නිපුණතාවෙන් සපිරි ශ්‍රම බළකාය හෙට දිනයේ දී ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළින් ඔසවා තබාවි

නිපුණතාවෙන් සපිරි ශ්‍රම බළකාය හෙට දිනයේ දී ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළින් ඔසවා තබාවි

ඇමැති ඩලස් අලහප්පෙරුම

අනාගතයේ යම් දිනක ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළින්ම ඔසවා තබන්නේ මෙරට නිපුණතාවයෙන් සපිරි ශ්‍රම බළකායයි. එම ශ්‍රම බළකාය ගොඩනැඟීමේ වගකීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ වෙත ජනාධිපතිතුමන් පවරාදී තිබෙන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ප්‍රකාශ කළේය.

'ජාතික ‍නිපුණතා දිනය' වෙනුවෙන් කොළඹ ලිප්ටන් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පැවැති නිපුණතා පාගමන අවසානයේ ඊට සහභාගී වූ හාරදහසකට ආසන්න තරුණ තරුණියන් පිරිස අමතමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙයට සමගාමීව නිපුණතා දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව හා මුද්දර කාර්යාංශය මඟින් නිකුත් කරන ලද මුල් දින කවරය සහ සමරු මුද්දරය නිකුත් කිරීමද සිදු කෙරුණි.

ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

අපි අරගල භූමියක සිට නිදහසේ ‍ක්ෂේම භූමියට ආවේ පූජණීය කටයුත්තක් වෙනුවෙනුයි. ලිප්ටන් වටරවුම ඉතිහාසයේ සිට ප්‍රචලිත වී තිබෙන්නේ අරගල භූමියක් ලෙසයි. කාර්මික අධ්‍යාපනය රටට නිසි පරිදි ඔසවා තබන්නට නොහැකි වීමෙන් ඇති වී තිබූ ගැටලු නිරාකරණයටත් සියවසක් තිස්සේ අරගල කරන්නට සිදු වුණා. නිපුණතාවයෙන් සහ නූතනත්වයෙන් පිරිපුන් ශ්‍රම බළකායක් ගොඩනැඟීමේ වගකීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ වෙත ජනාධිපතිතුමා පවරා දී තිබෙනවා. පාසල් විෂය ධාරාවට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දුන් ජුලි 15දා ජාතික නිපුණතා දිනය ලෙස නම් කර තිබේ. 68වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා යෝජනා කළා ජාත්‍යන්තර නිපුණතා දිනයක් ප්‍රකාශයට පත් කරන්න කියලා. එය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෑම සැසි වාරයකම සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන බව පසුගිය දා පැවැති ලෝක සමුළුවට ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ජෝර්ජ් විලියම් ඈෂ් මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ලෝකයේ සෑම රටකටම ජාත්‍යන්තර නිපුණතා දිනයක් එකතු වේවි. එය නූතනත්වයෙන් පරිපූර්ණ නිපුණතාවයෙන් සපිරි ශ්‍රම බළකායක් නිර්මාණය කරන්නට මහඟු පිටුවහලක් වන බව නොඅනුමානයි.

දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැඟීමටයි අපි වෙහෙසෙන්නේ. අනාගතයේ යම් දිනක ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළින්ම ඔසවා තබන්නෙත් මේ ශ්‍රම බළකායයි. ලෝකයේ රටවල් 168ක තරුණ ප්‍රජාව දින 5ක් අපේ රටේ රැඳී සිටිමින් එළිදක්වපු කොළඹ ප්‍රකාශනය ලෝකයේ සෑම රටකටම පොදු ප්‍රබලම කාරණාව ලෙස සටහන් කළේත් විරැකියාවයි. ශ්‍රී ලංකාවට නිදහස කැන්දාගෙන ආ මේ ශුද්ධ භූමියේ සිට අනාගතයට ප්‍රේම කරන අය ලෙස අපි මේ අධිෂ්ඨානය ඇති කර ගත යුතුයි. සෑම මවක්ම සෑම පියෙක්ම සෑම නායකයෙක්ම සෑම පාලකයෙක්ම ශ්‍රී ලාංකේය ලකුණ ලෝක සිතියමේ ස්ථාපිත කිරීම උදෙසා නිපුණතාවයෙන් පිරිපුන් ශ්‍රම බළකායක් ගොඩනැඟීමට අධිෂ්ඨාන කර ගත යුතුයි.අපි මේ නිදහස් භූමියේ සිට අද සපථ කරන්නේ ඒ සඳහා උස් වූත් පළල් වූත් අරමුණු සාක්ෂාත් කරගැනීමයි .

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා