ආගමික සහජීවනය පවතින තාක් කිසිම ජාත්‍යන්තර බලවේගයකට ශ්‍රී ලංකාවට බලපෑම් කරන්න බෑ

ආගමික සහජීවනය පවතින තාක් කිසිම ජාත්‍යන්තර බලවේගයකට ශ්‍රී ලංකාවට බලපෑම් කරන්න බෑ

අගරදගුරු ආචාර්ය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

අද ශ්‍රී ලංකා දේශයට එරෙහිව ජාත්‍යන්තරයේ ඇතැම් තැන්වලින් නොයෙකුත් ගැටලු හා ප්‍රශ්න මතු කරමින් සිටියද ආගමික සහජීවනය පවතින තාක් කල් කිසිම බලවේගයකට හෝ කිසිම කෙනෙකුට කිසිම බලපෑමක් කිරීමට හැකිවන්නේ නැතැයි අගරදගුරු ආචාර්ය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

අගරදගුරු හිමිපාණන් එසේ පැවැසුවේ පෙරේදා (16 වැනිදා) සපුගස්කන්ද යොෂිඩා අධ්‍යාපන හා සමාජ සේවා පදනමේ සහ යොෂිඩා ළදරු අධ්‍යාපන ආයතනයේ 35 වැනි සංවත්සර උළෙලට හා ක්‍රීඩා උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් කතා කළ අගරදගුරු හිමිපාණෝ මෙසේ ද කීහ.

ශ්‍රී ලංකා දේශයේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. ඔවුන් විවිධ ආගම් අදහනවා. නමුත් මේ ශ්‍රී ලංකා දේශයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ මතුවී තිබෙන මේ අවස්ථාවේ අපි ජාති හා ආගම් ඉවතලා සැවොම එකම ධජයක් යටතේ එකමුතු වන්න ඕනෑ. එයට ආගමික සහජීවනය ඉතාමත් වැදගත්. මේ බව අපි වටහා ගෙන කටයුතු කළ යුතුයි. එසේ කළහොත් අපට රටක් හැටියට ඉදිරියට යාමට හැකියි. රටක අනාගතය රඳා පවතින්නේ දරු පරපුර මතයි. ඒ අනුව දරුවන් කුඩා කළ සිටම ආගමික පරිසරයත් නිසි අධ්‍යාපනයත් ලබා දෙන්න කටයුතු කළ යුතුයි. එවිට දරුවන් නිසි මඟට යොමුවී රටට වැඩදායක විනයගරුක පුරවැසියන් බවට පත් වේවි.

යොෂිඩා අධ්‍යාපනික හා සමාජ සේවා පදනමේ විධායක අධ්‍යක්ෂක ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියෝ - අගරදගුරු හිමිපාණන් කිතුනු බැතිමතුන් දෙස බලන ඇසින් බොදු බැතිමතුන් දෙසත් බලනවා. එය මේ රටේ ආගමික සහජීවනය වර්ධනය කර ගැනීමට ඉමහත් රුකුලක්. ඉදිරියටත් අපි ආගමික සහජීවනය එලෙසම පවත්වාගෙන යාමට ඇප කැප වන්න ඕනෑ.

යෞවන කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිමල් වීරතුංග - ළදරු අධ්‍යාපන ආයතනයේ විදුහල්පතිනි ශර්මිලා ලංකාතිලක මහත්ම මහත්මීන් හා යොෂිඩා ෂෝකන්ජි ජාත්‍යන්තර පාසලේ කාව්‍යා අරුණි සිසුවිය මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ නියෝජ්‍ය ලේකම් කීනියාවල පාලිත හිමි, ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම යන මහත්වරු ද ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා