ආණමඩුව මහඋස්වැව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

ආණමඩුව මහඋස්වැව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

ආණමඩුව මහඋස්වැව ජනතාව මුහුණදුන් පානීය ජල ගැටලුව ස්ථිර විසඳුමක් සපයමින් මහඋස්වැව දකුණ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීම සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා විසින් සිදු කරන ලදී.

රුපියල් ලක්ෂ 56ක රජයේ ප්‍රතිපාදන හා ප්‍රජා දායකත්වය මත ඉදිකරන ලද මේ මහඋස්වැව දකුණ පානීය ජල ව්‍යාපෘතියෙන් සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 255කි.

උත්සව සභාව ඇමතූ පියංකර ජයරත්න ඇමැතිවරයා පවසා සිටියේ මහඋස්වැව ජනතාව කලක පටන් මුහුණදුන් පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන්නට හැකිවීම ඉතාමත් සතුටට කරුණක් බවයි. මහඋස්වැව ජනතාව සමඟ කලක පටන් පැවති බැඳීම මේ මගින්න් තවත් ශක්තිමත් වන බව ඇමැතිවරයා සිහිපත් කෙළේය.

ඇමැතිවරයා මෙසේද කීය. ආණමඩුව ජනතාවගේ ගැටලු පිළිබඳව මට නිසි අවබෝධයක් තිබෙන්වා. හැම ගමකටම පානීය ජලය හැම ගමකටම විදුලි බලය හැම පාසලක්ම අධ්‍යාපනයෙන් සංවර්ධනය කිරීම අපට මුහුණ දීමට ඇති අභියෝගයි. ඡන්ද කාලයට පමණක් පැමිණ සුරංගනා කථා කියමින් පසුව ජනතාවට සේවය කරනවා වෙනුවට තමන්ට සේවයක් කරගන්නා දේශපාලඥයන් නිසා අද දේශපාලකයා ගැන සමාජයේ වැරදි අර්ථකථනයක් නිර්මාණය වී තිබෙනවා.

එසේම ග්‍රාමීය පෙදෙස් වල ජීවත්වන මිනිසුන්ගේ ගැටලු උකසට තබා ගෙන දේශපාලනය කරනවාට වඩා දේශපාලනයෙන් ඉවත්ව වෙනත් රැකියාවක් කිරීම වඩාත් සුදුසුයි. බොහොමයක් ආත්මාර්ථකාමී දේශපාලඥයන් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳා කල්මරමින් සිටින්නට පුරුදු වී සිටින්නේ තමන්ගේ ඡන්දය ඒමත තීරණය වන නිසායි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ.එම් ප්‍රදීප් මහතා හා ප්‍රාදේශීය ලේකම් ටී.එම්.ජේ. ඩබ්.තෙන්නකෝන් යන මහත්වරුන්ද ඊට සහභාගී විය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා