ගොවීන්ගේ වගා ණය මුදල මිලියන 4000 දක්වා ඉහළට

ගොවීන්ගේ වගා ණය මුදල මිලියන 4000 දක්වා ඉහළට

බැංකු වෙත මුදල් නිකුත් කෙරේ

ජනපති තීරණය කරයි

ගොවීන්ගේ වගා ණය සඳහා ලබා දෙන ණය මුදල රුපියල් මිලියන 4000 දක්වා ඉහළ දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ගොවි වගා ණය ලබා දීම සඳහා අඩු මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇති අතර ඒ අනුව ඉදිරියේදී මෙම මුදල් බැංකු වෙත නිකුත් කිරීමට නියමිතය.

2015 අයවැය සඳහා ගොවි සංගම් සහ වෙළෙඳ සංගම් නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (11) දා පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹිණි. දේශීය කෘෂිකර්මාන්තයට කණකොකා හැඬූ යුගය නිමා කිරීමට වර්තමාන රජය කටයුතු කර ඇති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අද රටේ ජනතාව කෘෂිකර්මාන්තයට වඩාත් නැඹුරු වී ඇති බව පැවසීය.

දේශීය ගොවි ජනතාව නඟා සිටුවීම සහ ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වැව් රක්ෂිතවල සිදුකෙරෙන ඉදිකිරීම් හේතුවෙන් ගොවි ජනතාවට සිදුව ඇති අවහිරතා පිළිබඳ ගොවි සංගම් නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා වැව් රක්ෂිතවල කෙරෙන ඉදිකිරීම්වලට එරෙහි නීතිමය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අනුරාධපුරය, පොළොන්නරුව ප්‍රදේශවලට බලපෑ නියඟය හේතුවෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාවගේ ඉල්ලීම් කෙරෙහිද අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සහන සැලසීම සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන රජය විසින් මේ වන විට ලබා දී ඇති බව ප්‍රකාශ කළේය.

කඩිනමින් සහ විධිමත්ව එම කටයුතු ක්‍රියාවට නංවන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල පානීය ජල ගැටලුව පිළිබඳ මෙහිදී ගොවි සංගම් නියෝජිතයන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර එම සියලුම පළාත් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ රජය දැනටත් ක්‍රියාත්මක කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වගා කටයුතු සිදු කිරීමට ගොවි ජනතාව යොමු කිරීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

එය නීතියෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සියලු දෙනාගේ එකඟතාවෙන් යුත් නිසි සැලැස්මක් ඔස්සේ ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

පොහොර සහනාධාරය, බීජ සැපයුම, සහතික මිල හා අස්වනු කාලය තුළදී ඉහළ බදු මඟින් නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම, ගොවීන් සඳහා ණය ලබා දීම ආදී කරුණු ගැනත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සහ වෙළෙඳ සංගම් නියෝජිතයන් මෙහිදී අදහස් දැක් වූ අතර ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා පැවසුවේ මුළු රටට එක සේ සැලකීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි.

ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳ සංගමය, ස්වයං රැකියා නියුක්තිකයන් ඇතුළු පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එච්. ආර්. මිත්‍රපාල, ඉන්දික බණ්ඩාරනායක, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා