියක්.

මෙය තමයි සමාජ ඒකාබද්ධතාවයේ යථාර්ථය. තවත් ප්‍රබල කාර්යයක් වන්නේ මේ හැඳුනුම්පත් උප්පැන්න විවාහ සහතික නොතිබීම යුද ගැටුම් පැවැති පළාත්වල මෙය බහුල වශයෙන් පවතිනවා. ඒ නිසා ඒ අයට වහාම ඒ අයගේ උප්පැන්න සහතික ඒ අයගේ විවාහ සහතික දෙමාපියන්ගේ හැඳුනුම්පත් ලබා දෙන්න විශේෂ ජංගම සේවා පවත්වාගෙන යනවා. මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඒ සඳහා වැය වන ගාස්තු පවා අමාත්‍යාංශයෙන් ලබාදෙන්න කටයුතු කරනවා.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ තත්ත්වයන් ආකාරයෙන්මයි. ඔවුන්ගේ ආබාධිත තත්ත්වය මත ඔවුන් සමාජයෙන් බැහැරවීමට උත්සාහ ගන්නවා. එසේ විය යුතු නෑ. ඔවුනුත් මේ සමාජයේ කොටස්කරුවන්, ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් පිළිගැනීම ගෞරවය ලබාදිය යුතුයි. ජාතික වැඩසටහන් තුළදී මේ අය සම්බන්ධ කර ගැනීම අපේ සමාජ ඒකාබද්ධතා වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක්.

‍ෙම් අනුව සමාජයෙන් බැහැර වූ ජන කොටස් සමාජ ගත කිරීම අත්‍යාවශ්‍යයෙන්ම ඉටුකළ යුතු කාර්යයක්. මේ සඳහා ජාතියේ අවධානය යොමු කිරීමයි මෙම සමාජ ඒකාබද්ධතා සතියේ අරමුණ හා පරමාර්ථය වන්නේ. ඒ සඳහා වූ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන රැසක් ක්‍රියාත්මක වෙනවා. මේ අය සියලු දෙනාම ඒකරාශී කිරීමත් අපේ වැඩපිළිවෙළේ එක් පියවරක්.

මෙවර සමාජ ඒකාබද්ධතා සතියේ සමාප්තිය වන්නේ සමාජ ඒකාබද්ධතා කටයුතු සම්බන්ධ ක්‍රියාකාරීන්ගේ සමුළුවක් පැවැත්වීමයි. මෙහිදී අපි අදහස් හුවමාරු කර ගැනීමට අත්දැකීම් හුවමාරු කර ගැනීමට කටයුතු කරනවා.

මේ කාර්යයේදී මුහුණ දීමට සිදුවූ ගැටලු සොයා ගන්න විසඳුම් සොයා බලනවා. ඒ අනුව සමාජයේ මුළුගැන්වෙන කොටස්, කොන්වෙන කොටස්, ආන්තික වන කොටස් හා බැහැර වෙන කොටස් එක්තරා විදිහකට තමන්ගේම ගෞරවයකටත් තමන්ගේම විශ්වාසයකටත් ගෙන එමින් ඔවුන්ට සමාජයට පිවිසීමට ශක්තියක් ලබා දෙනවා. ඒ අතර සමාජයේ බහුතර අයගේ තිබෙන ආකල්පය මේ ජන කොටස් සම්බන්ධයෙන් විශේෂයෙන් කුලභේදය වැන්දඹුභාවය අසරණයින්ට පිහිටවීම ආදී වූ මනුෂ්‍ය යුතුකම ගැන ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා.

අපිට අවශ්‍යයි මේ සමාජය බෙදා හදා ගන්නා සමාජයක් බවට පත් කරන්න. එකිනෙකාට ආදරය කරන බෙදා හදා ගන්නා සමාජයක් නම් අපි කවුරුත් අපට වගේ නැති කෙනාට අපෙන් කොටසක් දෙන්න, අපි වගේ දැනුම නැති කෙනාට දැනුමෙන් කොටසක් දෙන්න පුරුදු කරපු සමාජයක් බවට මේ සමාජය ගෙන ඒම මේ අමාත්‍යාංශයේ වගකීමයි. එකම ලාංකීය ජාතියක් පමණක් නොව බෙදා හදා ගන්නා එකිනෙකාට ආදරය කරන සමාජයක් ඇති කිරීම. සමානත්වයෙන් යුතු සමාජයක් ගොඩනැඟීම මේ සියල්ලටම ප්‍රවේශයයි.

මහේන්ද්‍ර හරිශ්චන්ද්‍ර

මාධ්‍ය ලේකම්

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා

අමාත්‍යාංශය

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමාජ ඒකාබද්ධතා සතිය සම්බන්ධයෙන් සිදුකරන ලද දේශනයක් ඇසුරින් සකස් කරන ලදී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා