මාතර අභිමානයට 2015 දැයට කිරුළ සුවිශේෂී සම්පතක්

මාතර අභිමානයට 2015 දැයට කිරුළ සුවිශේෂී සම්පතක්

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා

2015 දැයට කිරුළ 2015 ප්‍රදර්ශනය මාතර දී පැවැත්වීමට ගත් තීරණය මාතර හා මාතර දිසාවේ ජනතාව ලැබූ සුවිශේෂී සම්පතක් යැයි දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවැසීය.

දැයට කිරුළ ප්‍රදර්ශනයේ මූලික ඉදිකිරීම් කටයුතු සඳහා මාතර කොටවිල ලැබීම ප්‍රදේශයේ හා මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහල ආශ්‍රිත ප්‍රදේශයේ මුල්ගල් තැබීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.

වසර තිහකටත් වඩා මේ රටේ පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරනවා යැයි දුන් මුලික පොරොන්දුව ඉටුකර රටට සාමය රටේ ස්වාධීනත්වය රැකගත්තා වගේ දුන් පොරොන්දු ඉටුකළ ඉටු කරන ජනාධිපතිතුමා 2010 ජනාධිපතිවරණයේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 17වන පිටුවේ මාතර නගරය අභිමානවත් නගරයක් බවට පත්කරනවා යැයි දුන් පොරොන්දුව මෙම ප්‍රදර්ශනයට සමගාමීව නිසියාකාරව ඉෂ්ට වනවා යැයි ද පැවැසූ ප්‍රධාන ඇමැතිවරයා මෙසේද පැවැසීය.

මුළු මාතර දිසාවේ ම සිදුවන දැවැන්ත සංවර්ධනය ඉදිකිරීම් වසර සියයකටත් වඩා අවම වශයෙන් පැවතීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.

මාතර දිසාවේ මෙතෙක් නොවිසඳී ඇති අඩුපාඩු ගැටලු හා සංවර්ධන කටයුතු සියල්ල මෙම ප්‍රදර්ශනයට සමගාමීව විසඳෙනවා. මාතර දිසාවේ පරිපාලන හා රාජ්‍ය ආයතන සියල්ල එකම බිමක එකම වහළක් යටට ගෙන එන පරිපාලන සංකීර්ණයක් ඉදිවනවා. ඒ තුළින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට ජනතාවට තැන තැන රස්තියාදුවීම වළකිනවා.

මාතර දිසාවේ රාජ්‍ය ආයතන එකළොහක් පළාත් සභා ආයතන දහතුනක් එක් එක් තැන කුලී පදනමටයි පවත්වාගෙන යන්නේ. ඒ අනුව විශාල බදු මුදලක් ඉතිරි වනවා. මාතර දිසාවේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම සඳහා මාතර මහ රෝහල කොටවිල නව රෝහල හා දිස්ත්‍රික්කයේ රෝහල්වල අඩුපාඩු ඉවත් කරන අතර වෛද්‍ය නිලනිවාස, අංගසම්පූර්ණ හෙද විදුහලක් ඉදිවනවා.

මෙතෙක් මාතර නගරයට අඩුවක් වූ නගර ශාලාවක් ඉදිකරන අතර දිසාවේ කිලෝමීටර් ගණනාවක මාර්ග පද්ධති සංවර්ධනය කෙරෙනවා. මාතර ප්‍රධාන දුම්රිය ස්ථානය අංගසම්පූර්ණ ලෙස නවීකරණය කෙරෙනවා. දිසාවේ අඩුපාඩු ඇති පාසල්වල තත්ත්වය වැඩි දියුණු කෙරෙන අතර සාමාන්‍ය පාසල් සියයකට ක්‍රීඩාපිටි සියයක් හා පළාත් එකොළහකට අංගසම්පූර්ණ ක්‍රීඩාපිටි එකොළහක් ඉදිවනවා. මේ ආදී සියලු අංශවල සංවර්ධන ක්‍රියාදාමයක් සමඟ ජනතාවගේ ජීවනෝපාය මාර්ගයන් වැඩි දියුණු කිරීමට සැලසුම් සහගත ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක වෙනවා.

මේ ප්‍රදර්ශනය මාතර දිසාවට පමණක් නොව මුළු දකුණ පළාතට ම ඵලදායි වන්නක්. අද රටටත් ජනතාවටත් ජනාධිපතිතුමා‍ටත් රජයටත් අවශ්‍ය රටේ භෞතික හා ආර්ථික සංවර්ධනයයි. නමුත් විපක්ෂයේ පිරිසක් සංවර්ධනය එපා කියා උද්ඝෝෂණය කරනවා. ඔවුන්ට අවශ්‍ය මොන උප්පරවැට්ටිය හෝ යොදා රටේ සංවර්ධනය සාමය කඩාකප්පල් කිරීමයි. ඔවුන් හිතන්නේ එසේ රට පත්කිරීමෙන් තමන්ට බලය අල්ලාගත හැකිය කියායි. නමුත් මේ රටේ ජනතාව ඒවාට අහුවෙන්නේ නැහැ.

මේ ප්‍රදර්ශනයටත් සුළු විරෝධයක් ආවා. නමුත් ජනතා යහපත වෙනුවෙන් තැබූ පය ආපස්සට නොගන්නා ජනාධිපතිතුමා ජනතා හඬට කන්දෙමින් ප්‍රථමවරට ස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදර්ශනය පැවැත්වීමට තීරණය කළා.

දකුණු පළාත් ප්‍රධාන ඇමැතිවරයා හැටියට මුළු හදින් ම මෙම ප්‍රදර්ශනයට ආශිර්වාද කරනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා