‘ආකේඩ්-නිදහස් චතුරස්‍රය’ ජනපති අතින් ජනතා අයිතියට

‘ආකේඩ්-නිදහස් චතුරස්‍රය’ ජනපති අතින් ජනතා අයිතියට

නව යුගයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාව තවත් එක් සාර්ථක ආරම්භයක් සනිටුහන් කරමින් දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිකළ "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" (Arcade Independent Square) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යවත් නගරය බවට පත්කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ තුළ හමුවන තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මේ ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කැර තිබෙන අතර ඒ වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 500 කි.

කොළඹ නගරයේ ප්‍රධානතම වාණිජ ස්ථානයක් වශයෙන් සංවර්ධනය කළ "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණු අතර එම මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අයුරු. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එම අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්ම මහත්මීන් ද මෙහි වෙති. ඡායාරූපය - සුදත් සිල්වා

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නවීන ලොවට උචිත වන එහෙත් සම්ප්‍රදායන්ට ගරු කරමින් කොළඹ නගරය පුරා දැවැන්ත නාගරික සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කැර තිබෙන අතර ඵෙතිහාසික වශයෙන් වැදගත් "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" නව ලොවට ගැලපෙන සුපිරි සාප්පු සංකීර්ණයක් බවට පත්කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට අලංකාර නගරයක් තුළ සුපිරි සාප්පු සවාරියක අත්දැකීම් විඳගැනීමේ හැකියාව ලබාදී තිබේ .

මේ නව සාප්පු සංකීර්ණය තුළ ලොව ප්‍රකට වෙළෙඳ නාමාවලියෙන් යුත් පාරිභෝගික භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟලුම් විලාසිතා, ආභරණ හා ක්‍රීඩා භාණ්ඩවලින් සමන්විත සාප්පු 40කින් සමන්විත වන අතර ඊට අමතරව සුපිරි තත්ත්වයේ අවන්හල් වලින් ද අති නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවකින් ද සමන්විත වෙයි .

අසංවිධිත සංවර්ධනයකට සහ අව භාවිතයට යොමුවී තිබු නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය මෙම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි තුරඟ තරග පිටිය සංවර්ධනය කොට භූමි දර්ශන අලංකාර කොට නැවත මහජනතාව අතට පත්කිරීමට පියවර ගෙන තිබෙන අතර කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වඩාත් දර්ශනීය, නිදහස්, මෙන්ම හරිත නගරයක් බවට පත්කිරීමේ අරමුණ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකැර තිබේ. ඒ අනුව අගනගරය ජාතික අභිමානයකින් හා විවෘත භාවයකින් යුත්, නිදහස්, පිරිසිදු, දර්ශනීය මෙන්ම වඩාත් ආරක්ෂිත ආසියාවේ අනෙක් අගනගරවලට නොදෙවෙනි නගරයක් බවටපත් කිරීම රජයේ අරමුණ වී තිබේ.

ජනතා අයිතියට පැවරුණු මෙම "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" වාණිජ මධ්‍යස්ථානය වර්ග අඩි 90,000ක පමණ විශාලත්වයකින් යුතුවන අතර එයින් වර්ග අඩි 40,000ක පමණ ප්‍රමාණයක් සාප්පු සංකීර්ණ අවන්හල් ඇතුළු වාණිජ කටයුතු වෙනුවෙන් විවිධ ආයතන සඳහා බදු පදනම මත ලබා දී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ප්‍රතිනිර්මාණය වූ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදී තිබෙන අතර එය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ මෙහි පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් වෙනුවෙන් වඩාත් ආරක්ෂාකාරී ආකර්ෂණීය පරිසරයක් සහිත විවේකය තවත් නිදහසේ ගත කිරීමට හැකි පරිසරයක් ලෙස නිර්මාණය කැර තිබේ.

කොළඹ, ටොරින්ටන්හි පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පැවති ගොඩනැඟිලි සහ එම භූමිය - කොළඹ නිදහස් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" නමින් වාණිජමය ගොඩනැඟිලි සංකීර්ණයක් බවට මෙලෙස සංවර්ධනය කර තිබේ.

බ්‍රිතාන්‍ය පාලන සමයටත් පෙර ඉදිකරන ලද මෙම ගොඩනැඟිලි ලන්දේසි පාලන සමයේ මානසික රෝහලක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර පසුව විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් පරිහරණය කොට ඇත. අවසාන වශයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා භාවිත කරන ලද අතර එයින් අනතුරුව මෙම දේපෙළ නාගරික සංවර්ධන අධිකාරියට පවරගන්නා විට ඉතාම අබලන් මෙන්ම ජරාජීර්ණ තත්ත්වයකට පත්ව පැවතිණි. මෙයට යාබද භූමිය වන තුරඟ තරග පිටිය (Race Course) ද පැවතියේ මෙයට නොදෙවෙනි මට්ටමකය.

ලෝක යුධ සමයේ යුද ගුවන්යානා ගොඩබැස්සවීමට භාවිත කරන ලද මෙම පිටිය පසුව බ්‍රිතාන්‍යයින් කුඩා සහ විශාල වශයෙන් ප්‍රේක්ෂකාගාර (Grand Stand) දෙකකින් යුක්තව තුරඟ තරග පැවැත්වීම සඳහා යොදා ගන්නා ලද අතර ඉතාම ජරාජීර්ණව අභාවයට යමින් පැවති එම ගොඩනැඟිලි අද වනවිට සංරක්ෂණය හා සංවර්ධනය කොට සංචාරක ආකර්ෂණය සහිත වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්කොට ඇත.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම් ෆවුසි, ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, එස්.බී දිසානායක, මහාචාර්ය ජී.එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, වෛද්‍ය රාජිත සේනාරත්න, ඩග්ලස් දේවානන්දා, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ඩුලිප් විජේසේකර, ෆයිසර් මුස්තාෆා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, එම්.එච්.එම් අෂ්වර්, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, ආණ්ඩුකාර අලෙවි මවුලානා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරයේ සභාපති නිමල් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා