සබරගමු මහ ඇමැතිට නිදා ගන්න කොට්ට දහයක්

සබරගමු මහ ඇමැතිට නිදා ගන්න කොට්ට දහයක්

දේශීය පලතුරු පරිභෝජනය නඟාසිටුවීමේ අරමුණින් පලතුරු ප්‍රවර්ධන සතිය පසුගිය සඳුදා හොරණ කනන්විලදී ආරම්භ කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, මන්ත්‍රී විදුර වික්‍රමනායක හා යසපාල කෝර‍ළගේ මහත්වරු විසින් ජනාධිපතිවරයා පිළිගත්තේ මහත් උණුසුම් අයුරින්ය.

උත්සවය ආරම්භ වනවිට මධ්‍යහ්නය ළඟාවෙමින් පැවැති අතර, අවට පරිසරය පැවැතියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි. ඒ උණුසුම ගැන කිසිදු තැකීමක් නොකළ දරුදැරියෝ ජනාධිපතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් දෑස් අයා බලා සිටියහ.

දැරියන් දුටු ජනාධිපතිවරයා “මොකද මේ දරුවොටික අව්වෙ තියාගෙන යැයි ප්‍රශ්න කළේ පියකු මෙන් දයාබර හැඟීමෙන්ය.”

උත්සවයේ ප්‍රධාන කථිකාවලින් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක්විය. විවිධ අංශ අගයමින් ජනපතිවරයා කියා සිටියේ මෙතරම් ගුණැති පලතුරු අපේ රටේ තිබියදී පිටරටින් පලතුරු ගෙන ඒම හාස්‍යයට කරුණක් බව ය.

එය අනුමත කරමින් හිස සෙලවූ මහින්ද යාපා ඇමැතිවරයා දෙස බැලූ ජනාධිපතිතුමා අපේ දරුවන්ට මේ පලතුරු කන්න දෙන්න ඕන. අපේ දරුවන්ට මේවා පෙන්වන්නත් ඕන. පාසල් දරුවන්ට ප්‍රදර්ශනය නරඹන්න අවසර දෙන්න. මෙය හරිම සුන්දර තැනක් යැයි කීවේය.

මම දැනටමත් දේශීය වගා වැඩපිළිවෙළකට අවතීර්ණවී සිටින බව කී ජනපතිවරයා අරලියගහ මන්දිරයේ තිබූ මල් වගාව ඉවත් කර එළවළු වගාව ආරම්භ කළා යැයි සිනාසෙමින් කීය. මේ අතරතුරදී මෑත සිදුවීමක් ගෙනහැර දැක්වූ ජනපතිවරයා, මට රාජකීය විදුහලේදී ශක්තිජනක පානයක් කියමින් මොකක්ද බීම එකක් දුන්නා.

කෘතිම බීමවර්ගයක් කිලයි මම හිතුවේ. ඒත් බිව්වට පස්සෙ දන්නේ ඒ කොළකැඳ බව. එනජි ඩ්‍රින්ක් එකට මම කවදත් ආස නෑ. ඒ නිසා මම නිතරම කොළකැඳ බොනවා යැයි ජනපතිවරයා කීවේය. ප්‍රදර්ශන භූමියේ පිහිටි නාරංවලින් පිරී තිබූ ගසක් ජනපතිවරයාගේ සිත් ගත්තේය. එය අසලට රොක්වී සිටි කුඩා දරුවන් දෙස බැලූ ජනපතිවරයා “කඩාගෙන කන්න මොකට මේ බලාගෙන ඉන්නේ යැයි” ඇසීය.

මොහොතකට සිය ළමාවියේ තනිවූ ජනපතිවරයා ඉන් ගෙඩියක් කඩාගෙන කෑවේ දරුවන්ටද කඩාගන්නා ලෙස සුරතින් සංඥාකරමිනි.

රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු විශේෂ රැස්වීම පසුගිය අඟහරුවාදා පැවතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ය. ඊට ජෝන් සෙනෙවිරත්න, බැසිල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍යවරු මෙන්ම සබරගමු ආණ්ඩුකාර විජමු ලොකුබණ්ඩාර, මහ ඇමැති මහීපාල හේරත් මහත්වරු ද එක්වී සිටියහ.

රැස්වීම ආරම්භයේදීම එජාප සබරගමු පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා කියා සිටියේ ඇතැම් මාර්ගවල සංවර්ධන කටයුතු නිසියාකාරව සිදුවී නැති බවය. දිගින් දිගටම නැඟූ චෝදනාවට පිළිතුරු දුන් පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය, මන්ත්‍රීතුමාට ඕන ඕන විදිහට පාරවල් හදන්න සල්ලි දෙන්නේ රනිල් දැයි දැඩි හඬින් කීවාය.

ඇහැළියගොඩ මාර්ගය පුළුල් කිරීමේදී ගෙවල්දොරවල් රැසකට හානිවෙලා යැයි නැවත කිරිඇල්ල මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා දෙස බලමින් කීය. කිරිඇල්ල මන්ත්‍රීතුමාගේ නිවසටත් හානිවෙලාද? නිවාස හානිවූ සැමට වන්දියක් ගෙවන්න. අපි පළිගැනීමේ අදහසින් කටයුතු කරන පිරිසක් නෙමෙයි. සංවර්ධන කටයුතුවලදී මතුවන ගැටලු බාධාවක් කරගන්න අවශ්‍ය නැතැයි ද ජනපතිවරයා වන්නිආරච්චි මහත්මිය හා කිරිඇල්ල මහතා දෙස බලමින් කීය.

ඒ පිළිතුරෙන් ද සෑහීමකට පත් නොවූ සිරිපාල මහතාගේ විවේචනවල අඩුවක් නොවීය. “තමන්ට ඕන ඕන විදිහට හැසිරෙන්න ඕන ඕන දේ කියන්න මේක පළාත් සභාව නොවේ යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සිරිපාල මන්ත්‍රීවරයා ඉතා නිහඬව බිම බලාගත්තේය. ඉන් අනතුරුව ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අදාළව අදහස් දැක්වූ ජනපතිවරයා, මනාප බලාගෙන ඡන්ද බලාගෙන පොපියුලර් දේශපාලනයට යන්න එපා. නීතිගරුකව කටයුතු කරන්න. නීතිය වල්වැදුනාවේ කියා කටයුතු කරන්න එපා යැයි ද අවධාරණය කළේය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින පුත්තලම, වෙන්නප්පුව හා කල්පිටිය ප්‍රදේශයන්හි ගතකළේ සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළකට එක්වෙමින් ය. ඊට එරාන් වික්‍රමරත්න, පාලිත රංගේබණ්ඩාර, නිරෝෂණ පෙරේරා ආදී මන්ත්‍රීවරුන් ද එක්වී සිටියහ.

මේ වැඩපිළිවෙළ අතරතුරදී වික්‍රමසිංහ මහතා පක්ෂයේ වගකීම් පිළිබඳ පැහැදිලි කළේය. 1988 භීෂණ සමයේදී රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්කළේ පාක්ෂිකයන්ගේ ජීවිත පරිත්‍යාගයෙනුයි. පක්ෂයේ ජයග්‍රහණය සඳහා ඒ ආදර්ශය ඉදිරියටත් ගෙනයමු යැයි වික්‍රමසිංහ මහතා කීය.

විදේශිකයන් අපේ සම්පත් කොල්ලකෑම අද ඊයේ සිදුවූවක් නොවේ. දැන් චීන, ඉන්දියන් කාරයෝ සිංහ කොඩිය දාගෙන අපේ මුහුදු සීමාවේ මාළු අල්ලනවා යැයි වික්‍රමසිංහ මහතා කීවේ නව ප්‍රවණතාවක් ගැන සිහිපත් කරමින් ය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ දියණියගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගිවීම සඳහා ය. එහිදී හොඳම විදේශ ශිෂ්‍යයාව ලෙස තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දිල්මිණි අත්තනායක මෙනවිය සම්මානයෙන් පිදුම් ලැබුවාය. මෙහිදී මහත් සතුටින් ඉපිලගිය අත්තනායක මහතා එම මොහොතේම ශ්‍රී ලාංකික මිතුරකුට කතාකළේ ඉතා හැඟීම්බරවය. “දුව නිව් කාසල් විශ්වවිද්‍යාලයේ උපාධිය සමත්වන බව මම දැන සිටියා ඒත් හොඳම විදේශ ශිෂ්‍යයාව වීම මට අදහාගන්න බෑ යැයි” හෙතෙම කීය.

දේශපාලන කරළියේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමකට මුහුණ දුන් වයඹ මහඇමැති දයාසිරි ජයසේකර මහතා පසුගිය සඳුදා නැවත රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්විය.

ජයසේකර මහතා වැඩසටහන ආරම්භයේම කියාසිටියේ පෙර පැවැති රූපවාහිනී සිද්ධිය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව අයද සිටින බවය. මෙම සිද්ධිය හා බැඳුණු තමාට මුහුණදීමට සිදුවූ සංවේදී කරුණක් සම්බන්ධයෙන්ද ජයසේකර මහතා අදහස් ප්‍රකාශ කළේ ඉතා හැඟීම්බරවය.

මගේ දුව මෙම සිද්ධියෙන් පසු “අප්පච්චි අංකල් කෙනෙක්ගේ කණ සපාකෑවා ද? පාසලේ මිතුරු මිතුරියන් මට උසුළු විසුළු කරනවා යැයි” කීවා යැයි ජයසේකර මහතා කීය. මෙම ප්‍රකාශයෙන් මට ලොකු ආත්ම අනුකම්පාවක් ඇතිවුණා යැයි කී මහඇමැතිවරයාගේ දෙනෙත කඳුලින් තෙමී ගියේ නොදැනුවත්ව ම ය.

වැඩසටහන අවසානයේ ක්‍රියා විරහිත කර තිබූ දුරකථනය ජයසේකර මහතා නැවත ක්‍රියාත්මක කළේ සුපුරුදු වැඩපිළිවෙළට අවතීර්ණ වීම සඳහා ය. එහෙත් ඔහු තැතිගන්වමින් රූපවාහිනී වැඩසටහනෙදී පෙන්වූ මහත්මා දේශපාලනය අගය කරමින් අතිවිශාල කෙටි පණිවිඩ ප්‍රමාණයක් ඔහුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණි.

තාරුණ්‍යයට හෙටක් වැඩසටහන පසුගිය සෙනසුරාදා දකුණු පළාතේ දෙවුන්දර හා දික්වැල්ලේදී පැවැතියේ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ඊට මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා මෙන්ම ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක් ද එක්වී සිටියහ. තරුණ රාජපක්ෂ මහතා ඊට එක්වූයේ පැමිණ සිටි අයගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ය.

“මේ අපේ අනාගත නායකයා යැයි” කියමින් තරුණ පිරිස් ඉතා ඉහළ ප්‍රතිචාර දක්වද්දී ඒ අතර සිටි එක් තරුණයෙක් “මේ අපේ අනාගත ජනාධිපතිතුමා. එතුමාට ජයවේවා යැයි” කියමින් නාමල් මන්ත්‍රීවරයා සමීපයට සේන්දු විය. ඔටුණු පැළදුවත් නැතත් මේ රටේ තරුණයන් සියලු දෙනා අනාගත රජවරු බව හඟවමින් නාමල් රාජපක්ෂ තරුණයාව උණුසුම් අයුරින් වැළඳගත්තේය. අනතුරුව සමීපයට පැමිණි කුඩා දරුවන්ගේ සුරතල් බස් අසමින් ඔවුන් සමඟ මදවේලාවක් ගතකිරීමට ද නාමල් මන්ත්‍රීවරයා අමතක නොකළේ ය.

ළඟ එන ඌව පළාත් සභා මැතිවරණයේ භාරදූරම කටයුතු පැවරී ඇත්තේ මැතිවරණ මහලේකම් කාර්යාලයට ය. ජන අනුපාතයට අනුව මොනරාගල දිස්ත්‍රික්කය මන්ත්‍රී ආසන තුනකින් ඉහළ නැංවීම සම්මත ක කරගත් යෝජනා අතර ප්‍රධාන වෙයි. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය බදාදා රාත්‍රී නිකුත් විය. මෙම යෝජනා අභියෝගයට ලක්කරමින් නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව එජාපයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

මීට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ කවදාදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ‍මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ “ගැසට් එක නිකුත් කරන්නේ හෙටද අනිද්දාද කියන්න බෑ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතාගේ භාෂාවෙන් කියනවානම් ඉන් සමා අල්ලා (දෙවියො තමා දන්නේ) යන පිළිතුරය.”

ඌව පළාත් සභාවට නාමයෝජනා කැඳවීමත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔවුන්ගේ මහඇමැති අපේක්ෂකයන් තෝරා පත්කරගැනිමේ භාරදූර කටයුත්තට අවතීර්ණ වී සිටියහ. හිටපු මහ ඇමැති ශෂේන්ද්‍ර රජාපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස නැවත තරග කරන අතර ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහ ඇමැති අපේක්ෂකයා ලෙස තරග කිරීමට නියමිතය. ඌව පළාත් සභාවට එජාප මහ ඇමැති අපේක්ෂකයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා තරග කරන අතර, ඒ මහතා මෙම සතියේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී දුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

“රට රකින නිල් පවුර සුරකිමු’ තේමා කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට පුරා සංවිධාන කරන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පසුගිය සෙනසුරාදා නුවරඑළිය නගරශාලාවේදී පැවැතියේ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

එදින අලුයම සිට පැවැති අධික සීතල දැඩි සුළඟ මෙන්ම මහ වැසි හේතුවෙන් සම්මන්ත්‍රණය අසාර්ථක වෙතැයි කලබලයට පත් එහි සංවිධායක ඇමැති නවීන් දිසානායක මහතා සම්මන්ත්‍රණ ශාලාවේ ඔබ මොබ ඇවිද ගියේ දුරකථනයෙන් හිතවතුන්ට යුහුසුළුව ඇමතුම් ගනිමින්ය. අවසානයේ ශාලාවේ අසුන් පිරී යනු දුටු ඇමැතිවරයාගේ දෙනෙත සතුටින් පිරී ඉතිරිණි. එජාපයේ නායකත්ව පුටුවට මටත් උරුමයක් තිබෙනවා. ඒත්තනතුරු පසෙකලා ජනාධිපතිතුමාගේ රජයට එක්විය යුතු බව මගේ හදවත මට බල කළා යැයි නවීන් දිසානායක මහතා කීය.

වලපනේ මැතිවරණ කොට්ඨාසයේ පක්ෂ සම්මන්ත්‍රණය පැවැතියේ රාගල හරස්බැද්ද යොවුන් සේනා සම්මන්ත්‍රණ ශාලාවේය. සම්මන්ත්‍රණයට මත්තෙන් පැවැති සුලි සුළං තත්ත්වයටද එරෙහි වෙමින් දකුණ මහ ඇමැති ශාන් විජයලාල්ද සිල්වා මහතා මෙන්ම සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහත්වරුන් ශාලාවට පැමිණියේ තැති ගැන්මෙන් යුතුවය.

සී.බී. රත්නායක ෆීලික්ස් පෙරේරා ඇමැතිවරුන් මෙන්ම නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහත්වරුන්ද ඊට එක් වී සිටියහ. සී.බී රත්නායක මහතා ෂාන් විජයලාල් මහඇමැතිවරයාගේ සද්ධන්ත සිරුර දෙස බලමින් සිනාසෙමින් ඔබතුමා ඉඳහිට හරි අපේ ගම් බිම්වලට ඇවිත් ඔය සද්ධන්ත ඇඟ අපිට පෙන්නලා යන එක සතුටක් යැයි කීවේය.

විජයලාල් මහ ඇමැතිවරයා ඊට පිළිතුරු දීමටත් මත්තෙන් ඒ වගේම තමා අපේ නියෝජ්‍ය කථානායකතුමා එතුමා අපිට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ චරිතය සිහි ගන්වනවා. කථානායකතුමා පාර්ලිමේන්තුවේ නැති අවස්ථා-වල අපි පාලනය කරන්නේ මේ වයිස් පින්සිපල් යැයි රත්නායක මහතා සිනා සෙමින් කීය.

මම උස කෙනෙක් නෙමේ. මම කොටයි. ඒ නිසා රැස්වීම් ආරම්භ කිරීමට පෙර ස්ටේජ්එකේ කොටයක් තියෙනවා. කොටය මතට නැගී මම කථා කරනවා. නමුත් කොට මොඩල් ළඟ පිකප් වෙනවා යැයි” ෆීලික්ස් පෙරේරා සිනා සෙමින් කීවේ පිරිස් සිනහ ගන්වමින්ය.

දැන් තරුණ තරුණියෝ ඉස්සරවගේ නෙමේ. ඒ අයට SMS මෝස්තරයක් වෙලා. SMS වලට රීලෝඩ් කරන්න සල්ලි වියදම් වෙනවා. හැබැයි අපි තරුණ කාලේ අපිට ඔය SMS වලට වියදමක් ගියේ නැහැ. SMSවලින් දෙන පණිවිඩය අපි එදා දුන්නේ ඇසක් ගසා යැයි ෆීලික්ස් පෙරේරා මහතා පිරිස සිනහගන්වමින් කීය.

ඇඹිලිපිටිය හා පැල්මඩුල්ල අතරතුර හමුවන සංඛපාල දූරාතීතයේ සිට ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයකි. එහෙත් මෑතක සිට ප්‍රකට වන්නේ මඟ දෙපස දක්නට ලැබෙන ලොකු කුඩා පුළුන් කොට්ට කඩපිල් නිසාය. අසලින් ගමන් කරද්දී හොඳ කපු පුළුන් කොට්ට දෙකක් මිලටගන්න ඕනෑ යැයි කී මහ ඇමති මහීපාල හේරත් මහතා දුප්පත් කඩපිළක් ළඟ රථය නතර කරන්නැයි රියැදුරාට කීය.

දිවා රාත්‍රී වෙහෙසී නොනිදන මහ ඇමැතිවරයා කොට්ට ගැනීමට යෑම පිළිබඳ විමසිලිමත් වූ රියැදුරු කඩපිළක් අසල රථය නතර කළේ විපරමින්ය. වැරහැලි ඇඳුමින් සැරසුණ මැහැල්ලක් රථය අසලට පැමිණ සර් කොට්ටයක මිල රුපියල් 250ක් යැයි කීවාය. අපිට කොට්ට10 ක් දෙන්න මහ ඇමැතිවරයා කීවේ රියැදුරා තවත් උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි කරමින්ය.

සර් කොට්ට10ක් යැයි හේ විමසිල්ලෙන් ඇසීය. ඔව් ඔව් කොට්ට 10ක් කිසිම වැරැදීමක් වුණේ නැතැයි කී මහ ඇමැතිවරයා කොට්ට10ට මුදල් දුන්නේ රියදුරාට ගමන් අරඹන ලෙස සංඥා කරමින්ය. දැඩි නිහඬතාව බිඳිමින් මහ ඇමැතිවරයා මට ඕනෑ එක කොට්ටයයි. ඒ අහිංසක මනුස්සයා දැක්කම මට දුක හිතුණා යැයි කීවේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා