ගුරුවරුන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක් සකසන්න

ගුරුවරුන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක් සකසන්න

ජනපතිගෙන් අධ්‍යාපන ඇමැතිට - මහ ඇමැතිවරුන්ට උපදෙස්

ගුරුවරුන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට සහ පළාත් මහ ඇමැතිවරුන්ට උපදෙස් දෙයි. දරුවන් වෙත හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ගුරුවරු යහපත් මානසිකත්වයකින් පසුවිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා ඇතැම් පළාත්වල පවතින ගුරු හිඟයට හේතුව ඔවුන් වෙනුවෙන් විධිමත් සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම බවද ඉදිරියේ දී ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකර කටයුතු කරන බවද ප්‍රකාශ කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පළාත් මහ ඇමැතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) පැවැති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි. ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ දී වසර අවසානයේ එම මාරුවීම් සිදුකිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා වසර මැද එම මාරුවීම් ලබාදීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විභාග කටයුතුවලට ද බාධා එල්ලවන බව සඳහන් කළේය. මේ අතර ගුරුවරුන් බඳවා ගැනීමේ දී පාසල් පාදක කරගනිමින් එම බඳවා ගැනීම් සිදුකිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන, සෞඛ්‍යය, මාහාමාර්ග, වාරිමාර්ග, කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල ඒ ඒ පළාත් මට්ටමින් ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත යෝජනා සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගය පැතිරීම පාලනය සඳහා ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාකර තිබෙන අතර වකුගඩු රෝගය පාලනය සඳහා මේ වසරේ රුපියල් මිලියන 600ක් රජ‍ය මඟින් වෙන්කර ඇති බවද එයින් සියයට 75ක් උතුරු මැද පළාතට ලබාදී තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජංගම සේවා ක්‍රියාත්මක කිරීම සහ පාසල් මට්ටමින් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

ඒ ඒ පළාත්වලට බලපෑ ස්වාභාවික ආපදාවලින් විපතට පත්වූ ජනතාවට සහන සැළසීමට ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා කරුණු විමසීය. අගමැති දි.මු ජයරත්න, ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු ද පළාත් මහ ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා