ඖෂධ සම්බන්ධ සායනික පරීක්ෂණ වැඩපිළි‍වෙළේ ජගත් රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙලා

ඖෂධ සම්බන්ධ සායනික පරීක්ෂණ වැඩපිළි‍වෙළේ ජගත් රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙලා

- වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා කියයි

ඖෂධ සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ කිරීමේ වැඩපිළිවෙළේ අන්තර්ජාතික රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කැර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට අනුව ආසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආසියාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් හොඳම මධ්‍යස්ථානය කිරීමේ වැඩසටහනේ සාර්ථක පියවරක් ලෙස මේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වීම සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික වශයෙන් ඉතිහාසයේ ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද ඒ මහතා පැවැසුවේය.

මෙතෙක් කාලයක් මේ පරීක්ෂණ කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් අවස්ථාව හිමිව තිබුණේ සංර්ධිත රටවල් වනඅමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය යනාදි රටවලට වන බවත් ශ්‍රී ලංකාවට මේ අවස්ථාව හිමිවීම මෙරට රජය ලැබූ විශාල කීර්තියක් බවත් ඔහු ප්‍රකාශ කෙළේය.

ඒ අනුව ඖෂධ සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ කිරීම සඳහා රජයෙන් රුපියල් මිලියන 100 ක මුදලක් ලබාදීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන ඇති බව ද ඒ මහතා කීය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් අනුව මේ අරමුදල මහා භාණ්ඩාගාරයෙන් ලබා දී තිබේ.

ඖෂධ සම්බන්ධයෙන් නව පර්යේෂණ සිදු කැර ලෝකයට හඳුන්වාදීම මේ වැඩපිළිවෙළ යටතේ සිදු කෙරේ. ඒ අනුව මෙරට මුතුන් මිත්තන්ගේ පාරම්පරික ඖෂධ පිළිබඳ පර්යේෂණ සිදු කැර එය ලෝකයට හඳුන්වාදීමට මෙමඟින් අවස්ථාව ලැබී තිබේ.

උදාහරණ ලෙස ඩෙංගු රෝගයට ප්‍රතිකාරයක් ලෙස මතයක් පවතින පැපොල් කොළ යුෂ පිළිබඳ පර්යේෂණ මේ වැඩපිළිවෙළ යටතේ සිදු කැර එහි සාර්ථකත්වය අනුව ලෝකයට එම ඖෂධය හඳුන්වාදීමට හැකියා‍ව ලැබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා