ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.

නීරෝගී පරපුර රටේ ශක්තියයි තේමාව ඔස්සේ පෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජාතික පෝෂණ ලේකම් කාර්යාලය සහ කාර්මික තාක්ෂණ ආයතනය එක්ව මේ පාගමන සහ ප්‍රදර්ශනය සංවිධාන කරයි.

ජාතික පෝෂණ පාගමන කාර්මික තාක්ෂණ ආයතනයේ තෙවැනි දොරටුවෙන් උදෑසන හතට ආරම්භ කෙරෙන අතර එතැන් සිට ටොරින්ටන් චතුරශ්‍රය හරහා කුරුඳුවත්ත පොලීසිය අසළින් ගමන් කර ආචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ බෞද්ධාලෝක මාවතට ඔස්සේ පැමිණ නැවතත් කාර්මික තාක්ෂණ ආයතනයට පැමිණීමට නියමිතය. අනතුරුව කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනය දේශීය ආහාර භාවිතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ප්‍රදර්ශන කුටි 34කින් සමන්විතය.

යකඩ සපිරි ආහාර ගන්න තේමාව ඔස්සේ ජාතික පෝෂණ ලේකම් කාර්යාලය ජූනි මාසය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත් වූ ජාතික පෝෂණ මාසයට සමගාමීව මේ පාගමන සංවිධාන කෙරෙන බව ජාතික පෝෂණ සම්බන්ධීකාරක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට කොළඹදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදීය. මෙරට ජනගහණයෙන් සියයට 20ක පමණ පිරිසක් යකඩ ඌනතාවෙන් පෙළෙන බව පෙන්වා දුන් චන්ද්‍රදාස මහතා යකඩ පෙති ලබා දීමෙන් පමණක් යකඩ ඌනතාව වළක්වා ගත නොහැකි බවත් ආහාරපාන මඟින් යකඩ ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සිය අරමුණ වූ බවත් පැවසීය. පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල යකඩ ඌනතාව මත රඳා පවතින අතර ඊට විසැඳුම් ලෙස රජය සියලු පාසල් සිසුන්ට යකඩ පෙති ලබා දීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා කීවේය. දේශීය ආහාර භාවිතයෙන් පෝෂණය ලබා ගත හැකි ආකාරය පිළිබඳ කාර්මික තාක්ෂණ ආයතනය විවිධ පර්යේෂණ කරන බවත් ඒ නිසා ඔවුන්ගේ දායකත්වයෙන් මේ පාගමන සහ ප්‍රදර්ශනය සංවිධාන කෙරෙන බවත් ඒ මහතා පැවසීය. ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනයට සමගාමීව වීදි නාට්‍ය, රූපවාහිනී වැඩසටහන් වැනි විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කාර්මික තාක්ෂන ආයතනයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. දේශීය ආහාර නිෂ්පාදකයන්ට අත දීමක් වශයෙන් ප්‍රදර්ශන කුටි නොමිලේ ලබා දුන් බව පැවසූ ඒ මහතා මේ අවස්ථාවට සහභාගී වී පෝෂණය පිළිබඳ දැනුම ලබා ගන්නා ලෙස ජනතාවට ආරාධනා කර සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා