ගුවන් යානා ඉන්ධන අලෙවියෙන්

ගුවන් යානා ඉන්ධන අලෙවියෙන්

මත්තල ගුවන් තොටුපොළට ඩොලර් මිලියන 10.5ක ආදායම්

ඔස්ට්‍රේලියා-මැදපෙරදිග රාජ්‍යයන්ට සමීපව මත්තල ගුවන් පථය පිහිටීමෙන් වාසි රැසක්

ලොව විශාලතම මගී-භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ගොඩ බෑමට සුවිශේෂි පහසුකම්

ඩුබායි වෙත දිනපතා ගුවන් ගමන් : ලෝකයේ ඕනෑම රටකට මත්තල සිට යෑමේ අවස්ථාව

ගුවන් යානයකට ඉන්ධන ලබාදෙන අයුරු

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය මාස 15 තුළ ගුවන් යානා ඉන්ධන විකිණිමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක ආදායමක් උපයා තිබේ. වසර 2013 මාර්තු 18 ආරම්භ කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 12ක් ගුවන් යානා සඳහා ලබා දී ඇත.

පසුගිය ජුනි මස 22 වනදා ගුවන් යානා ඉන්ධන ලබා දීම ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කළ අතර එදා සිට මේ දක්වා ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 1.35740ක් ගුවන් යානා සඳහා ලබා දී ඇති අතර ඉන් ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.0878762කි.

ලොව විශාලතම මගී ගුවන් යානා වන A-380 ගුවන් යානා සහ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වන AN-225 ගුවන් යානා ගොඩ බෑම සඳහා ඇති පහසුකම් මෙන්ම ඔස්ට්‍රේලියාව සහ මැදපෙරදිග රාජ්‍යයන්ට සමීප ගුවන් පථයක මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ පිහිටීම හේතුවෙන් මේ ගුවන් මාර්ගවල ගමන් ගන්නා ගුවන් යානා මත්තලට පැමිණීමේ ප්‍රවණාතවක ඇතැයි සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා කියා සිටී.

මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපොළ සමඟ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, මිහින් ලංකා ගුවන් සමාගම, ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම, මෙන්ම රොටානා ගුවන් සමාගමද ගුවන් ගමන් මෙහෙයවයි.

සතියකට ගුවන් ගමන් වාර 31 ක් ගුවන් ගත කෙරෙන අතර චීනයේ බීජිං සහ ෂැංහයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබී, සවුදි අරාබි රාජ්‍යයේ ජෙඩා, මාලදිවයිනේ මාලේ, ඉන්දියාවේ චෙන්නායි, ඉන්දුනීසියාවේ පොලෝනියා මීඩෑන් ගුවන් තොටුපොළ දක්වා මේ ගුවන් ගමන් මත්තල හරහා සිදු කෙරේ.

දිනපතා ඩුබායි රාජ්‍ය වෙත ගුවන් ගමන් සිදු කිරීම හේතුවෙන් ලෝකයේ ඕනෑම රටකට ගමන් කිරීමට මත්තලින් ගුවන් ‍‍වන මගීන්ට හැකියාව ලැබෙනු ඇත.

මෙයට අමතරව කටුනායක බණ්ඩාරණායක අන්තර් ජාතික ගුවන් තොටුපොළ හරහා ගුවන් ගත වන මගීන්ට දිනකට මත්තල කටුනායක ගුවන් ගමන් වාර දෙකක්ද අඟහරුවාදා බදාදා සහ සෙනසුරාදා ගුවන් ගමන් වාර තුනක්ද සිදු කෙරේ.

ඕනෑම ගුවන් යානයක් හදිසි අවස්ථාවකදී ගොඩබැස්සවීම සඳහා පැයක ගුවන් කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රවිශ්ට වන රටට ගෙන යා යුතු බවත් කටුනායකට පැමිණෙන ගුවන් යානයක් හදිසි තත්ත්වයකදී ඉන්දියාවට යාම සිදු කළ යුතු වූවත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම නිසා මෙලෙස ඉන්ධන විශාල ප්‍රමාණයක් ගබඩා කිරීම එම ගුවන් යානා සිදු නොකළ යුතු බැවින් එම ගුවන් සමාගම්වලට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බවත් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා කියා සිටියේය.

මේ මගින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පමණක් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 10ක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇතැයිද වික්‍රමසූරිය මහතා කියා සිටියේය. ඔමාන් රාජ්‍යයේ ඔමාන් එයාර් ගුවන් සමාගම සහ අබුඩාබි ගුවන් සමාගමේ එතිහාඩ් ගුවන් සමාගම විකල්ප ගුවන් තොටුපොළ ලෙස කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනතාවගේ පිනට පහළ වූ තුන්කල් දක්නා ජනපතිවයෙක් බවත් එදා කොටි ත්‍රස්තවාදීන් කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කරද්දී විකල්ප ගුවන් තොටුපොළක් නොමැති වීමෙන් අපි ඉන්දියාව දක්වා ගුවන් යානා ගෙන ගිය බවත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීමෙන් අපේ රටට මෙන්ම අනෙකුත් රටවලටද විශාල පහසුවක් ගබා දී ඇති බවත් ප්‍රකාශ කළ ඇමැති පියංකර ජයරත්න මහතා මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපොළ තවත් වසර කිහිපයකින් ලෝකයම ජයගැනීමට සූදානමින් සිටින බවත් අවධාරණය කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා