මහත්වරු ගමරාල ළඟට යති!

මහත්වරු ගමරාල ළඟට යති!

ඉඩම් නඩුවල කෙළවරක් නැත. කෑගල්ල පළාතේ අත්තම්මා කෙනෙක් පරම්පරා ගණනාවක සිට කුඹුරක නඩුවකට මුහුණ දුන්නා ය. නඩුව ආරම්භ වූයේ ඇය ලොකු ළමයකු වීමටත් පෙර ය. නඩුව දිගින් - දිගට ම ගියේ ය. අප්පච්චීගෙන් දුවටත්, දුවගෙන් ඇගේ ඊළඟ පරම්පරාවටත් නඩුව දිග් ගැසුණේ ය. අන්තිමේ කුඹුරේ අයිතිය අත්තම්මාට ලැබිණි. එහෙත් ඒ වන විට අත්තම්මා මියගොස් සති දෙකක් ගති වී තිබිණි. ශ්‍රී ලංකාවේ ඉඩම් නඩුවල ස්වභාවය මෙය යි. රාජ්‍ය මැදිහත්වීමක් ඇතොත් මේ ක්‍රමය වෙනස් කළ හැකි බව ඉතා පැහැදිලි ය.

මේ රටේ ජනතාවට වැඩියෙන්ම ඇත්තේ ඉඩම් නඩු ය. ඊට හේතුවක් ද තිබේ. බොහෝ දෙනකුට තමාගේ ඉඩමේ අයිතිය පැහැදිලිව ප්‍රකාශ කළ හැකි ඔප්පුවක් නැත. එහෙත් ඉඩමේ භුක්තිය අදාළ පුද්ගලයන් ළඟ තිබේ. ඔව්හු ඒවා පරිහරණය කරමින් ඵල - ප්‍රයෝජන ලබමින් සිටිති. මේවා රට අවුල් කරනා හා ගැටුම් වැඩි කරන දේවල් ය. ඇතැම් ඒවා එක පෑන් පහරකින් විසැඳිය හැකි ය. එහෙත් එය සිදුවන්නේ නැත. කිසි විටෙක සිදු වන්නේ නැත.

මේ අතර අපට තවත් අලුත් කථාන්දරයක් අසන්නට ලැබේ. එය කියන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය. ඒ මහතාට අනුව ඌව පළාතේ ජනතා ගැටලු 50,000 ක් එක දවසකින් විසඳා තිබේ. ඒ ජංගම සේවාව මඟින් ය. ඌව පළාතට දිස්ත්‍රික්ක දෙකක් අයත් වේ. එක් දිස්ත්‍රික්කයක් වන්නේ බදුල්ල ය. අනෙක් දිස්ත්‍රික්කය වන්නේ මොනරාගල ය. මේ දිස්ත්‍රික්ක දෙකට ම අයත් ග්‍රාම සේවා කොට්ඨාස ගණන 886 කි. එම සෑම කොට්ඨාසයක් සම්බන්ධයෙන් ම ජංගම සේවාවක් පවත්වා තිබේ. ඒ සඳහා රාජ්‍ය නිලධාරීහු තිස්දහස් ගණනක් කටයුතු කළහ.

ඌව පළාත යනු විවිධ භූ විසමතා සහිත විශේෂ කලාපයෙකි. එහි වර්ෂාව සහිත ප්‍රදේශ මෙන් ම වියළි - ශුෂ්ක ප්‍රදේශ ද පවතී. ඇතැම් ප්‍රදේශ කඳුකර ය. සානු සහිත ය. තවත් ප්‍රදේශ තැනිතලා ය. රක්ෂිතවලට මායිම්ව පිහිටා තිබේ. තේ, එනසල්, උක්, බඩඉරිඟු වැනි වගාවන් බහුල ලෙස සිදුවන්නේ මේ කලාපයේ ය. ඒවා ජනතාවගේ ජීවන මාර්ග බවට ද පත්ව තිබේ. තේ වගාව ආශ්‍රිත ව වතු ජනාවාස ප්‍රශ්නයක් තිබේ. එනසල් වගාව හා උක් වගාව ආශ්‍රිත ව තවත් නොයෙක් භෞතික හා මානවික ගැටලු තිබේ.

මේ පළාත තුළ පවත්වන ලද ජංගම සේවාවලට අනුව ප්‍රධාන ජනතා ගැටලු යොමු වී ඇති ක්ෂේත්‍ර කිහිපයක් හඳුනාගත හැකි ය. ඒවා නම්; ඉඩම්, නිවාස, ආධාර ලබාගැනීම, රැකියා පුහුණුවීම, සමාජ ආරක්ෂණය, සෙවිලි තහඩු ලබාගැනීම හා සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීම ආදියයි. සනීපාරක්ෂක පහසුකම් නිසි පිළිවෙළට ව්‍යාප්ත වී නැති බැවින් ඌවේ ජනතාව බලවත් අසීරුතාවකට මුහුණ දී සිටිති. ආධාර වැඩසටහන් අපේක්ෂා කරන අයුරින් නොලැබීම නිසා තවත් සමාජ ප්‍රශ්න ගණනාවක් පැන නැඟී ඇත. මෙය ද එතරම් හොඳ තත්ත්වයක් නො වේ. රෝද පුටුවක් ලබාගැනීම සඳහා ද ආණ්ඩුවේ අවසරය ලබාගත යුතු ව තිබේ.

එක්තරා ග්‍රාමීය කාන්තාවක් ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ගියා ය. ඇය මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූයේ සංකීර්ණ තත්ත්වය විසැඳීම සඳහා එළඹෙන තරුණ ජවසම්පන්න නිලධාරීන්ට ඉඩක් නොලැබීම ය. ඔවුන් ගණන් ‍නොගැනීම ය. එහෙත් ජංගම සේවාව මේ ක්‍රමය වෙනස් කළේය. ජාතික හැඳුනුම්පතක් අවශ්‍ය නම්; එක් දිනක් ඇතුළත එය ලබාගත හැකි ක්‍රමවේද අප ළඟ තිබේ. ඒවා දැන් ක්‍රියාත්මක ය.

රටේ ප්‍රශ්න විසඳනවා යනු ජනතාවගේ ගැටලු විසැඳීම ය. ජනතාවගේ ගැටලු විසැඳීමේ හොඳ ම හා සාර්ථක ක්‍රමය වන්නේ ජනතාව ළඟට යෑම ය. ජනතාව ළඟට ගොස් කතා කිරීම ය. සුද්දාගේ පරිපාලන ක්‍රමය තුළ ජනතාව ළඟට යන දර්ශනයක් තිබුණේ නැත. සුද්දා හැම විටම කළේ ජනතාව තමා ළඟට ගෙන්වා ගෙන ගැටලු විසැඳීම ය. ඒ හැරෙන්නට ගැටලුව සිද්ධ වූ ස්ථානයට යෑමේ පුරුද්දක් අප ළඟ තිබුණේ නැත. ඒවා නිරීක්ෂණය කිරීමේ විධිමත් ක්‍රමවේදයක් අපට තිබුණේ ද නැත. දැන් එය වෙනස් වී තිබීම බරපතළ භාග්‍යයෙකි.

මේ වැඩමුළුව සඳහා ප්‍රශ්න ලක්ෂ දොළහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව දැනගන්නට ලැබේ. මේ ප්‍රශ්න අතරින් පනස්දහසක් විසඳුවා යනු ඉතා වැදගත් දෙයකි. ඉතිරි ප්‍රශ්න ඉතා කෙටි කලකින් විසඳන බව ද අමාත්‍යාංශය කියා සිටී. ඒ ගැන උපරිම විශ්වාසය තැබිය හැකි ය. ජනතාව ළඟට ගොස් ප්‍රශ්න සාකච්ඡා කිරීම ඔස්සේ රටට බලපාන ප්‍රශ්න බොහොමයක් විසඳිය හැකි බව මෙයින් තේරුම් ගත හැකිය. වැදගත් වන්නේ එම තේරුම් ගැනීම ය.

අපේ පැවැති ක්‍රමය වූයේ කාර්යාලයක ලිපි ගොනුවක් තවත් කාර්යාලයක් වෙත ගෙන යෑම සඳහා ඒවා අවුරුදු ගණන් ගතවීම ය. කොටුවේ තාප්පයක් කඩාවැටී ඒ ගැන පුවත්පත් වාර්තාවක් පළවූයේ නගර සභාවට දොස් නඟමින් ය. නගර සභාව කියා සිටියේ එම තාප්පය තමන්ට අයිති නැති බව ය. ඊළඟට ගැටලුව නාගරික සංවර්ධන අධිකාරියට යොමු කැරිණි. එහිදී දැනගන්නට ලැබුණේ තාප්පය නැව් සංස්ථාවට අයත් බව ය. නැව් සංස්ථාවට කතා කළ විට දැනගන්නට ලැබුණේ එම මොහොතේ සංස්ථාවට අයත් ලොරි රථ අබලන් වී ඇති බැවින් තාප්පය පිළිසකර කිරීම අපහසු බව ය.

මෙබඳු කතාවලින් පෙනී යන්නේ අපේ පරිපාලනය යම් අවුල් ජාලයක පැටැලී ඇති බව ය. මේ අවුල පහසුවෙන් විසැඳිය හැකි නො වේ. ඒවාට කාලය මෙන් ම අලුත් ක්‍රමවේදත් අවශ්‍ය වේ. අපට හැ‍ඟෙන පරිදි ජංගම සේවා ක්‍රමයත් ඊට හොඳ යථාර්ථවාදී විසඳුමෙකි. ප්‍රශ්නය වන්නේ මෙබඳු අලුත් ක්‍රම ගැන කිසිවකු කතා නොකිරීම ය. කුමන තත්ත්වයක් යටතේ වුව රටේ ප්‍රශ්න විසඳිය යුතු ය. ඒ සඳහා අලුත් ක්‍රමවේද සොයාගත යුතු ය. එවැනි ක්‍රමවේද ඉහළින් ම අගය කළ යුතු ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා