ජනපතිගේ බෑණා යයි පවසා ලංකාවේ ඉඩම් දෙන්න රුසියන් ජාතිකයකුගෙන් ඇ.ඩොලර් ලක්ෂ 6ක් වංචා කරලා

ජනපතිගේ බෑණා යයි පවසා ලංකාවේ ඉඩම් දෙන්න රුසියන් ජාතිකයකුගෙන් ඇ.ඩොලර් ලක්ෂ 6ක් වංචා කරලා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බෑණා කෙනෙකු බව හඟවා ශ්‍රී ලංකාවෙන් ඉඩම් ලබා දෙන බවට රුසියන් ජාතිකයකු සමඟ ගිවිසුම් අත්සන් කර ඇමරිකන් ඩොලර් හයලක්ෂ අනූදහසක් (6,90,000/-) වංචා කිරීමේ සිද්ධියක් ගැන රහස් පොලිසියේ වාණිජ අපරාධ අංශය ඊයේ (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.

එසේ වාර්තා කරමින් සිද්ධියට අදාළ දෙපාර්ශ්වය අතර ඇතිවී තිබෙන මුදල් ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලික බැංකුවක ගිණුම් විස්තර ලබාගැනීමට රහස් පොලිස‍ියේ අවසරය ඉල්ලා සිටියේය.

රහස් පොලිසියේ එම ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අවසර ලබා දෙන ලදී.

රුසියාවේ ප්‍රෙස්කොස් හි පදිංචි ඇලෙක්සැන්ඩර් නිකොලොව් රයිසින් නමැත්තකු විසින් කරන ලද පැමිණිල්ල ‍පිළිබඳ රහස් පොලිසියේ වාණිජ අපරාධ අංශය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පැමිණිලිකාර රුසියන් ජාතිකයා ඔහුගේ මිතුරකු වන වැලරික් කොස්ලෝ නමැත්තා මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සැකකරු හඳුනාගෙන තිබේ. පසුව දෙදෙනා අතර මිත්‍රකමක් ගොඩනැඟී ඇති අතර කීප වතාවක් සැකකරු රුසියාවේදී දෙදෙනා හමු වී තිබේ.

ඒ අතරතුර තමා ජනාධිපතිවරයාගේ බෑණා කෙනෙකු බව හඟවා ව්‍යාපාර කටයුතු සඳහා කොම්පඤ්ඤවීදියේ හුණුපිටිය ප්‍රදේශයේ පර්චස් තිහක (30) ඉඩමක් ලබා දෙන බව පවසා ඇමරිකන් ඩොලර් 450000 ක් ද, මහරගම නගර සභා බලප්‍රදේශයේ රූඩ් එකයි පර්චස් එකොළහක ඉඩමක් ඇමෙරිකන් ඩොලර් 240000 සඳහා ලබාදීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

පැමිණිලිකරු මේ ගිවිසුම් ගැන කීප වතාවක්ම සැකකරුගෙන් විමසුවත් පලක් වී නැති නිසා ලේඛන පරීක්ෂා කර කිසිම ගිවිසුමක් අත්සන් කර නැති බවත්, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ගිවිසුම් අත්සන් කර ඇති බවත් තොරතුරු හෙළිවූ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් කියා සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා