සචිත්‍රගේ ක්‍රිකට් තහනම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද?

ලෝක කුසලානයට තවත් මාස කිහිපයයි

සචිත්‍රගේ ක්‍රිකට් තහනම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද?

මේ වසරේ දී කඩුලු 22ක් බිඳ හෙලලා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස කිහිපයක් තිබියදී ශ්‍රී ලංකාවේ ප්‍රබල පන්දු යවන්නකු වූ සචිත්‍ර සේනානායකට තරග තහනමක් පැනවීම කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි ක්‍රිකට් ලෝව ආන්දෝලනයකට තුඩු දී තිබේ.

සචිත්‍ර සේනානායකට වසර 2011දී ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමග එංගලන්තයේ කරන ලද සංචාරයකදී මෙවැනිම ‍චෝදනාවක් එල්ලවී කරන ලද පරීක්ෂණයකින් නිවැරදිකරු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහතිකයක් ලබාදී තිබියදී නැවැත පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රශ්න කොට දඩුවම් කිරීම මේ ආන්දෝලනයට තුඩුදී ඇත. එදා එලෙස පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි වී අන්තර්ජාතික එක්දින තරග 37ක පන්දු යවා ඇති සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව කුමන හෝ ක්‍රිකට් විනිසුරුවකු ජගත් ක්‍රිකට් කවුන්සිලයට සිය වාර්තා මගින් දැනුම්දී නොතිබුණි. සචිත්‍ර සේනානායක වසර 2012 ජනවාරි මස එක්දින අන්තර්ජාතික ක්‍රිකට් වරම් දිනා ඇති අතර මේ දක්වා කඩුලු 40ක් දවාගෙන තිබේ.

මේ වසරේදී පමණක් ඔහු ප්‍රතිවාදී පිතිකරුවන් 22ක් දවාගෙන ක්‍රමයෙන් උපරිම තලයට පැමිණෙමින් සිටියදී තරග තහනමක් පැනවීම අවාසනාවන්ත සිද්ධියක් බවට විචාරක මතයවී තිබේ. ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම ලබන වසරේ පෙබරවාරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවද ඔවුහු පෙන්වා දෙති. එහෙයින් සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ 2011දී පරීක්ෂණ පවත්වා නිවැරදි බවට සහතික නිකුත් කළ බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගත යුතු වේ.

වසර 1996දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයගැනීමට පෙර 95දී මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමද නීති විරෝධී බවට චෝදනා කෙරුණි. නැවත 2000 ලෝක කුසලානයට පෙර 99දීද මුරලිගේ පන්දු යැවීම නීති විරෝධි බවට චෝදනා කොට නිදහස ලැබීය.

මෙවර සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට එංගලන්ත විනිසුරු ඉයන් ග්ලවුඩ් හා එම්.එරාස්මුස් යන මහත්වරු පසුගිය මාසයේදී ජගත් ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා කාඩිෆ් විශ්වවිද්‍යාලයේදී පරීක්ෂණ කෙරුණි.

එම පරීක්ෂණය අනුව අන්තර්ජාතික පන්දු යැවීමේ නීතිය ඉක්මවා වැලමිටෙන් අත නැමීම අංශක 15ට වැඩි බව වාර්තා විය.

එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි සචිත්‍ර සේනානායකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් කර ඇත. මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවට පැවැරී තිබේ.

මේ සම්බන්ධව දින 14ක් ඇතුළත අයි.සී.සී.යේ පන්දු යැවීමේ නිරිීක්ෂණ කමිටුවට (BRG) සිය විරෝධතාව ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව තිබේ. එම කමිටුවට මානව අංග චලන පිළිබඳ විශේෂඥවරයෙක්, හිටපු ක්‍රීඩකයෙක්, හිටපු ක්‍රිකට් විනිසුරුවරයෙක්, වත්මන් තරග තීරකවරයෙක් සහ අයි.සී.සී. නිලධාරීන් දෙදෙනෙක් ඇතුළත් වෙති.

ඔහු එසේ ඉල්ලීමක් නොකරන්නේ නම් ඔහුට සිය ඉරියව් නිවැරදි කර ගැනීමට විශේෂ වැඩමුළුවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. කෙසේ වුවද මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඉක්මනින් රැස්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා