මුද්‍රණය සඳහා

 
අලුත්ගම පොලිස් සිරමැදිරියේ දී සැකකරුවකු බඩ කපා ගනී

අලුත්ගම පොලිස් සිරමැදිරියේ දී සැකකරුවකු බඩ කපා ගනී

අළුත්ගම පොලිස් සිර මැදිරිය තුළ දී ටියුබ්ලයිට් එකක් බිඳ තම උදරය කපා ගත් සැකකරු ජූලි මස 22වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා නියම කෙළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ පානදුර හිරණ පදිංචිකරුවකු වූ මනෝජ් කුමාර වීරවර්ධන නම් අයෙකි.

ඉකුත් 8වැනි දා උදේ අලුත්ගම නගරයේ දී යතුරු පැදියකින් පැමිණි සැකකරු පාරේ ගමන් කරමින් සිටි 17 හැවිරිදි තරුණියකගේ රන්මාල‍ය කඩාගෙන පලා යමින් සිටියදී පොලිස් නිලධාරීන් ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බවත්, ඔහු පොලිස් සිර මැදිරියේ සිටිය දී පසෙක තිබූ ටියුබ් ලයිට් එකක් ගෙන එය කඩා උදරය කපාගෙන ඇති බවත් ඒ අනුව ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළු කැර ඇති බවත් අලුත්ගම පොලිස් ස්ථානාධිපති ජයසම්පත් රණසිංහ මහතා අධිකරණයට වාර්තා කැර තිබුණි.

කළුතර නාගොඩ මහ රෝහලේ දී සැකකරු පරීක්ෂා කළ විනිසුරුවරයා ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතට පත් කරන ලෙස නියම කෙළේය.

අලුත්ගම පොලිසියේ සැරයන්වරුන් වන රජකරුණා (14504) සහ විමලරත්න (5871) යන මහත්වරු මෙහි පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]